
කොහොම වුණත් තමාගේ මංගල්ලයට විරුද්ධ වී වාවගනු නොහැකිව පිස්සු නැටූ අම්මා, තම මල්ලිගේ හදිසි පලායාම ගැන මේ විදිහේ මානසිකත්වයකට ආවේ කොහොමදැයි ඇයට හිතා ගන්නවත් බැරිය. පසුගිය කාලයේ ඇය නිතර පන්සලට යන්නටත් බණදහම් අහන්නටත් පෙළඹුණු නිසා ඇයගේ චිත්ත ධෛර්යය වැඩෙන්ට ඇත.
ශ්‍රී ජය වලව්වේ කලබැගෑනිය එක මොහොතකින් විසිර පැතිර ගියේ සුළි සුළඟක් ගානටය. ඒ නොසන්සුන්තාවය ප්‍රථමයෙන් ඇති වුණේ ජයමාල් සිකුරාදා රාත්‍රියේ ගෙදර නොපැමිණීම නිසාය. දැනුම්දීමකින් තොරව ඔහුගේ නොපැමිණීම රත්නසේකර දෙමාල්ලන්ගේ මහත් විපිලිසරයට හේතුවිය. ඔහුගේ ජංගම දුරකථනය ද ක්‍රියා විරහිත කර තිබීම කුතුහලයටත් භීතියටත් තුඩුදුන්ණේය.
ඊළඟ වෙඩිමුරය පත්තුවුණේ පස්සෙන්දා ප්‍රවෘත්ති වලින් කියැවුණු ආරංචියක් නිසාය.
ප්‍රවෘත්තියේ හැටියට තංගල්ල ප්‍රදේශයේදී තරුණයෙක් ඉතා දරුණු මෝටර් සයිකල් අනතුරකට භාජනය වෙලා ඇත. ඒ ප්‍රවෘත්තිය දුටුව මොහොතේ සිට නිර්මලා මැණිකේ පපුවේ අත් ගස ගසා පොළවේ හැපෙමින් හඬන්නට පටන්ගත්තේය.
ඇයව අස්වසන්ට පැමිණි සුදු මැණිකෙව වැලඳගෙන ඈ හැඬුවේ වැළහින්නක් ගානටය. නෑනලා දෙන්නා එක පොදියට හඬා වැටෙන හැටි දුටු ගොඩලියද්ද සහ රත්නසේකර දෙමස්සිනාලා හිටියේ තුෂ්ණිම්භූත වෙලාය.
“අනේ මොකක්ද අක්කේ අපි දෙන්නාට මේ වෙන්නේ මාරුවෙන් මාරුවට... දෙයියනේ මොන පපුවකින් මේ ගින්දර උහුලන්නද... එක පාරක් ද දෙකක් ද අපේ මහත්තුරුන්ගෙ හුටපට ආරංචිවෙලා අඬලා දොඩලා ඉවරකරලා ඉවරයක් ද ඊළඟට අපේ දරුවන්ගෙ හුටපටවලට අඬලා දොඩලා ඉවරයක්ද?...” නිර්මලා මැණිකේ එසේ ශබ්ද නගා කියද්දී සුදුමැණිකේ කෙළින්ම බැලුවේ හාමුලා දෙන්නා දිහාය. දෙන්නාම හොර බැල්මෙන් එකිනෙකා දිහා බලාගෙන එතැනින් මාරු වුණේ එන පොට හොඳ නැති බව දැනගෙන වගේය. ඊට මොහොතකට පස්සේ එතැනට කඩා බිඳගෙන ආවේ ශ්‍රීමාල්ය. “ඔයා ලෙක්චර්ස් කට් වෙනවා කිය කියා හිත හිතා ළතවෙවී ඉන්න එපා. කෙළින්ම ගෙදර ගිහිල්ලා බලන්න ජයමාල් මල්ලිට මොකද වෙලා තියෙන්නෙ කියලා.. අනික බලන්න ඔයාගෙ දෙමවුපියො මොන ගින්දරෙන් ද ඇත්තෙ කියලා....” ශ්‍රීමාල්ව මෙහෙයෙව්වේ මේඛලාගේ ඒ වදන්ය. ඒවා වදන් නොව ඔවදන්ය!
ශ්‍රීමාල් දුටුව ගමන් නිර්මලා මැණිගේ ගේ කෑගැහිල්ල දෙගුණ තෙගුණ වෙද්දී ඇයව අස්වසන ගමන් ඔහු හැරුණේ අප්පච්චි දෙසටය.
“මට ආරංචියි අප්පච්චි ඔක්කොම... අර ටවුමෙ ඔක්කොමලා කතා වෙන්නෙ මේ සිද්ධිය ගැන. ඒත් අර ඇක්සිඩන්ට් එකට සම්බන්ධ ළමයා අපේ මල්ලි කියලා අනුමාන කරන්නෙ මොන පදනමක් උඩද? ආ... ඔයාලට කල්පනාව නැද්ද...”
ශ්‍රීමාල් එහා මෙහා ඇවිද්දේ ආලින්දයේ දිග පළල මනින්නට වගේය. මාලිකාට ඇමතුමක් දී බලන්නට ඔහුගේ යටිහිත කියයි.
“කොහොම හොයාගන්නද අප්පා ජයමාල් බේබි හාමුගෙ වයසෙම ළමයෙක් ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ... බොහොම දරුණු විදියට... ඇඟේ කෑලිත් නෑලු...”
ජන්තුට එහෙම කීවේ කරුණාදාසය.
ශ්‍රීමාල් හිත දැඩි කරගෙන එළියට බැස්සේය.
“කරුණාදාස... අපි යං තංගල්ලට...!”
කරුණාදාස ගැස්සී ගිහින් හාම්පුතා දිහා බැලුවේ ඔහු විරුද්ධත්වයක් පායිද කියා බයටය. නමුත් විරුද්ධත්වයක් නැති තැන කරුණාදාස, සිය හාම්පුතාගේ - පුතගේ අණට කීකරුවී වාහනයට නැංගේය.
*******
සමන්ති, දරුවා නළවන ගමන් කල්පනා කරන්නට වුණේ ජයමාල් මල්ලි, මලින්ද මල්ලිලා ගේ ගෙදරවත් ගිහින්ද කියන සැකය ඇතිවය. දෙවියනේ එහෙම නම් කොච්චර එකක්ද?
කොහොම වුණත් තමාගේ මංගල්ලයට විරුද්ධ වී වාවගනු නොහැකිව පිස්සු නැටූ අම්මා, තම මල්ලිගේ හදිසි පලායාම ගැන මේ විදිහේ මානසිකත්වයකට ආවේ කොහොමදැයි ඇයට හිතා ගන්නවත් බැරිය. පසුගිය කාලයේ ඇය නිතර පන්සලට යන්නටත් බණදහම් අහන්නටත් පෙළඹුණු නිසා ඇයගේ චිත්ත ධෛර්යය වැඩෙන්ට ඇත. ඊටත් දැන් ඈ නිර්මලා නැන්දාට උපදෙස් දෙන්නටත් පෙළඹිලා ඇත. එය ඇගේ ජයග්‍රහණයක් නොවේද?
අප්පච්චිගේ රහස එළිවීම උපේක්ෂා සහගතව විඳ දරා ගත්තේ කොහොමද? ඊළඟට මලින්ද මල්ලිගේ පලා යාම...! ඇය ඒකත් විඳදරා ගත්තාය. මේ සියල්ලටම පන්නරය ලබාගන්නට ඇත්තේ තමාගේ හදිසි විවාහයෙන් වන්නට ඇත. ඒ වුණත් තමා තම අම්මාගේ කඳුළු සොලවා ඇත! කඳුළු සෙලවීමට අමතරව ඇයව උන්මත්තක තත්වයටත් පත්කර ඇත. සමන්තිට ඇඬුම් ආවේ ඒ අතීතය මතක් වෙලාය. ජයේන්ද්‍ර ජීප් රියෙන් බැස ආලින්දයට ගොඩවෙද්දී දුටුවේ හඬමින් සිටින සමන්තිය.
“අඬන්න එපා සමන්ති... අර මරණෙ ගැන සැකයක් විතරයිනෙ තියෙන්නෙ. ජයමාල් මල්ලි වෙන කොහේ හරි ඇති කියලයි මගේ හිත කියන්නෙ...”
ඔහු කුඩා දරුවා වඩා ගනිමින් සමන්තිගේ හිස මත අත තැබුවේ කරුණාවෙන්ය.
මේ වලව් දෙකේ මාරුවෙන් මාරුවට කලබැගෑනි ඇති වන්නේ කවුරුන් හෝ කොඩිවිනයක් කර ඇති නිසා යයි කියා සිටියේ චන්ද්‍රලතාය. චන්ද්‍රලතා මුලින්ම එය කීවේ තම සැමියා ජයතිස්සටය.
“මොන විකාර කතාවක්ද චන්ද්‍රලතා.. මේ වලව්වලට මොන කොඩිවිනද? ඔක්කොම කොඩිවින වදින්නෙ නැති - බැරි දුප්පත් එවුන්ට මිසක්කා ඇති හැකි එවුන්ට නෙමේනෙ...”
ජයතිස්ස එසේ කීවේ සාවද්‍ය හිනාවකින් කට ඇදකරගෙනය. කොතැන ගියත් කොහේදි වුණත් නැති බැරි එකා තමා හැඳි ගෑවිලා යන්නේ කොඩි විනේකින් වුණත්.. මේ ලෝකේ හැදිලා තියෙන්නේ ඒ විදියටනේ...”
“අනේ... අනේ තමුන්ලට කියන කට හොඳයි බිම උලාගන්න.. හහ්.. ඉන්නකො මං අපේ සුදුමැණිකෙ හාමුට කියලා ඔය කොඩිවිනේ කප්පන්න ලෑස්ති කරන්නම්කො..” චන්ද්‍රලතා පාරම් බෑවාය.
ජයතිස්ස එවර නම් එබසින් ගැස්සී ගියේය.
“හැබෑට ඔහෙලට පිස්සුද චන්ද්‍රලතා? මේ වෙලා තියෙන විලම්බෑසි මදිවට.. ඒ උන්දැ ගත්කටට ම කිව්වොත් මේ වලව්වලට තියෙන කොඩිවිනේ වෙන කවුරුවත් නෙමේ ‘උඹ’..! කියලා...”
චන්ද්‍රලතා කට වහගෙන එතැනින් මෑත් වුණේ ඒ කතාව හරියටම අවබෝධ කරගෙන හිතේ උපන් අමුතුම තැවුලකිනි.
*******
මේඛලාගෙන් ඇමතුම ලැබෙද්දී ශ්‍රීමාල් කරුණාදාසත් සමඟ තංගල්ලට යමින් සිටියේය.
“මම ට්‍රයි කළා මේඛලා, ජයමාල් මල්ලිගෙ ගර්ල් මාලිකාට ගන්න. ඒත් ආන්සර් කරන්නෙ නෑනේ... මට හිතාගන්න බෑ මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා. දෙන්නත් එක්ක කොහේ හරි ගමනක් ගිහිල්ලා මගදි කරදරයක් වෙලාද... මට තේරෙන්නේ නෑ මේඛලා..”
“අර මලින්ද අයියගෙ ගර්ල් ගෙ ගෙදරට තර්ජනය කළා වගේම මාලිකාලගෙ ගෙදරටත් මොකක් හරි කරන්න ඇති කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද... ඔයාලගෙ අප්පච්චිත් කරන්නෙ ම රත්නපුර වලව්වෙ කරන වැඩමනේ...”
“ඒකනම් සහතික ඇත්ත මේඛලා.. ඒ මස්සිනාලා දෙන්නා නම් තකට... තක තමා....!”
ශ්‍රීමාල් බේබි හාමු කී ඒ වදනට කරුණාදාසට ගියේ හීන් හිනාවකි. ඇමතුම අවසන ශ්‍රීමාල් කරුණාදාස දිහා බලයි.
“කරුණාදාසලාට හිනා නේද මේ වලව්වල කෙරෙන වැඩවලට.. හතර හිනා වැඩනේ ඉතිං මේ ඉලව් වලව්වල සිද්ධ වෙන්නෙ එහෙම නේද?...”
කරුණාදාස එබසට ශ්‍රීමාල් බේබි දෙස බැලුවේ අහිංසක විදියටය.
“අනේ හීනෙකින්වත් හිතන්න එපා දෙයියො.. අම්මාපල්ලා මට නම් කවදාවත් ම එහෙම හිනාවෙන්න බෑ! වලව්ව කියන්නෙ අපි එදා පටන්ම කාලා ඇඳලා ජීවත්වෙන තැන්... අපි වගේම අපේ දරු පවුල් රැකෙන්නෙත් මේවයින්... ඉතිං මේවායෙ සිද්ධ වෙන කරදර ඔක්කොම හරියට අපටම වුණා වගේ තමා බේබි හාමු...”
ශ්‍රීමාල්ට කරුණාදාස ගැන ඇති වුණේ පැහැදීමකට වඩා කනගාටුවකි. ඒ එක්කම මල්ලී ගැන මතක්වී ඔහුගේ හිත පත්තු වී ගියේය. තංගල්ලේ ගිහින් මේ දැනගන්නට යන්නේ කුමක් ද? කුමක් ගැනද? ඔහුගේ හිත හිරි වැටී ගියේය.
*******
ගොඩලියද්ද හාමු ආලින්දයට වී ඔහේ බලාගත් අත බලාගෙන සිටියේ තම මස්සිනා ගැන සිතමින්ය. ඒ එක්කම තම බිරිය වන සුදු මැණිකේ හාමු... තමාට කළ අභියෝගය - දෝෂාරෝපණය ඔහුගේ මුළු හිතම හිරිවට්ටා දමයි. මලින්ද පුතා පෙත්තරේ කෙල්ලක හා පැනයන්ට මූලික හේතුව තමාගේ කල්කිරියාව බව ඇය පුන පුනා කී හැටි... ඇය තමාට වගේම රත්නසේකර මස්සිනාටත් හොඳට ම දෙස් දෙවොල් තැබූ හැටි.. ඒ එක්කම ආපු අලුත්ම ආරංචිය ජයමාල් පුතාගේ අතුරුදහන්වීම... මේ සියල්ලම හරියට වෙස්වලාගෙන එන ගිනිගෙඩි සේමය. මේවා උහුලන්නට නම් ඇත්තට ම යකඩ පපුවක් ම තිබිය යුතුය. නමුත් ගැහැනුන් හිතන්නේ අප්පච්චිලාට දරු දුක දැනෙන්නේ නැහැ කියාය. දරුවන් වෙනුවෙන් විඳවන තරමක් විඳවන්නේ අප්පච්චිලාමය.
“හාමු මහත්තයා රත්නසේකර හාමුට ආයෙ පාරක් කතා කරලා බැලුවොත් හොඳයි නේද?”
ජයතිස්ස එසේ කීවේ වැඩ ඉවර කර වලව්වට එද්දිත් ආලින්දයේ සිටින හාමු මහත්තයා දැකලා ඇතිවූ ශෝකයෙනි.
ගොඩලියද්ද අඩවන්ව තිබූ දෑස් හැර ජයතිස්ස දෙස බලයි. හාමු කියා කතා කළත් දැන් ඔහු තමාගේ මස්සිනාය.! එකෙණෙහිම උමතු හිනාවකින් ඔහුගේ දෙතොල පළල්වෙයි. ඔහු මහ හඬින්ම සිනාසෙයි... දැන් මලින්ද පුතා වලව්වේ නැත! ශ්‍රී ජය වලව්වේ ජයමාල් පුතාත් වලව්වේ නැත..!
ඒත් තමා වලව්වේය. රත්නසේකර මස්සිනාත් නිර්මලා මැණිකෙ නංගිත් වලව්වේය. සුදු මැණිකෙත් තාම වලව්වේය. ඔහු වලව්ව දෙක වෙන්න මහා වියරු හිනාවක් පෑවේය! ජයතිස්ස විලාප තබමින් සුදුමැණිකෙ හාමු සොයාගෙන වලව්ව තුළට දිව්වේ මහා හඬින් කෑ ගසමින්ය. “අයියෝ අපේ හාමුට පිස්සු හැදිලා!!”
ලබන සතියට...