මඩොල් දූව ළමා නව­ක­තා­වක් ද? යෞවන නව­ක­තා­වක් ද? | සිළුමිණ

මඩොල් දූව ළමා නව­ක­තා­වක් ද? යෞවන නව­ක­තා­වක් ද?

මාර්ටින් වික්‍රමසිංහ ලෝක සාහිත්‍යයට අවතීර්ණ වන්නේ, “රස්කාසි” නමින් 1958 දී රුසියන් බසට නැඟුණු කෙටිකතා සරණියක් මඟිනි. එහෙත් ඔහු ලෝක සාහිත්‍යය තුළ දිගම ගමන ආරම්භ කළේ, දරුවන් උදෙසා ලියූ මනස්කාන්ත ප්‍රබන්ධයකිනි. ලෝකයේ කෝටිසංඛ්‍යාත අගත අනගත දරු පරපුරට කියවා රස විඳිය හැකි වන පරිද්දෙන් නොයෙක් භාෂාවලට නැඟුණු ඒ රසවත් කතාන්තරය නම්, අනෙකක් නොව, තුන් හෙළයේ දරුවන් තුඩක පවතින මිහිරිතම නමක් වන මඩොල්දූව ය.

දරුවන්ගේ ලෝකයට මෙම මහරු ප්‍රබන්ධය තිළිණ කරන විට, මාර්ටින් වික්‍රමසිංහ සිටියේ පනස්හත්වැනි වියෙහි ය. ඒ අවධිය වන විට දරුවන්ගේ ලෝකයට අවශ්‍ය වනුයේ කවර නම් ප්‍රබන්ධයක්ද යන වග, ඔහු විසින් මනාව වටහාගෙන තිබුණි.

1929 - 1932 අතර කාලය තුළ, උන්මාද චිත්‍රා නමැති ඉතිහාස කතාව ද, ගලිවරායණය නමැති අනුවර්තනය ද, දඬුමොණරයෙහි ආ ජනප්‍රවාද දෙක ද, රජවෙන්ට ගිය මහත්තයා නමැති සාහිත්‍ය ප්‍රබන්ධය ද, රසහව් නොනසා දරුවන් වෙත ප්‍රදානය කිරීමෙන් ලබන ලද නිර්මාණාභ්‍යාසය ද, ගද්‍ය ලේඛනයෙහි නිපුණත්වය ද කූටප්‍රාප්ත වන්නේ, මඩොල්දූව රචනයෙහිදීය. ඒ, ඊට වසර පසළොසකට පසුව ය.

1947 දී ගල්කිස්සේ මවුන්ට් යන්ත්‍රාලයෙහි මුද්‍රිත ව, මුලින් ම ප්‍රකාශයට පත් වුණු මඩොල්දූවට කතුවරයා කිසිදු “පෙර කතාවක්” නොලියන නමුදු, එහි මෙවන් “පරිකතාවක්” දැක්ක හැකිය.

“සිංහල ගැමි දරුවන් දෙදෙනකුන්ගේ නිර්භය ක්‍රියා හා සාහසිකකම් ද වස්තු කොටගෙන ලියන ලද මඩොල් දූව, රසවත් කතාවක් කියන අතර, ගැමි පරිසරය අනායාසයෙන් චිත්‍රණය කෙරෙන ප්‍රබන්ධයකි. මෙහි කතානායකයන් දෙදෙනා වන ගිනිවැල්ලෙ හා ජින්නාද නිර්භයව ක්‍රියා කරන්නේ, දකුණු පළාතේ ගම දෙක තුනකමයි. ඔවුහු ගම්වලින් පිට නොයති.

“බටහිර බොහෝ වික්‍රම කතාවල නායකයන් නිර්භය ක්‍රියා කරන්නේ, නැවෙන් ගොස් පෙර නොඇසූ විරූ දූපතකට හෝ රටකට ගොඩ බැස, එහි වැදිජනයා හා ගැටීමෙනි. ඒ කතාවල නායකයන්ගේ නිර්භය ක්‍රියාවලට පිටුදෙන්නේ, ග්‍රන්ථකාරයන් කල්පනාවෙන් නිපදවූ විදේශීය පරිසරයකි. එහෙයින් ඒ කතා කාල්පනික ලෝකයක් හා කාල්පනික ජීවිතයක් ද චිත්‍රණය කෙරෙන කතා වෙයි. එවැනි කතා ‘අපූරු කතා’ ගණයෙහි මිස, නවකතා ගණයෙහි ලා සලකනු නොලැබේ.

“මඩොල්දූවට වස්තු වන්නේ ග්‍රන්ථකාරයා පසක් කරගත් ගැමි ජීවිතයෙහි තොරතුරු ය. මඩොල්දූවෙන් පාඨකයා පිවිසවනු ලබන්නේ, ඔහු නුදුටු විරූ කාල්පනික ලෝකයකට නොවේ. ඔහු වෙසෙන ගැමි ලොවටයි. මේ කතාවෙන් ග්‍රන්ථකාරයාගේ ශූරත්වය හෙළි වන්නේ ඔහු, කතානායකයන් වන ගැමි දරුවන් දෙදෙනා ගැමි පරිසරයට අනුකූලව කරන කියන දේම වස්තු කොටගෙන, වීර, සිනා, උපහාස, කරුණ යන රස නඟන කතාවක් කීම නිසා ය. කතානායකයන් දෙදෙනා කරන්නේ, පොදුවේ හැම සිංහල ගැමි දරුවන්ම කරන සුලබ දඟකාරකම් ය. කියන්නේ, අප නිතර අසන කියුම් ය. සිතන්නේද, පොදුවේ ගැමි දරුවන් සිතන සිතුම්ය. එහෙත් ග්‍රන්ථකාරයා තම කල්පනා ශක්තියෙන් ඒ සුලබ තොරතුරුවලට චමත්කාරජනක ස්වරූප දෙයි.

“මඩොල් දූවෙහි එන ප්‍රවෘත්ති එවැනි චමත්කාර ස්වරූපයක් ලබන්නේ, ග්‍රන්ථකාරයාගේ කල්පනා ශක්තිය නිසාම නොවේ. ඒ පුවත් ඔහු වර්ණනා කරන්නේ, ගමෙහි ඉපිද වැඩී, එහිම ජීවත්වූ තමාගේ අත්දැකීම් ම සිහි කරමිනි. ඒ ඒ ප්‍රවෘත්තිවලට ම උචිත බසිනි. ආයාසයෙන් කරන ලද වර්ණනාවක් මඩොල් දූවේ නොදක්නා ලැබේ. මඩොල් දූව චමත්කාරජනක ස්වරූපයක් ලබන්නේ, ඊට වස්තු වුණු තොරතුරු, ඒ තොරතුරු අනායාසයෙන් එකිනෙක ගැළපීමෙන් උපන් කතාව, ඊට උචිත බස හා රීතිය යන මොවුන්ගේ සංයෝගය නිසාය.”

මාර්ටින් වික්‍රමසිංහ ග්‍රන්ථ හා ලේඛන නාමාවලිය විසින් මඩොල්දූව හඳුන්වා දී ඇත්තේ “ළමා නවකතාවක්” හැටියටය. මෙසමයෙහි එය “යෞවන නවකතාවක්” හැටියට වර්ගීකරණය වන්ට ඉඩ ඇත්තේය. කෙසේ වෙතත් ඒ වනාහී, ශ්‍රී ලාංකික ගැමි පරිසරය පසුබිම් කොටගෙන රචිත මුල්ම ළමා නවකතාව ද වෙයි.

පොත නිකුත් වී නොබෝ දිනකින්, පැළෑණේ සිරි වජිරඤාණ නාහිමියෝ මෙවන් අදහසක් පළ කළහ.

“නොමැලිව කියවන්ට රිසි දනවන සරල සිංහලයෙන් සැකසුණු - හාස්‍ය රස බත් මාළු පමණටත්, උවදෙස් වෙසෙස් ලුණු ඇඹුල් පමණටත්, මුසු කොට තැනුණු - මුහුද බඩ පළාත්හි වත්මන් ගැමි වහර වෙසෙසුත්, සිරිත් විරිතුත් දැක්වෙන සංග්‍රහයකි.”

“අම්මා මැරෙන විට මගේ වයස අවුරුදු හතකට වැඩි නොවී යැයි මගේ තාත්තාත්, සමහර විට කුඩම්මාත් කියනු මා අසා තිබේ. අම්මා මරුණු දවසේ, තාත්තාත් නැන්දාත් තවත් නෑයනුත් හැඬු සැටි මට මතක් කළ හැකිය. එදා මා හැඬුවේ තාත්තාත් අනික් නෑයනුත් හඬන්ට වූ බැවිනි. නැන්දා මා වඩාගෙන මිදුලට බැස මා පරක්කරන විට, ගෑනුන් කිහිප දෙනෙකු ‘අනේ’! අම්මා නැති දරුවා’ යි කියමින්, මගේ ඔළුව අත ගා මගේ මුහුණ බලා ගිය හැටි මට තවම අමතක ‍නොවීය.

“කලකට පසු තාත්තා, කුඩම්මාත් සමඟ තවත් නෑයන් පිරිවර කොටගෙන අස්ව - කරත්තවලින් ගෙදරට පැමිණියේය. තාත්තා අස්ව - කරත්තයෙන් බැස, බිම බලාගෙන ගමන් කළ කුඩම්මාගේ ඇ‍ඟේ හැපෙන තරම් ළංව, උන්දෑත් සමඟ ඉස්තෝප්පුවට නැඟුණු සැටි මට හොඳින් මතක් කළ හැකිය. තාත්තා නැවත කසාද බැන්දේ අම්මා මැරී අවුරුද්දකට පමණ පසු බව මා දැනගත්තේ, ගමේ සමහර ගෑනුන‍්ගේ කතාබහ ඇසීමෙනි.

උපාලි ගිනිවැල්ලෙ සිය කතාව කියන්නට පටන්ගත්තේ, එසේය. ‘ම’ ශබ්ද කාරකයෙන් හෙවත් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියැවෙන මඩොල් දූව පිළිබඳ තතු අප දකින්නේත්, අසන්නේත්, හඟින්නේත්, ගිනිවැල්ලේ දකින අසන හා හඟින සැටියෙනි.

මේ කතාවේ සිද්ධි මාලාව අවසන් වන්නේ, මඩොල්දූවෙනි. ඒ මඩොල් දූව, මාර්ටින් වික්‍රමසිංහගේ මුල් ගෙදර නුදුරෙහි කොග්ගල ඔය මැද පිහිටා ඇති මඩොල් දූව බවට සැක නැත. මඩොල් දූව නිර්මාණයට පසුබිම් වන ඒ රමණීය ඉසව්ව, සැබෑ මඩොල් දූවත්, ඒ ඇසුරින් කතුවරයාගේ සිතෙහි මැවි මැවී ගොඩනැඟුණු, ගොඩනැඟී නිම්හිම් වුණු, කාල්පනික මඩොල්දූවත් බවට සැක නැත.

එහෙත් මේ කතාව ආරම්භ වන්නේ කවර ඉසව්වකින්ද? ඒ ඉසව්ව අනාවරණය වන්නේ, කතාව සමාප්තියට ළං වන අවස්ථාවේදීය.

උපාලිලාගේ, ජින්නලාගේ කතාන්තරය අරඹන්නේ, මාතර කඹුරුපිටියෙනි. එකල්හි කඹුරුපිටියට ආසන්නම දුම්රියපළ, තල්පේ ය.

අම්මා නැති උපාලිට ජීවත් වන්ට සිදු වන්නේ කුඩම්මකු සමඟ ය. මේ කුඩම්මා සම්ප්‍රදායයෙහි එන නපුරු කුඩම්මා නොවෙයි. එහෙත් ඕ තොමෝ, අම්මා තරම් සෙනෙහෙ ඇත්තියක ද නොවන්නීය.

අවුරුද්දකට පමණ පසුව කුඩම්මාට පුතෙක් ලැබෙයි. ඒ වන විට උපාලිගේ වයස අවුරුදු අටකි. අම්මා මෙන් ආදර සැලකිලි නොදැක්වුවද, කුඩම්මා ඔහුට වරදක්, වෙනස්කමක් නොකළා ය. එකොළොස්වැනි වියට එළඹෙන උපාලි ගිනිවැල්ලෙ, තම නෑසිය ලෝකය දකින්නේ මෙසේය.

“එහෙත් තුන් අවුරුදු වයසෙහි සිටි මල්ලීට දක්වන ආදර සැලකිලි දකින මගේ සිතෙහි සමහරවිට කනගාටුවකුත් ඊර්ෂ්‍යාවකුත් හටගත්තේ ය. කුඩම්මාට විරුද්ධකම් කරන්ට මට හිතුණේ ඒ කනගාටුවත් ඊර්ෂ්‍යාවත් නිසා මිස, උන්දෑ මට වරදක් හෝ වෙනස්කමක් හෝ කළ නිසාම නොවේ.

“මා වෙනස් වූ තැන් සිට කුඩම්මාත් ටිකින් ටික වෙනස් වූයේ, මල්ලී ලොකු වන නිසාද, නොඑසේ නම් මගේ වෙනස් වීම් නිසාද, යනු කීමට මම නොදනිමි. කෙසේ වුවද මම ක්‍රමයෙන් දඟකාර ළමයෙක් වීමි.

කුඩම්මා, යම්කිසි රස කැවිලි විශේෂයක් සෑදූ විට, තාත්තාගේ කොටස කලින් වෙන් කොට තබා, උපාලිට ද, කොටසක් දෙන්නීය. ඔහු ඒ කැවිලි කන්නේ, කුස්සියට ගොස් වැඩකාරියටත් වැඩකාරයාටත් ටික ටික බෙදා දී‍ෙමන් පසු ය. තාත්තා දවල් බත් කෑමට ගෙදර නොඑන දවසක් වෙතොත් එදා ඔහු බත් කන්නේ කුස්සියට ගොස් එහි තිබෙන කබල් පුටුවක හිඳගෙන ය. කුඩම්මාගෙන් නිතර බැණුම් අහන වැඩකාරයන්ට බෙහෙවින් අනුකම්පා කරන බැවිනි, උපාලි එසේ කරන්නේ.

උපාලි ගිනිවැල්ලෙට වඩා අවුරුදු තුනකින් වැඩිමහල් වැඩකාර කොලූ වන ජිනපාල, උපාලිගේ තාත්තාට දුරින් නැන්දා වන දුප්පත් ගැහැනියකගේ පුතෙකි. උපාලි, ඔහු අමතන්නේ ජිනේ හෝ ජින්නා කියා ය. ඔහුට ගෙදරදි කරන්ට ඇත්තේ වැඩපළ ටිකකි. අනෙක් හැම විටම ඔහු උපාලිත් සමඟ සෙල්ලමේ ය. උපාලි පාසල් ගොස් ගෙදර එන තුරු, ජින්නා බලාගෙන ඉන්නේ නොඉවසිල්ලෙනි.

පාසලේ සිට ගෙදර ආ විගස පොත් සහ ගල්ලෑල්ල මේසයක් උඩ දමා ගිනිවැල්ලෙ දුව යන්නේ තවත් ළමයින් තුන් හතර දෙනකු සමඟ සෙල්ලමට ය. මේ සියල්ලමට ජිනපාලද එක් වෙයි. කුඩම්මා බැන්නත් ගැහුවත්, ගෙදර නවතින්නේ ජින්නා නොවෙයි.

ඔවුන් සෙල්ලම් කරන්නේ කැලෑ රොදක් ඉදිරියෙහි වූ වැලිතලාවක ය. ළමයින්ගේ එක කෙළියක් වනුයේ, පල්හොරු සෙල්ලම ය. පල්හොරු සෙල්ලමේ නායකයා ගිනිවැල්ලේ ය. ඔහු සෙසු ළමයින් ඇමතුවේ මෙසේය.

“කණ්ඩායමේ ඔක්කොම මම අණ කරන විදියට කරන්න ඕනෑ. ඔක්කොම මට බයෙන් ඉන්න ඕනෑ. පල්හොරු කණ්ඩායමේ නායකයා බොහොම නපුරුයි. හොඳද? කණ්ඩායමේ එකෙක් වැරැද්දක් කරොත්, නායකයා කරන දඬුවම බොහොම සැරයි - ඇහුණද? කණ්ඩායමේ එකෙකුගේවත් නම මොනව එහෙකදිවත් කියන්න බැහැ, කියා අහුවුණොත් කරන දඬුවම සැරයි. හොඳද? කණ්ඩායමේ එකෙක් පාවා දුන්නොත්, ඒ වැරැද්ද කරන එකා මරනවා - ඇහුණද?”

මේ සෙල්ලමේ ගෙවල් බිඳින්නා ජින්නා ය. සෙල්ලම අවසන් වන්නේ, මුරකාරයාගේ ගෙය බිඳින්නට තැත් කිරීමෙනි; ගෙදර සිටි මැහැල්ලගේ අත් දෙක කිරිතිල්ල වැල් දෙපටකින් බැඳීමෙනි. ගෙයි මුල්ලේ සිට එබී බලන කුඩා ළමයින් දෙදෙනකුගේ කෑගැසීම නිසා, අවට ගෙවල්වල ගැහැනු පිරිමි ද දුව එති. උපාලිගෙන් අණ ලැබෙන පල්හොරු දිවගොස් නවතින්නේ, කැලෑව මැද පිහිටි ඔවුන්ගේ වාඩිපළෙහිය.

ගිනිවැල්ලෙලාගේ සහ ජින්නලාගේ ඊළඟ සෙල්ලම හෙවත් වික්‍රමය වැදි සන්නියයි. එදින මේ ළමයින් පිරිස වැදි වෙස් ගත්හ. මේ කෘතියෙයි මුල් භාගයේදී සාකච්ඡා කළ වැදි සන්නිය අවසන් වූයේ, “උපාලි ගිනිවැල්ලේ තවත් ළමයින් හතර දෙනකු සමඟ ලලිතා නමැති පසළොස් හැවිරිදි තරුණිය උස්සාගෙන කැළේට වැදුණේ” යන ඕපාදූප කතාව ගම පුරා යාමෙනි. ගමේ කවුරුත් ලලිතාටත් ළමයින්ටත් තදින් දොස් කියන්ට වන්හ. කොල්ලන්ගේ හිස් තියන තැනට කර ඉස්සුණ විට, ගමේ ගෑනු ළමයකුට ගෙයින් එළියට බසින්නට ඉඩ නොලැබෙතැයි සමහර ගැහැනු කියන්නට වන්හ.

උපාලිගේ තාත්තා සිය පුතුට හොඳට ම තළා ඔහු කාමරයක සිරකොට තුරංගු ගසා තැබුවේය. තුරංගු ගැසීම එකල ඉතාම නරක දඟකාර ළමයින්ට කරන ලද දඬුවමකි. තුරංගු කඳ, අඩි පහක් පමණ දිග අඟල් පහක් පමණ ඝන ලෑලි දෙකක් යකඩ ඉස්කුරුප්පු ඇණ දෙකකින් පිරිද්දීමෙන් සාදන ලද්දකි.

කකුලේ ඇස්වටය තරම් වන සිදුරු දෙකක් එහි මැද ඇත. තාත්තා තුරංගු ක‍ඳෙන් එක් පළුවක් ඉවත් කෙළේය. අනිකෙහි අඩසඳ වැනි සිදුරක උපාලිගේ කකුල තැබූ විට, තාත්තා අනික් පළුව උස්සා තබා ඉස්කුරුප්පු ඇණ දෙක කරකවා තද කෙළේය. එවිට උපාලිගේ එක් පාදයක් තුරංගුවෙන් අනික් පැත්තේ ය.

“තාත්තා තුන් දවසක් මා මේ දඬුවමට හසු කළ නමුදු මා කළ කිසිවක් නිසා පසුතැවිලි නොවීමි. මගේ සිත ගත් කෙළිසෙල්ලම් කිරීමට ඇති ආශාව තවත් දැඩි වී” යි ගිනිවැල්ලෙ කියන්නේ තිරසර හැඟීමෙනි.

වැදි කෙළියෙන් සති පහකට පසුව ඉස්කෝලේ මහත්තයා පැමිණ උපාලිගේ තාත්තාට පැමිණිල්ලක් කරයි. උපාලි සුමානයකට දවසක් පමණ පාසල් පැමිණෙන්නේ නැත. සිය පුතු කැලෑ පනින බැව් තාත්තා දැනගත්තේ, ගුරුවරයාගේ කතාවෙන් පසුව ය. ඉනික්බිතිව තාත්තා තමාගේ මිත්‍ර වැලිකන්දේ ඉස්කෝලේ මහත්මයාගේ නිවසෙහි උපාලි නවත්තන්ට තීරණය කරයි. ඒ පිළිබඳ උපාලිගේ කථනය මෙසේය.

“එක් ඉරිදාවක තාත්තා, මාත් සමග බස් රියක නැඟී වැලිකන්දට ගියේය. තාත්තාගේ හිතවත් මිත්‍රයකු වන වැලිකන්දේ ආණ්ඩුවේ පාසැලේ ධර්මසිංහ ආඳාගල මහත්මයා, තාත්තාත් මාත් පිළිගත්තේ ඉතා සන්තෝෂයෙනි.

 

තව කොටසක් ලබන සතියේ...

Comments