පරිසරය ලස්සන කරන වෙසක් දිනේ | සිළුමිණ

පරිසරය ලස්සන කරන වෙසක් දිනේ

“පින්වත් කුමරෙක් මෙලොව ඉපදුණා
එපින්වත් කුමරු බුදු බව ලැබුවා
ලෝදනට නිවන් මඟ පෙන්වූවා
වෙසක් පෝය දා වෙසක් පෝයදා”

වෙසක් උත්සවය ලංකාවාසී බෞද්ධ බැතිමතුන්ට වගේ ම ලෝකවාසී බෞද්ධ බැතිමතුන්ට වැදගත් උත්සවයකි. බෞද්ධ ජනතාව සමරන උත්සව අතරින් වෙසක් උත්සවයට හිමිවන්නේ ප්‍රධාන තැනකි. බෞද්ධ අපි වෙසක් උත්සවය මැයි මාසයේ සමරමු. සිංහල ක්‍රමයට ගත් විට මැයි මාසය වෙසක් මාසය ලෙස හඳුන්වයි.‍

සිදුහත් කුමාරයා සල්ගස පාමුල මහාමායා දේවියගේ කුස තුළින් මෙලොව එළිය දුටුවේ වෙසක් පුන් පොහෝ දිනකයි. අප මහා බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කර සත්‍යය අවබෝධ කරගෙන බුදු වූයේ ද වෙසක් පුන් පොහෝ දිනකයි. අපව සසර දුකින් එ‍ෙතර කිරීමට මහත් සේ කැපවූ බුදුන් වහන්සේ පිරිනිවන් පෑවේ ද වෙසක් පුන් පොහෝ දිනකයි. මෙම සිදුවීම් තුන තෙමඟුල ලෙස හඳුන්වයි‍.

බුදුන් වහන්සේගේ තෙමඟුල සිහි කරමින් වෙසක් උත්සවය උත්සවශ්‍රීයෙන් හා මහත් භක්තියකින් බෞද්ධ ජනතාව සමරති. මෙවර වෙසක් උත්සවය යෙදී ඇත්තේ අප්‍රේල් 29 වැනි ඉරිදාට ය. මේ දිනය බුද්ධ වර්ෂ 2641 වැනි බක් මස 29 ඉරු දිනයි. මෙවර වෙසක් මංගල්‍යය සැමරීමට ලොකු කුඩා සැවොම මහත් භක්තියෙන් සූදානම් වෙති. කුඩා ළමයි වෙසක් කූඩු සාදති. වැඩිහිටි පිරිස පාර දෙපස එළිපෙහෙළි කරමින් පහන් වැටවල් සාදති. වෙසක් පොහොය දිනයේදී බෞද්ධ ජනතාව සුදුවතින් සැරසී පන්සල් යති‍. ඒ වගේ ම වෙසක් උත්සවය නිමිත්තෙන් පන්සල්වල වැඩසටහන් බොහොමයක්. සංවිධාන‍ය කර තිබේ. සිල් සමාදන්වීම, මරණය සඳහා කැපවූ සතුන් නිදහස් කිරීම, දානමය පිංකම්, තොරණ, පෙරහර, දන්සල්, දුගී මගී යාචකයන්ට ඇඳුම් පැළඳුම්, ආහාරපාන ලබාදීම වැනි දේ එදිනට සිදු කරන කටයුතු ය. විවිධ ප්‍රදේශවල බැති ගී ප්‍රසංග ද පැවැත්වෙයි.

තවද තුරුලතා මලින් හා පලවලින් බරවී සුවඳවත් ව පරිසරය අලංකාර කරයි. මැයි මලින් බරවූ ගස් රතු පාටින් බබළයි. වෙසක් දිනය ආලෝකවත් කිරීමට පූර්ණ චන්ද්‍රයා නීල ආකාසේ පායයි.

පුංචි දරුවෝ වෙසක් පොහොය එනතුරු මඟ බලා සිටිති.‍ ඔවුහු එදින වෙසක් කූඩු පත්තු කරමින් විනෝද වෙති. වෙසක් දින මුළු පරිසරයම විචිත්‍රවත් වී ඇත. මෙවර වෙසක් දිනය එළඹෙන තුරු මම මග බලා සිටිමි. ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා!

එච්.ඒ. විනෝමි විචාරා හඟවත්ත
10 ශ්‍රේණිය ‘එෆ්’,
වික්‍රමශීලා ජාතික පාසල,
ගිරිඋල්ල. 

Comments