දුප්පත්කම පැන්නූ ගොවියා | සිළුමිණ

දුප්පත්කම පැන්නූ ගොවියා

(පසුගිය සතියෙන් ඉතිරි කොටස)

දියණියන් හා බිරිය සුදුමැලි යුවතියට බියවී කෑ ගසද්දී ගොවියා එතැනට පැමිණියා.

“මං භූතයෙක් නොවෙයි. මං උඹලාගේ දුප්පත්කම. උඹලාට මේ විදිහට මා මෙතැන දමා යන්න බැහැ. උඹලා යන තැනකට මාත් පස්සෙන් එනවා.” මේ සුදුමැලි යුවතිය පැවසුවා.

ඇගේ ස්වභාවය දුටු ගොවියා මැයගෙන් බේරී පලා යන්නේ කෙසේදැයි කල්පනා කළා.

“හොඳයි, ඔබට එන්න ඕනෑ නම් එන්න. ඒත් මේ වෙලාවේ ඔබට පුළුවන්නේ අපට මේ බඩු පොදි බැඳ ගන්න උදව් කරන්න. එහෙම වුණොත් අපට මෙතැනින් ඉක්මනට නික්ම යන්න පුළුවන්.”එලෙස පවසමින් ගොවියා යුවතිය‍ගෙන් මදක් මිදුලට පැමිණෙන ලෙස ඉල්ලා සිටියා.

එසේ ගොස් ගසක කඳක් සිය පොරොව ගසා කපා යුවතියගෙන් සිය පොරොව ගස් කඳෙන් ඉවත් කර දෙන ලෙස ඉල්ලා සිටියා. යුවතිය එතැනට ගොස් ගසේ පොරෝ පහර වැදුණු තැනට සිය ඇඟිල්ල තබද්දී ගොවියා පොරොව ඇද ගත්තා. ඒ හා සමඟ ගසේ කැපුම් තීරුවේ යුවතියගේ ඇඟිල්ල සිරවුණා. ගොවියා කළේ දුප්පත්කමේ යුවතිය එතැන කෑ ගසමින් සිටියදී සිය පවුලේ අයත් සමඟ වහාම එතැනින් පිටවීමයි. මෙලෙස ඔහු ඈත ගමකට ගොස් අලුත් ගමක පදිංචි වුණා. ඒ ගමේ දී මහන්සියෙන් වැඩ කළ ගොවියා යහමින් මුදල් උපයා ගත්තා.

ගොවියා යුවතිය ගස් කඳට සිර කර පැන ගත් අතරේ ඇගේ කෑ ගැසීම ඇසී ඉඩම් හිමියා එතැනට පැමිණියා.

“අනේ! කරුණාවන්ත මහත්තයෝ මට උදව් කරන්න. මා මේ ලී කොටයෙන් ගලවා ගන්න.” යුවතිය හඬමින් උදව් ඉල්ලුවා.

ඉඩම් හිමියාට ඇය ගැන දුක සිතී ඇය ඒ උගුලෙන් මුදා ගත්තා. එදා පටන් අර දුප්පත්කමේ යුවතිය ඔහු හැර ගියේ නැහැ. නිතරම සැප සම්පත් හෙවූ ඉඩම් හිමියා තමන් සතු සෑම සතයක්ම වියදම් කර අන්තිමේ දුප්පත්වී දුක්ඛිතම පුද්ගලයා බවට පත් වුණා.

(පෝලන්ත ජන කතාවකි)

කතාව සේමාලි නැන්දා
චිත්‍ර - කුමුදු මාමා

Comments