සම්භාව්‍ය සාහි­ත්‍ය­යට කාල­ත්‍රයේ සීමා නෑ | සිළුමිණ

සම්භාව්‍ය සාහි­ත්‍ය­යට කාල­ත්‍රයේ සීමා නෑ

නූතන සාහිත්‍යකරුවා සම්භාව්‍ය සාහිත්‍යයේ ආභාසය ලැබිය යුතුද යන්න පිළිබඳ විවිධ මත පවතී. මේ සම්බන්ධව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සකස් වෙයි. මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර සිංහල සාහිත්‍යය පිළිබඳ ප්‍රවීණයෙකි. පාලි-සංස්කෘත භාෂාවන්හිද විද්වතකු වන ඔහු ජනශ්‍රැතිය, නූතන සාහිත්‍යය, සම්භාව්‍ය සාහිත්‍යය, අභිලේඛන සම්බන්ධ පර්යේෂණ රැසක් සිදු කර තිබේ. අභිලේඛන කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වමින් ඔහු විසින් රචිත ග්‍රන්ථ දෙකක් වන ‘සන්නස් හා තුඩපත්’ හා ‍‘ලක්දිව අක්ථානි ප්‍රදාන විධි’ රාජ්‍ය සාහිත්‍ය උලෙළේදී විශිෂ්ට කෘති ලෙස ඇගයීමට පාත්‍ර විය.

වෑත්තෑවේ හාමුදුරුවො ගුත්තිල කාව්‍යය නිර්මාණය කිරීමේදී ගුත්තිල, මූසිල චරිත දෙක යොදාගැනීමම නූතන සාහිත්‍යකරුවාටද වෙනස් අයුරකින් පරිකල්පනය කළ හැකියි. මේ නිසා නූතන සාහිත්‍යයේ දියුණුවට සම්භාව්‍ය සාහිත්‍යය හැදෑරීමටම සීමා විය යුතුයැයි අපට කිව නොහැකියි. අප ලබාගත යුත්තේ සම්භාව්‍ය සාහිත්‍යයේ ආලෝකය හා ආභාසය පමණයි

* නූතන සාහිත්‍යය සම්භාව්‍ය සාහිත්‍යයෙන් ලබන ආභාසයෙන් ඈත් වෙලා කියලා පෙනෙන්න තිබෙනවා. මේ පිළිබඳ ඔබ දරන අදහස?

සම්භාව්‍ය සාහිත්‍යය කියන්නේ එක් යුගයක්. නූතන සාහිත්‍යය කියන්නේ තවත් යුගයක්. මේ කාණ්ඩ දෙක යුග දෙකක්. වර්තමානයේ නූතන සාහිත්‍යයේ පරමාර්ථවල වෙනස්කම් අප දකිනවා. සාහිත්‍යය කියන්නේ නොවෙනස්ව පවතින්නක් නොවෙයි. සාහිත්‍යකරුවාගේ සමාජ පරිකල්පන අත්දැකීම් අනුව සාහිත්‍යය වෙනස් වීමට භාජනය වෙනවා. ඒ වගේම සම්භාව්‍ය සාහිත්‍යයේ අංග දෙකක් තිබෙනවා. එක් කොටසක් ලෞකිකකත්වය පදනම් කරගත්තක්. අනෙක් කොටස ලෝකෝත්තර පදනම මත. උදාහරණ ලෙස ගත හොත්: කව්සිළුමිණ හා කාව්‍යශේඛරය කාව්‍ය ග්‍රන්ථ ලෞකිකත්වය අරභයා ලියවූ ඒවා. ඒ වගේ ගද්‍ය සාහිත්‍ය කෘතිවලින් පැහැදිලිව විද්‍යමාන වන සංකල්පයක් තමයි මෙලොව පරලොව ජීවිතය යහපත් කරගත යුතු ආකාරය. ඒ ආකාරයට නෙමෙයි අද නූතන සාහිත්‍යය ලියවෙන්නේ.

* එහෙත් සම්භාව්‍ය සාහිත්‍යයේ ආභාසය නූතන සාහිත්‍යයේ පෝෂණයට බලපානවා. එමඟින් නූතන සාහිත්‍යය විශ්ෂ්ටත්වයට ගත හැකියි. එදා ගද්‍ය සාහිත්‍ය කෘතිවලින් විෂය කළ අරමුණ ලෝකෝත්තර අරමුණක් වූවත්, එයට පාදක වන කතා වස්තු සහ අත්දැකීම් ලෞකික ජීවිතය හා සම්බන්ධ වූවක් නේද?

පැහැදිලිවම. ලෞකික ජීවිතවලට ගත යුතු ආදර්ශ පැරැණි ගද්‍ය කෘතිවල අඩංගු වෙලා තිබෙනවා. මේ කෘති මඟින් සාකච්ඡා වන මනුෂ්‍ය චරිතවල අධ්‍යාත්මයේ බිඳවැටීම්, ඒවාට හේතුභූත වන්නා වූ සමාජීය කරුණු සම්භාව්‍ය සාහිත්‍යයට වස්තු විෂයය වෙලා තිබෙනවා. මේ වස්තු විෂයය මෑත් කර අප බැලුවොත් අපට පැහැදිලිව පෙනෙන පොදු සංසිද්ධියක් තිබෙනවා. ඒ තමයි: සම්භාව්‍ය සමාජය හා නූතන සමාජය කියලා මනුෂ්‍ය අධ්‍යාත්මයට බලපෑ පොදු මානුෂික ධර්මතා සමුදායක් තමයි මේ දෙගොල්ලොම පරිකල්පනය කරලා තමන්ගේ නිර්මාණ කරගෙන තිබෙන්නේ. සම්භාව්‍ය ගද්‍ය-පද්‍ය සාහිත්‍යයේ මේ නිර්මාණ බිහි වූයේ එවැනි සිද්ධි පාදක කරගෙන.

* කව්සිළුමිණ කතුවරයා ප්‍රේමය පාදක කරගෙන නිර්මාණකරණයේ නියුක්ත වීමෙන් එහි යම් නූතනත්වයක් ගැබ් වූවා නේද?

ඔව්. ප්‍රේමය පිළිබඳව කව්සිළුමිණෙන් කතා කළා. සැල මුතු ප්‍රේමය ලෙස ඔහු සම්භාව්‍ය ආඛ්‍යාන රීතිය තමන්ට රිසි පරිදි වෙනස් කරමින් කාව්‍ය රචනා කළා. මේ නිසා මේ ආකෘතියේ නූතනත්වයක් ගැබ් වී තිබෙනවා. චිරපරිචිත ආඛ්‍යානයක තියෙන පෞරාණික ස්වරූපය නව්‍ය ආකාරයකින් දැකීමට මේ කවියා සමත් වුණා. කාව්‍යශේඛරයේද කතිකාවට ලක් වූයේ එවැනිම ගැටලුවක්. විවාහ ජීවිතේ ඇති වූ ගැටුමක් සම්බන්ධ කරගෙන මේ නිර්මාණය ගොඩනැඟුණු අතර, මෙහිදී සාම්ප්‍රදායික මාධ්‍ය ඇසුරු කරගෙන නිර්මාණය කරන්න තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සමත් වුණා.

* නූතන ලේඛනයේදී සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරු කිරීම අවම වුණේ ඇයි?

අවම වෙලාම කියලත් කියන්න බැහැ. නූතනයේ ලේඛකයන් සම්භාව්‍ය සාහිත්‍යය පරිශීලනය කරන ප්‍රමාණය සංඛ්‍යාත්මකව කියන්න බැහැ. මා දකින ආකාරයට නූතනයේ තරුණ ලේඛකයන් සම්භාව්‍ය සාහිත්‍යය පරිශීලනය කිරීමේ නැඹුරුවක් තිබෙන බව පැහැදිලිව පෙනෙන්න තියෙනවා. නූතන ලේඛකයා ගැටලු විසඳන ආකාරය, භාෂා උපක්‍රම, ආඛ්‍යාන රීති යොදා ගැනීමේදී සම්භාව්‍ය සාහිත්‍ය කෘතිවලින් ආභාසය ලැබී ඇති බව මනාව පසක් වෙනවා. කෙසේ වෙතත් නූතන ලේඛනයේදී සාහිත්‍යකරුවාට නිර්මාණය කළ යුතු ආකාරය, ආඛ්‍යානය පිළිබඳවත්, භාෂාව හැසිරිවිය යුතු ආකාරය පිළිබඳවත් නීති පනවන්න බැහැ. මොකද: සම්භාව්‍ය සාහිත්‍ය එදාට ගැළපුණා සේ නූතන සාහිත්‍යය අදට ගැළපෙන නිසා.

* සාහිත්‍ය රීති කෙසේ තිබුණත්, සමාජ පිළිගැනීම් කුමන ආකාරයෙන් විග්‍රහ කළත් සමාජීය පරිසරය මත සාහිත්‍යය වෙනස් වන බවද ඔබ කියන්නෙ?

ඔව්. එක් එක් යුගවලට අනුව සාහිත්‍යකරුවාගේ සාහිත්‍යාංග වෙනස් වුණා. මේ නිසා අපට පැහැදිලි එක් දෙයක් තියෙනවා. සාහිත්‍යාංගයක් නිර්මාණය වන්නේ අප ජීවත් වන පරිසරයේ ඇති වන සමාජීය විපර්යාස මත බව. පවතින සමාජීය පරිසරය මත සාහිත්‍යකරුවා තමන්ගේ නිර්මාණ පරිසරය හැඩ ගසාගන්නවා. ඒ සඳහා උචිත වාගාලේපයක් යොදාගෙන රසය උද්දීපනය කිරීමට සුඛනම්‍ය වචන සමුදායක් යොදාගන්නවා. මේ අනුව තමන්ගේ නෛසර්ගික ප්‍රතිභාව උද්දීපනය වන ලෙසත්, නිර්මාණය සමාජගත කිරීමට නිර්මාණකරුවා ඉදිරිපත් වනවා.

* සම්භාව්‍ය සාහිත්‍යකරුවා මුහුණ දුන් ගැටලු සහ නූතන සාහිත්‍යකරුවා මුහුණ දෙන ගැටලු අතර වෙනස පැහැදිලි කළොත්?

සම්භාව්‍ය සාහිත්‍යය බිහි වූ යුගයේ සමාජීය පසුබිම, ඔවුන් අත්විඳි විවේකය, සමාජීය සම්ප්‍රදායන් නූතන කලාකරුවා මුහුණ පාන ගැටලු අතර විශාල වෙනසක් තිබෙනවා. මේ සෑම නිර්මාණයක්ම පදනම් වන්නේ පවතින සමාජීය තත්ත්වය මත. මේ නිසා සම්භාව්‍ය සාහිත්‍යයේ ඇති ලක්ෂණ හා ආඛ්‍යාන රීති නූතනයේදී අපට ඒ විදියටම බලාපොරොත්තු වන්න බැහැ. ඒ අයුරින්ම නිර්මාණය කරන්න කියලා නූතන ලේඛකයාට අපට කියන්නත් බැහැ. එහෙත් නූතන ලේඛකයාට සම්භාව්‍යය ලේඛනයේ ආභාසය ලබාගන්න පුළුවන්. තම නිර්මාණය විශිෂ්ට ගණයේ ලා සම්පාදනය කිරීමට සම්භාව්‍ය ලේඛන පිටිවහලක් වෙනවා. සම්භාව්‍ය සාහිත්‍ය‍ය පමණක් නොවෙයි, විශ්ව සාහිත්‍යයත් නූතන ලේඛකයන්ට ඇසුරු කරන්න පුළුවන්. මේ නිසාම සම්භාව්‍ය සාහිත්‍යයේ එල්බ සිටිමින් එහි සිරගත වී සිටිය යුතු යැයි කිසිවකුට අණපනත් පනවන්න බැහැ. එහෙම වුවොත්, ඔහු හෝ ඇය ළිං මැඬියකු බවට පත් වෙනවා. නූතන සාහිත්‍යකරුවාට දේශීය සම්ප්‍රදායන් උල්පතක් මෙන්ම විශ්වීය සම්ප්‍රදායන් ආභාසයක් ලෙස අතිශයින් වැදගත්.

* අද පාසල් දරුවන් සම්භාව්‍ය සාහිත්‍යය ඉගෙනගන්නේ තමන්ගේ පාසල් විෂය ක්ෂේත්‍රය තුළ පමණයි. මේ පිළිබඳ පැහැදිලි කළොත්...

පැරැණියන් සාහිත්‍යය හැදෑරුවේ රසාස්වාදය පිණිසයි. එහෙත් වර්තමානයේ දරුවන් සාහිත්‍යය හදාරන්නේ විභාග සමත් වෙන්න. ඒ අයට සාහිත්‍යය හැදෑරීමේ පිපාසාවක් නැහැ. හුදෙක් විභාග සමත් වීමේ පරමාර්ථයෙන්ම පමණයි ඔවුන් සාහිත්‍ය හදාරන්නේ. ඒ වගේම ඒ පිළිබඳ අවබෝධයක් ලබාගන්නත් විධිමත් විචාර කලාවක් අවශ්‍යයි. මේ සඳහා උචිත වැඩපිළිවෙළක් හෝ සම්මන්ත්‍රණ මාලාවක් වර්තමානයේ දකින්නට ලැබෙන්නේ නැහැ.

* සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් හැදෑරීම දුෂ්කර කාර්යයක් කියලාද ඔබ කියන්නේ?

එය දුෂ්කර කාර්යයක් තමයි. එයට මූලිකම හේතුව කාලයත් සමඟ භාෂාව වෙනස් වීමයි. එදා භාෂාවත් අද අප ව්‍යවහාර කරන භාෂාවත් අතර පරතරයක් තියෙනවා. ඒ පරතරය නැති කරගෙන සාහිත්‍ය රසය උද්දීපනය කරගැනීමට සාහිත්‍ය විදාර්ථීන් දක්ෂ විය යුතුයි. සාහිත්‍යය විෂයයක් ලෙස හැදෑරීමේදී මේ සියල්ල පිළිබඳව අවබෝධයෙන් ක්‍රියා කළ යුතුයි. සම්භාව්‍ය සාහිත්‍යයේ ඇති රස මුසු ස්ථාන සාහිත්‍ය රුචිය ඇති වන ලෙස හැදෑරවීමට සාහිත්‍ය ගුරුවරයා සමත් විය යුතුයි.

සම්භාව්‍ය කෘතිවල සාහිත්‍ය අරමුණක් මෙන්ම ධර්ම පරමාර්ථයක්ද තිබෙන බව ඔබ සඳහන් කළා. මෙය සමාජගත කිරීමට නම් භාෂා ඥානයක් තිබීම අවශ්‍යයි. මේ සඳහා පාඨකයාගේ සතත අභ්‍යාසය වැදගත් වනවා නේද?

ඔව්. සම්භාව්‍ය කෘති ධර්ම පරමාර්ථය ගුරු කොටගෙන, ආචාරධර්ම පදනම් කරගෙන නිර්මාණ කළ ඒවා. එහිදී චරිත දෙස හෙළන දෘෂ්ටිය කතුවරුන් මෙන්ම සමාජයද යම් කිසි ආකාරයක අසාධාරණයට ලක් කරනවා. නිදසුනක් ලෙස: අපි මූසිල කියනවා, දේවදත්ත කියනවා, අංගුලිමාල කියනවා... අපට මේ චරිත ගැන අවබෝධයක් තිබෙනවා.

මේ චරිත ගැන අප හෙළන දෘෂ්ටිය නිවැරැදි නැහැ. ඒ චරිත එබඳු චරිත බවට පත් වුණේ ඒ චරිත හැසිරුණ සමාජීය වටපිටාව අනුවයි. ඒ දෙය අවබෝධ කරගැනීමෙන් හා ප්‍රශ්න කිරීමෙන් අපව වළක්වා තියෙනවා.

සම්භාව්‍ය සහිත්‍යයේ ස්ත්‍රීන් පවිටු සත්ත්ව කොට්ඨාසයක් ලෙස හුවා දක්වන නැඹුරුවක් තිබෙනවාද?

ඒ පිළිබඳ අපට එකඟ වෙන්න බැහැ. එසේ නම් සම්භාව්‍ය සාහිත්‍යයෙන් ආදර්ශයක් ලෙස අප කුමක්ද ගන්නේ? ඒ සාහිත්‍යයේ අවසාන ඵලය වෙලා තියෙන්නේ ආචාරධර්මවලට හේතුභූත වුණ කාරණා. කව්සිළුමිණ කතුවරයා හා කාව්‍යශේඛර කතුවරයා ප්‍රේමය, ආලය ශක්තිමත් වන්න නම් ස්ත්‍රී-පුරුෂ ප්‍රේමයේ අන්‍යොන්‍ය අවබෝධය, දෙදෙනා කෙරෙහි ආදරය සුරක්ෂිත වීමට බලපාන බව පෙන්වා දී තිබෙනවා. එබඳු ස්ථානවල ආදර්ශයක් ලැබුණත් අනෙකුත් තැන්වල ලැබෙන ආදර්ශය ආගමික පරමාර්ථවලට පමණක් සීමා වනවා.

නූතන සාහිත්‍යකරුවාගෙන් අපට උපදේශාත්මක නිර්මාණ ශෛලියක් බලාපොරොත්තු වීමට හැකිද?

නූතන සාහිත්‍යකරුවා එවැනි උපදේශ දෙන්නේ නැහැ. එය බලාපොරොත්තු වන්නත් බැහැ. ඔහු පෙන්වා දෙනවා සමාජීය ක්‍රියාදාමය තුළ සමාජ පරිණාමය ඔස්සේ මානව කුටුම්බය තුළ නැති නම් සමාජයේ ඕනෑම පරිසරයක ජීවත් වන ස්ත්‍රීන් පුරුෂයන් හට මුහුණ දීමට සිදු වන විසඳුමක් නැති විවිධාකාර සමාජ ගැටලු හා ඒවායින් ජය ගැනීමට, ඒවාට මුහුණ පාන චරිත ක්‍රියා කරන ආකාරය. එහිදී ඔවුන් මේ කතාවට ස්වර්ගය, අපාය හෝ වෙනත් ආත්මභවවල ඉපදීම පිළිබඳ විග්‍රහ කරන්නේ නැහැ. හුදෙක් සමාජීය ප්‍රශ්න හා ගැටලු නිරාකරණය කිරීමක් පමණයි කෙරෙන්නෙ. කෙසේ වෙතත් වෑත්තෑවේ හාමුදුරුවො ගුත්තිල කාව්‍යය නිර්මාණය කිරීමේදී ගුත්තිල, මූසිල චරිත දෙක යොදාගැනීමම නූතන සාහිත්‍යකරුවාටද වෙනස් අයුරකින් පරිකල්පනය කළ හැකියි. මේ නිසා නූතන සාහිත්‍යයේ දියුණුවට සම්භාව්‍ය සාහිත්‍යය හැදෑරීමටම සීමා විය යුතුයැයි අපට කිව නොහැකියි. අප ලබාගත යුත්තේ සම්භාව්‍ය සාහිත්‍යයේ ආලෝකය හා ආභාසය පමණයි.

දරුවන් ඊ-බුක් වැනි දේට හුරු වීම නිසා නූතන පරපුර සාහිත්‍යයෙන් ඈත් වීමේ ප්‍රවණතාවක් තිබෙනවාද?

අද්‍යතන සමාජයේ පුරවැසියන් අන්තර්ජාලයට හුරු වෙලා. ඒ අයට පොත් මිල දී ගන්න අවශ්‍ය නැහැ. ඒ අයට ඒවා අන්තර්ජාලය ආශ්‍රයෙන් පරිශීලනය කරන්න හැකියාව ලැබෙනවා. ඒ අයට පොත් මිල දී ගන්න හෝ පුස්තකාලවලට යන්න හෝ අවශ්‍ය නැහැ. එය එක් අතකින් පහසුවක්. හැබැයි තවත් අතකින් අන්තර්ජාලය පොතපත සොයාගෙන යෑමේ උනන්දුව හීන කරනවා. නූතන සාහිත්‍යයත් මේ පහසුකම මත අන්තර්ජාලයට මුදාහරිමින් පවතිනවා. ඒ පහසුකම් විඳගැනීමට ශ්‍රී ලංකාව වගේ රටක කීයෙන් කී දෙනාට හැකි වන්නේ කියන එකත් ගැටලුවක්. දියුණු තාක්ෂණික මෙවලම් තිබුණ කිව්වට ඒවාට යොමු වෙන්න හැකියාව තියෙන්නේ අවම ප්‍රමාණයකට. මේ නිසා ඊ-බුක් ව්‍යාපෘතියෙන් සිංහල පාඨක රූචිය අඩු වනවා කියලා අපට කියන්න බැහැ. විශේෂයෙන් සාහිත්‍ය ගුරුකුල තිබෙනවා. සමහර අය විචාර කලාව හසුරුවන විට එය පැහැදිලි කරන්නේ තමන් තීරණය කරන නැති නම් තමන් අභිමත ගුරු කුලය අනුවයි. මෙයින් කතුවරයාට හානියක් වෙනවා. ඒවගේම පාඨකයාත් හිතනවා අපි එය පරිශීලනය නොකළ යුතුයි කියලා. අන්න එවැනි ප්‍රවණතා සාහිත්‍යයන් ඈත් වෙන්නට හේතු විය හැකියි.

සාහිත්‍ය උලෙළවලදී හෝ සම්මාන උලෙළවලදී නිර්දේශ වී තිබෙන සාහිත්‍ය කෘති පමණක් උසස් යැයි ඇගයීමෙන් සෙසු ලේඛකයන්ට මෙන්ම පාඨකයාටත් අසාධාරණයක් වෙනවා කියලද ඔබ කියන්නෙ?

ඔව්. එහිදී විශේෂ නිර්ණායකයක් පිළිබඳ ඇගයීමක් සිදු වනවා. එහෙත් එය සිදු වන්නෙ විනිශ්චය මණ්ඩලයේ දෘෂ්ටිකෝණය අනුව. අනෙක් අතට: විචාරයේදීත් මේ අසාධාරණය සිදු විය හැකියි. මෙයින් වන්නේ සීමිත කෘති ප්‍රමාණයක් පිළිබඳව පමණක් පාඨක ලෝකය දැනුම්වත් වීමයි. නූතන සාහිත්‍යයට ඒ පටුබව අවාසියක් වගේම සම්භාව්‍ය සාහිත්‍යයේ ආභාසය නොලැබීමත් සාහිත්‍යයේ උන්නතියට පාඩුවක්. ඔබ විමසූ ඊ-බුක් පරිශීලනය වැනි දේ අපට හොඳ අතට යොදාගත හැකියි. ඒ වගේම විශ්ව සාහිත්‍යයෙන් ගත යුතු දේට එය පහසුවක්. සම්භාව්‍ය සාහිත්‍යය වගේම විශ්ව සාහිත්‍යයත් නූතන ලේඛනයේ පෝෂණයට ඉතා වැදගත්.

Comments