
එක ගමක සිටි එළුවෙක් දිනක් ගමෙන් ටිකක් ඈත කැලෑවක අතරමං වුණා. මේ වෙලාවේ මහ වැස්සක් කඩා වැටෙද්දි එළුවා නොතෙමී ඉන්න අසල වූ ගුහාවකට රිංගුවා. මේ ගුහාව කොටියකුගේ ගුහාවක් බව එළුවා දැන සිටියේ නැහැ. කොටියා හවස ගුහාවට එද්දී තම වාසස්ථානයේ කවුරුන් හෝ ඉන්න බව දුරදීම දැක්කා. කොටියා මින් පෙර එළුවන් දැක නැහැ. මොකද කැලෑවේ එළුවන් නැහැනේ. ගුහාවේ ඉන්න මේ අමුතු සතා දුටු කොටියා ටිකක් සැකෙන් ගුහාවට ළං වුණා.
“මගේ ගුහාවට බයක් සැකක් නැතිව රිංගූ මේ අමුතු සතා මොකාද?. නපුරු සතෙක් වෙන්නත් පුළුවන්. කොයි එකටත් කතා කරලා බලනවා. නරක පැත්තට ආවොත් පැන දුවනවා ” මෙසේ සිතූ කොටියා ගුහා කට ළඟට කිට්ටු කළා. එළුවත් අඩියක්වත් නොසෙල්වී බලා සිටියා.
“දිග රැවුලක් තියෙන ඇඹරුණු අං තියෙන උඹ කවුද?”කොටියා බයෙන් සැකෙන් ගුහාවට කිට්ටුවී ඇහුවා.
“මං උඹේ අප්පච්චි. මොකද උඹ හිස් අතින් ගෙදර ආවෙ. හිටපන් මං උඹට” එළුවා ඉදිරි කකුල් බිම ගසමින් සැරෙන් ඇහුවා. මේ කතාවට බියවූ කොටියා පණ එපා කියා ඈතට දිවගියා.
“මූ නම් භයානක සතෙක්. මං කොහොමද මේ අමුතු සතා එළවා ගන්නේ” දැන් කොටියා ඈතට වෙලා කල්පනා කරනවා.
මේ අතරේ හැම දේටම හොට දාන වඳුරෙක් කොටියා ළඟට කිට්ටු කළා.
“මොකද කොටි රාලේ කල්පනාව. අද දඩයමක්වත් වැරදුණාද?”
“මට ගෙදර යන්න බෑ හරි බයයි.”කොටියා තමාට සිදු වූ දේ සියල්ල වඳුරු රාලට පැවසුවා.
“මොන බොරුද? කොටි රාල බය කරන්න සතෙක් මේ කැලේ නෑ. යං අපි ගිහින් බලමු.” වඳුරා සිනාසෙමින් කිව්වා.
“ඒ සතා දැක්කොත් උඹට කැලෙත් මදිවෙයි දුවන්න” කොටියා බයෙන්ම පැවසුවා.
“ඔය සතා මොකාද කියා මං දන්නවා. ඒ නිසා මං බය නෑ. හොඳයි මං දුවයි කියා හිතනවානම් අපි වලිග දෙක ගැට ගහ ගම්මු දුවන්න බැරි වෙන්න” මෙසේ කියූ වඳුරා කොටියාගේ වලිගය සිය වලිගයේ ගැට ගසා ගත්තා. දැන් දෙදෙනාම ගුහාට ළඟට ගියා.
“කොටි රාලගේ ගුහාවට රිංගා ඉන්න උඹ කවුද?” වඳුරා එළුවාගෙන් ඇහුවා.
“ආ උඹ මොකද ඒ පාර මේ කොටි හපුවෙක් ඇදගෙන ආවේ.” එළුවා බියක් නොපෙන්වා ඇහුවා. ඒ ඇසූ කොටියා බියවී වඳුරාත් ඇදගෙනම දුවන්න ගත්තා. කැලේ ගස් අතරින් පණ එපා කියා කොටියා දිව යද්දී වඳුරාගේ වලිගය ගැලවී ගියා.
කොටියා දුව ගොස් ඈතක නතරවී මහන්සියෙන් ඇඟ ලෙව කකා ඉන්නැද්දී දිවට ලේ රසයක් දැනුණා. බලද්දි ඒ වඳුරු ලේ. එම ලේ රස වැටුණු කොටියා ආපසු වඳුරා සොයා ගොස් ඌ මරා කෑවා. කොටියා එදා පටන් වඳුරු මස් කන්න ගිජු ඒ නිසාලු.
ජන කතාවක් ඇසුරෙනි