
බන්කේයි හිමියන්ගේ විශේෂ භාවනා පන්තිවලට ජපානයේ නොයෙක් පෙදෙස්වලින් සිසුහු පැමිණෙති. මෙබඳු එක් භාවනා පන්ති වාරයක පැමිණි සිසුන් අතුරින් එක් ශිෂ්‍යයෙක් සොරකමක් කොට අසු විය. මේ බව දත් සෙසු සිසුහු ඔහු ආරාමයෙන් නෙරපා හරින ලෙස ඉල්ලූහ. එහෙත් ගුරුතුමෝ පැමිණිල්ල විභාග නොකොට ම ඉවතලූහ.
පසු වතාවක නැවත වරක් ශිෂ්‍යයා සොරකමක් කොට අසු වූයේ ය. එවරද බන්කේයි හිමියෝ පැමිණිල්ල ඉවත ලූහ.
මෙයින් කෝපාවිෂ්ට වූ අනික් ශිෂ්‍යයෝ, හොරා ආරාමයෙන් බැහැර නොකළහොත් තමන් සියලු දෙනාම ඉවත්ව යන බව සඳහන් කොට අත්සන් තබා පෙත්සමක් මඟින් දැනුම් දුන්හ. පෙත්සම සැලකිල්ලෙන් කියවූ බන්කේයි හිමියෝ, සියලුම සිසුන් තමන් වෙත කැඳවූහ.
“ඔබ හැම දෙනා ම ඥානවන්ත උදවිය. ඔබලා දන්නවා, හොඳ කියන්නේ මොකක්ද? වැරදියි කියන්නේ මොකක්ද? කියලා. ඔබලා කැමති නම් වෙන කොහේ හරි ගිහිල්ල තවදුරටත් ඉගෙන ගන්න. නමුත් මේ අසරණයා හරි වැරදි අඳුනන්නේ නැහැ. ඔහුට හරි - වැරදි ගැන මංවත් කියලා දෙන්නේ නැත්නම් වෙන කවුද කියල දෙන්නේ? ඒක නිසා ඔබලා සියලු දෙනාම මං අතහැරලා ගියත් මං මේ අසරණයා තියා ගන්නවා.”
බන්කේයි හිමියන්ගේ කතාව අසා සිටි සොරකම් කළ ශිෂ්‍යයාගේ දෙනෙතින් කඳුළු කඩා හැළිණි. ඉන්පසු ඔහු කිසිදිනක සොරකම් නොකළේය.
(උපුටා ගැනීම - ජපන් සෙන් කතාවක් ඇසුෙරනි)
ආර්.එම්. සශ්මික ප්‍රභාෂ්වර
6 ශ්‍රේණිය ‘ඊ’,
නාලන්දා විද්‍යාලය,
කොළඹ 10.