නිවැ­රැ­දිව ඔසු කැඳ හදමු | Page 4 | සිළුමිණ

නිවැ­රැ­දිව ඔසු කැඳ හදමු

තමන්ට අයත් භූමියක මුළු ජීවිත කාලය පුරාවටම වඩාත් වැදගත් වන පැළෑටි වගා කිරීමට හැකි නම් එය වාසනාවකි. විශේෂයෙන්ම සෞඛ්‍යමවත් ජීවිතයක් ළඟා කර ගැනීමට ඉවහල් වන ඖෂධ පැළෑටි වගා කිරීම යහපත් දෙයකි. තමන්ට පවතින බිම් අඟලක කෝ හැකි පරිදි ඖෂධ පැළෑටියක් සිටුවා ගැනීමට පුරුදු වීම දේහීය ආහාරවලට ප්‍රමුඛස්ථානය දෙන්නන් ලෙස අප සියලුදෙනාගේම යුතුකම වන්නේ ය.

උදෑසන තමන් සිටුවා ගත් ඖෂධ පෑළෑටි එකක් හෝ කිහිපයක් ගෙන පිරිසුදු ගුණාත්මක බවින් වැඩි කැඳ කෝප්පයක් පානය කිරීමට ප්‍රිය කරන්නන් සඳහා පහත දැක්වෙන්නේ ඖෂධීය කොළ කැඳ සාදා ගැනීමට සුදුසු ඖෂධ පැළෑටි කිපිපයක් සහ එම පැළෑටිවල ගුණදායක බව පිළිබඳව කරුණු කිහිපයකි.

*හාතාවාරිය- දාහ නාශකයකි. සරුබව වඩවාලයි,ඇස්වලට හිතකර ය,ශරීර පුෂ්ඨිකාරකයකි.

*ගොටුකොළ- බුද්ධි වර්ධකයකි, මතක ශක්තිය වඩවාලයි‍, සම පැහැපත් කරනු ලැබේ.

*මොණරකුඩුම්බිය- ආහාර රුචිය වඩවාලයි, ප්‍රතිශක්ති වර්ධකයකි, සම පැහැපත් කරනු ලබයි.

*උඳුපියලිය- අක්මාව ශක්තිමත් කරනු ලබයි,විෂ නාශකයකි,ඇස්වලට හිතකර ය.

*ඉරමුසු - දාහ නාශකයකි,කාන්තා රෝග නාශකයකි, ලේ පිරිසුදු කරනු ලබයි.

*හීන් බෝවිටියා - අක්මා රෝග නාශකයකි, ආහාර රුචිය වඩවාලයි, ලේ පිරිසිදු කරනු ලබයි.

*ගොනිකා කොළ- අස්ථි ශක්තිමත් කරනු ලබයි, වේදනා සමනය කරනු ලබයි,ආහාර රුචි කාරකයකි.

*වැල් පෙනෙල - ධාතු පෝෂකයකි, ඇස්වලට හිතකර ය,දාහ නාශකයකි.

*තොටිල පොතු- වාත වේදනා සමනය කරනු ලබයි, බල කාරකයකි,අනවශ්‍ය මේදය ඉවත් කරනු ලබයි.

*මුගුණුවැන්න- ඇස්වලට හිතකර ය, දාහ නාශකයකි,ලේ ධාතු වඩවා ලේ පිරිසිදු කරනු ලබයි.

*එළබටු කොළ- කැස්සට දිව ඔසුවකි, පෙනහළු ශක්තිමත් කරනු ලබයි, ආහාර රුචිකාරකයකි.

*කරපිංචා- විෂ නාශකයකි, ආහාර රුචිකාරකයකි, අනවශ්‍ය මේද ඉවත් කරනු ලබයි.

නිවැරදිව කැඳක් පිළියෙළ කර ගන්නා ආකාරය

පළමුව රතු සුනු සහල්/ දලව කුඩු කරගත් රතු සහල් මිටක් පමණ මැටි මුට්ටියකට ගෙන වතුර අඩු කෝප්පයක් පමණ දමා ලිප තැබිය යුතු ය. එයට තලා ගත් ඉඟුරු , සුදු ලුණු , ගම්බිරිස් ඇට,කීපයක් දමා හොඳින් පිසූ පසු පොල් කිරි අඩු කෝප්පයක් පමණ දමා උතුරුවා ගත යුතු ය. තෝරාගත් ඖෂධීය කොළ හොඳින් සෝදා, කොටා, මඳ උණුසුම් ජලය ස්වල්පයක් මිශ්‍රකර මිරිකා ගත් කොළ යුෂ අඩු කෝප්ප 2 ක් පමණ දමා මද ගින්නේ විනාඩි 5 ක් පිස ගත යුතු ය. ඉන්පසු සිහින්ව කපා ගත් රතුලුණු මිටක් පමණ දමා මිශ්‍රකර ලිපෙන් බා වසා තැබිය යුතු ය. රස අනුව ලුනු එකතු කර මද උණුසුමින් රස බැලිය හැකි ය.

ඖෂධීය ශාක වර්ග කීපයක් යොදා සාදාගත් කොළ කැඳ ඖෂධීය ගුණවලටත් වඩා යහපත් ආහාරයක ගුණ ශරීරයට ලබා දේ.

(උපදෙස්- සබරගමු පළාත් ආයුර්වේදදෙපාර්තමෙන්තුව රත්නපුර)

 මදාරා මුදලිගේ

Comments