නුවණක්කාර බිරිය | සිළුමිණ

නුවණක්කාර බිරිය

 එකමත් කාලයක ඉන්දියාවේ කිසිම වැඩක් පළක් කරන්න අකැමැති කම්මැළි මිනිහෙක් හිටියා. මොහු සැමවිටම උත්සාහ කළේ ලෙහෙසියෙන් වැඩ කිරීමටයි. දිනක් මොහු දේවාලයක් ඉදිරියෙන් යද්දී ඵල බරින් පිරි අඹ ගසක් දුටුවා. දේවාල වත්තට හොරෙන් ඇතුළු වූ ඔහු ඇතිතරම් අඹ නෙළා ගත්තා.

මේ දේවාල මිදුලේ වූ පොකුණේ මාළු පිරී හිටියා. එය දුටු මේ මිනිසාට පොකුණෙන් මාළු බා ගැනීමට සිතී පොකුණට පැන්නා. කම්මැළිකම නිසා ඔහු නැමී මාළු අල්ලන්නවත් හිතුවේ නැහැ. ඔහු කළේ කකුළෙන් මාළු අල්ලා ගැනීමයි. එසේ අල්ලාගත් මාළු හා අඹ මල්ලේ පුරවා ගෙන ඔහු නිවෙසට ගියා.

“මේ බලන්න මං අද අපට කන්න හොඳ කෑම ගෙනාවා ” නිවෙසට ගිය ඔහු බිරියට පැවසුවා.

මුලදී මේ ආහාර දුටු බිරිය සතුටින් පිනා ගියත් පසුව ඒ ගැන කල්පනා කළා.

“මෙයා හරිම කම්මැළියි. කිසිම වැඩකට යන්නේත් නෑ. එහෙම තියෙද්දි මෙයාට මේ අඹයි මාළුයි ලැබුණේ කොහොමද? ” සැමියා අතින් මල්ල අතට ගත් බිරිය මේ ගැන ඔහුගෙන් විමසුවා.

“නිවෙසට එන අතරමඟ ඇති දේවාලයේ අඹ ගසෙන් අඹයි මිදුලේ ඇති පොකුණෙන් මාළුයි හොරකම් කර ගත්තා.” මිනිසා පැවසුවේ ආඩම්බරයෙන්.

මේ ඇසූ බිරිය කම්පාවට පත් වුණා.

“මගේ සැමියා මින් පෙර කම්මැළියෙක් පමණයි. දැන් ඔහු හොරෙක් වෙලා. මෙය මොනතරම් ලජ්ජාවක්ද?” මෙලෙස දුකෙන් කල්පනා කළ බිරිය සැමියාට පාඩමක් ඉගැන්වීමට සිතා ගත්තා.

“හොඳයි ඔබ දැන් හොරකමකුත් කළානේ. මං මේවායින් රසට කෑම හදන්නම්. එතකන් ගිහින් නාගෙන එන්න” බිරිය මෙසේ පවසද්දී සැමියා හරිම සතුටෙන් නෑමට ගියා. බිරිය ආහාර පිසිද්දී ගේ පුරාම කෑම සුවඳින් පිරුණා. ඒ සුවඳට කටට කෙළ උනන්දී සැමියා ඉක්මනට නාගත්තා.

“කෑම ලෑස්තියි. ඉක්මනට එන්න.” බිරිය මෙසේ පවසා සැමියා කෑමට එද්දී සිය කෙස් වැටිය කඩා දමා උයන හට්ටියක් අතට ගත්තා. ආහාර ගැනීමට පැමිණි සැමියා මේ අමුතු වෙස් ගෙන ඇති බිරිය දැක්කා.

“උඹ කොහොමද මගේ දේවාලයේ අඹ සහ මාළු හොරකම් කළේ. මං උඹට අද හොඳ පාඩමක් උගන්වනවා. මං දැන් උඹේ බිරියගේ ඇඟට ආවේසවෙලයි ඉන්නේ” බිරිය මෙලෙස කෑ ගසද්දී සැමියා බියවී ඇගේ දෙපතුළ ළඟ කඩා වැටී සමාව අයැදුවා.

“මින් පසු කම්මැළි නොවී සොරකම් නොකර දෑතේ වීර්යයෙන් වැඩ කරන බවට ඔබ මට දැන්ම පොරොන්දු වෙන්න ඕනෑ” ඇය පැවසුවා.

“දේවතාවියනි, මං ඔබට පොරොන්දු වෙනවා.” එසේ පැවසූ සැමියා එතැන් පටන් කඩිසරව වැඩ කරමින් යහපත් දිවි පෙවෙතක් ගත කළා.

(ඉන්දියානු ජනකතාවකි)

ලිව්වේ - සේමාලි නැන්දා
චිත්‍ර - කුමුදු මාමා

Comments

ඇමති බිරියන්ට ඔහොම වෙනවානම් අපේ රටට හොඳ කලක් යනවා. දෙවියනි ඔබ බැල්ම හෙලා හොරුන් පාලිමෙන්ටුවෙන් එලව දමනු මැනවි

පිටු