සල්ලි දීලා මැරෙන්න කෲස් නැවක යන්න | Page 2 | සිළුමිණ

සල්ලි දීලා මැරෙන්න කෲස් නැවක යන්න

ලෝකයේ අති සුඛෝපභෝගී වින්දනීය, ආශ්වාදනීය විනෝද චාරිකාව ලබා දෙන්නේ යැයි ප්‍රසිද්ධ කෲස් නෞකා ජාලයට දුර් දසාවක් ලබා ඇතැයි වාර්තා වේ. ඒ එම නෞකාවල ගමන් ගන්නා මගීන් අහඹු ලෙස මිය යෑමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව සැලවීමත් සමගය.

කෲස් නෞකා 1822 තරම් ඈත අතීතයේදී ඉදි කරණු ලැබූවේ අති සුඛෝපභෝගී විනෝද චාරිකාවක අත්දැකීම ධවනතුන්ට ලබා දීම අරමුණු කර ගනිමිනි. ඒ අනුව යමින් එංගලන්තය සහ ලිබියාව අතර සාගර කලාපයේ විනෝද චාරිකා සඳහා ප්‍රථම කෲස් නෞකාව ඉදි කෙරුණු අතර එය ධනවතුන් අතර අතිශයින් ජනප්‍රිය වූ බැවින් දිගින් දිගටම වඩාත් සුඛෝපභෝගී නෞකා ඉදි කරමින් මෙවැනි චාරිකා දිගින් දිගටම පවත්වාගෙන යෑමට මේ නෞකා ජාලයේ නිර්මාතෘ පී ඇන්ඩ් ඕ සමාගම කටයුතු කළේය.

තාක්ෂණයේ දියුණුවත් සමග වඩාත් සුඛෝපභෝගී නෞකා බිහිවන්නට වූ අතර ඒ අතරින් අති ‍සුඛෝපභෝග නෞකා හැඳින්වීමට 'කෲස්' යන නම පොදුවේ භාවිත කරන ලද්දේ එම හැඳන්වීමෙන්ම නෞකාව අති සුඛෝපභෝගී බව හැඟී යන බැවින්ය. එමෙන්ම කෲස් නෞකා අති දැවැන්ත නෞකා ලෙසින්ද ප්‍රසිද්ධියක් උසුලන්නේය.

2001 සිට මේ දක්වා කෲස් නෞකා නවයක් ඉදි කෙරී තිබේ. මේ නෞකා සියල්ලම පාවෙන හෝටල් වැනිය. මේ නෞකා අභ්‍යන්තරයේ සුපිරි ජීවිත ගත කරන ධනවතුන්ට අවශ්‍ය කරන සියලු දේ අන්තර්ගත වී තිබේ. ඉදි කිරීමෙන් පසු මේ නෞකා නොයෙක් සමාගම්වල මිලදී ගැනීමට ලක් වූ අතර ඒවායේ හිමිකරුවන් වරින් වර වෙනස් වීම්වලට ලක් වෙමින් තිබේ.

මේ නෞකාවල චාරිකාවත් යෑමට හැකියාව ඇත්තේ සුපිරි ධනවතුන්ටම පමණක් වන අතර ඒ තරමට ඒවායේ මිල අධිකය. මේ නෞකාවල ආහාර ගැනීමේදී පුරාණ ධනවතුන් අැඳි ඇඳුම්වලින් සැරසී සිටිය යුතු බවටද සම්ප්‍රදායක් පවතින්නේ ඒ මගින් ධනවතුන්ගේ සිත්තුළ තවදුරටත් තමන් සුවිශේෂ බව අවිඥානික ලෙස වර්ධනය කිරීමේ අභිලාශයෙනි. උදාහරණයක් ලෙස කෲස් නෞකාවල රාත්‍රි ආහාර වේල සඳහා පැමිණීමේදී පිරිමින් තක්සුදෝ වර්ගයේ දිගු කබාවලින් සැරසී සිටිය යුතුය.

මීට අමතරව මේ නෞකාවල අභ්‍යන්තරයේ අති සුඛෝපභෝගී හෝටල් කාමර වැනි කැබින්, කැසිනෝ ශාලා, භාණ්ඩ විකිණීමේ අවසර පත් අවශ්‍ය නොවන වෙළෙඳ සැල් ද වේ. මේ වෙළෙඳසැල්වල අළෙවියට ඇති භාණ්ඩ කිසිම රටක බදු අනුපාතයකට යටත් නොවන බැවින් ඒවායේ ද සාමාන්‍යයෙන් ගොඩබිමදී මිලදී ගත නොහැකිය යන සුවිශේෂ හැඟීමක් මිලදී ගන්නා තුළ ඇති වේ.

මීට අමතරව කෲස් නෞකා අභ්‍යන්තරයේ ස්පා, කායවර්ධන මධ්‍යස්ථාන, පුස්තකාල, බ්‍රෝඩ්වේ මාදිලියේ රංග ශාලා, සිනමා ශාලා, දිය මත ලිස්සා යෑමේ හැකියාව සහිත ගෘහස්ත සහ බාහිර පිහිනුම් තටාක, උණුසුම් දිය තටාක, බු‍ෆේ කෑම ශාලා, සමාජ ශාලා, පැසි පන්දු පිටි, ටෙනිස් පිටි, ස්නූකර් ක්‍රීඩා පහසුකම්, මෙන්ම ගොල්ෆ් ක්‍රීඩා කිරීමේ පහසුකම්ද ලබා ගත හැකිය.

එබැවින්ම මේ නෞකාවල සංචාරය සඳහා අයකරන මිල අමුතුවෙන් සඳහන් කළ යුතු නොවන්නේ මුහුද මැදදී නොව ගොඩබිමදී වුවද ඉහත පහසුකම් සමග කමින් බොමින් විවේකයෙන් ගත කිරීමට අවස්ථාව හිමි වන්නේ ඉතා සුළුතර අති ධනවතුන් පිරිසකට පමණක් වන බැවිනි. එසේ වුවද මේ දක්වා කෲස් නෞකාවලට සංචරකයන්ගෙන් කිසිදු හිඟයක් නම් දක්නට නොලැබුණේ පෘථීවිය අන්ත දුගීන්ගෙන් පිරී ගොස් තිබුණද එයට ධනවතුන්ගෙන්ද කිසිදු අඩුවක් නොමැති බව පෙන්වන්නට මෙනි.

එහෙත් පසුගිය ව‍සරේ සිට කෲස් නෞකාවලට කිසියම් දුර් දසාවක් ලබා ඇතැයි වාර්තා වන්නේ මේ නෞකාවලින් අසාමන්‍ය අන්දමේ මරණ සංඛ්‍යාවක් වාර්තා වීමත් සමගය. මේ වාර්තා මාධ්‍යයට ලබා නොදීමට කෲස් ජාලය කොතරම් උත්සාහ ගත්තද ඇතැම් තොරතුරු මාධ්‍ය වෙත ලඟා වීම වළක්වාලන්නට ඔවුන්ට හැකියාව ලැබී තිබුණේ නැත.

ඒ අනුව කෲස් නෞකා ජාලයේ කානිවල් කෲස් නෞකාවේ පමණක් පසුගිය වසරේදී සිදුවී ඇති මරණ සංඛ්‍යාව 30කි. ඒ අතරින් ආසන්තම මරණය පසුගිය සතියේ සිදුවී ඇති අතර එවර මිය ගොස් ඇත්තේ කාන්තාවකි. ඇය තමන්ගේ කුටිය පිහිටි දහ හතරවැනි තට්ටුවේ සිට එකොළාස්වැනි තට්ටුවට ඇද වැටීමෙන් මිය ගොස් සිටියාය. එසේ වුවද ඇය ඇද වැටීමට හේතුව සොයා ගැනීමට තවමත් හැකියාව ලැබී නොමැත.

මේ මරණ සංඛ්‍යාව අතරට මෙක්සිකෝවේ ඉපැරණි ඉන්කා නටඹුන් නැරඹීමට යෑමේදී අනතුරට පත් වූ සංචාරකයන් පිරිසක්ද ඇතුළත්ය. අමතරව නෞකාවේ කාර්ය මණ්ඩලයේද මරු වැළඳගත් සාමාජිකයන් සිටින බවට වාර්තා ලැබී තිබේ.

පසුගිය වසරේ මැද භාගයේදී කානිවල් කෲස් නෞකාවේ සංචාරයක් අතරතුර 39 හැවිරිදි කාන්තාවක් ඇයගේ සැමියා විසින් මරා දමනු ලැබුවාය.

සංචාරකයන්ගේ ආරක්ෂාව සැලසීම අතින් කප් ගසා සිටි කෲස් නෞාකවලට මෙවැනි හදිසි අනතුරු හෝ වෙනත් යම් සිදුවීම් පාලනය කිරීමට හැකියාවක් ලැබුණු බවක් නම් පෙනෙන්නට නැත.

කෙසේ වුවද මේ සිදුවීම් සමග සල්ලි ගෝනි ගණනින් විසි කරමින් කෲස් නැවක නැඟී මුහුද වටේ යන්නට ලෝක සල්ලිකාරයන් යම් තරමකින් පසුබට වන බවක් ඇති වෙමින් තිබෙන්නේ යැයි මාධ්‍ය වාර්තා කර තිබේ. එසේ වුවද කෲස් නෞකා ජාලය ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි මරණ ඉතාමත් සාමාන්‍ය වන බවත් තම නෞකාවලට සංචාරකයන්ගෙන් කිසිදු අඩුවක් නොමැති බවත්ය.

එම ප්‍රකාශය සත්‍යයැයි පිළිගැනීමට සිදු වන්නේ ධනවතුන් ප්‍රතික්ෂේප කළද ධනවතුන්ගේ තැන ගෙන ධවතුන්ගේ මෙන් ක්‍රියා කිරීමට පුල පුලා සිටින තවත් කොට්ඨාසයක් සමාජයේ සෑම මොහොතකම පවතින බැවිනි. එමෙන්ම කෲස් නෞකා ධනවතුන්ගේ අවිඥානයට අති සාර්ථක ලෙස ඇමතීමට සමත් වූ ව්‍යාපාරයකි. මේ සියල්ලම එක් තැන් වූ විට කොතරම් මරණ සිදු වුවද කෲස් නෞකාවලට සංචාරකයන්ගෙන් නම් අඩුවක් සිදු වනු ඇතැයි සිතිය නොහැකිය. 

 

Comments