
වෙනස් වීම
මුව’ග හසරැලි මැවෙයි නැඟුණු හසරැලි මැකී
සිනා සුණු ඒ මුහුණෙහිම බිඳෙනු ඇත ඉකී
සංසාර පුරුද්දට ගමන් මඟ දුර දකී
ජය පරාජය දෙකම විඳදරාගත හැකී
පියවි ලොව දැකිය හැකි නමුදු සුපුරුදු ඇසින්
කටුස්සාගේ පාට වෙනස් වනු ඇත හිසින්
මල් පොකුරු හිස මතට වැටෙන විට දස දෙසින්
පිහිපාර එල්ල වෙයි නොදැනීම පිටු පසින්
පණත් දෙන්නට වගේ මතුපිටින් සිනා සේ
වැලඳ ගන්නෝ සිටිති මනාපෙන් මනා සේ
ඔහුම ආපසු හැරී සුනාමිය වුණා සේ
ජීවිතය බිලි ගනී ළඟා කොට විනාසේ
හොඳ-නරක දෙකක් ඇත යුතු-අයුතුකම් කියා
නොදුටු සේ සිටිති සමහරු වපර ඇස් පියා
ඔහු සිතන මුත් හැඳින නැත සිතැඟි ගැන එයා
බලා සිටිනවා ඇත ලෝකය ම මුව අයා
ලෝකයට මෙහෙවරක් සිදු නොවන සත පහක
මල් පුදන්නෝ සිටිති බලා සිටියදි අහක
මිනිසාට පිහිට වී හෙවණ දෙන මහ ගහක
පොතු සිඳින තරමටම මිනිස් සිත කිම කුහක?
ගිනි කඳුය, දිය ඇලිය, යමා මහ පෙළහරය
වෙහෙස නොදැනෙන නමුදු පැමිණි මාවත දුරය
සසර මැටි පහනක්ය, දිවිය ඇවිළෙන තිරය
නිවී ගිය දින පහන දුක සතුට කෙළවරය
රටේමුල්ලේ මුදන්නායක
පොළොව වී ඉමි...
සුවඳ මඳ පවනට
වර්ණ හැඩ ගුවනට
රොන් සදා බිඟුනට
පරව වැටෙනා විට
පොළොව වී ඉමි වැලඳගන්නට
අමරසිරි වික්‍රමරත්න
අඩසිය වස පිරිණි...
කැපකොට ජීවිතය පොදුජන යහපතට
අඩසිය වස පිරිණි උර දී කහවතට
කඳුළක්-දෙකක් නැඟුණත් එදවස නෙතට
අද මිල කළ නොහැකි සැනසිල්ල හිතට
මහ පින් බිමට කැඳවා දුර-කතර ගෙවා
කුලුණින් ළෙහි හොවා නැණ සිප්සතර පොවා
දිවි මඟ හෙළි-පෙහෙළි කළ දී මහඟු ඔවා
සිහියට නැඟේ ගුරු-උතුමන් උදේ හවා
අසරණ නොකර සිතිවිලි අවදියෙ මුල්ම
තනි-නොතනියට හිටියේ සරසවි බැල්ම
මගෙ ජීවිතය ඔප කළ ඒ මිණි කැල්ම
මා අතහැර නොයේවා මිය යන කල්ම
විස කටු-කිණිසි තුඩු තිබුණත් මඟ දිගට
හෙමිහිට පැමිණියෙමි ගමනේ ඉම ළඟට
ඇතැමුන් ගල් බොරලු දැමුවත් පෙරමඟට
මල් පාවඩ වීය ඒවා පා යුගට
පාරා තුවාලය හිනැහුණු අය සේම
පිරිමැද රිදුණු තැන් ගෙන දුන් සැනසීම
හමු විය උතුම් මිනිසුන් නැති රැවටීම
මතකයෙ සිටිති ඒ දෙවිවරු හැමදාම
ඉහළට නැඟුණු ඉණිමඟටත් පහර දෙන
කකුලෙන් අදින අත්වලටත් සුරත දෙන
මිනිසුන් අතර හිඳ වළඳා සසර පින
පුදුමයි මටත් අද මා මේ සිටින තැන!
දොරටුව වසා දා හිත කලකිරීමේ
විඳ-විඳ සුවය ටික ටික අත්හැරීමේ
ගත වන ජීවිතේ වැඩි බර දැරීමේ
කාලය නිමා වී එළැඹෙයි විරාමේ
පල්ලේගම හේමරතන හිමි
සහජීවනයයි සංහිඳියාවයි
දිනුවේ මිනිස් වග එක මවු කුසෙනි බවේ
රතු පැහැ එකම ලේ බිඳු දෙයි සැමට සුවේ
පොදුවේ සැවොම අහරෙන් දිවි ගෙවති ලොවේ
එනිසා කෙනෙක් කෙනකුගෙ වහලෙක්ද නොවේ
අවියෙන්, දන බලෙන් ලෝකය යටත් කර
තම සැප ගැන බලති අන් හැම දෙනට පෙර
එනමුත් සැවොම මිය යති, නීතියකි තිර
මේ ගැන මිනිසුනේ සිතලා බලනු දුර
හැම සම්පතම දී මිනිසට සොබා දමෙන්
ගෙවනට ජීවිතය ඉඩ දුන් නමුදු පෙමින්
මිනිහා මිනිහටම වයිරෙන් එරෙහි වෙමින්
පාගා දමා ඇත නිදහස ඉවත ගිහින්
ජාතිය, කුලය, බස, ආගම කියා අප
බෙදලා වයිරකොට පිරිසක් සොයති සැප
සමඟිව සිටින තෙක් දුදනෝ ලබති හප
නිදහස ලබන්නට සමඟිව කරමු කැප
කන්නට, බොන්න, තම කටයුතු කරන්නට
අදහස් කියන්නට, අදහස් ලියන්නට
පෙන්නා වැරැදි අරගලවල යෙදෙන්නට
ඇති නිදහසින් බැහැ මිනිසුන් පෙළන්නට
ජීවත් කරන්නේ අප සහජීවනයයි
අප හැමගෙම පැතුම අද සංහිඳියාවයි
සැනසුම, සතුට, ආදරයයි, කරුණාවයි
හද තුළ තිබේ නම් හෙට අරුණලු පායයි
සුගතදාස කුරුවිට
විලාසිනියකගේ ප්‍රේමය
සාමා ඉතින් නුඹ කොතැන
හාරිත නොඑන පෙරමඟ
බලා දල්වා දෙනෙත
රකිනවද තවම පතිවත
සාරාගී ලවනත
තබා මුව බී මීවිත
පිරිමි රති සරතැස
නිවූ මා සුපෙම්වත
වීණාවෙ තත් පිරිමැද
හඬන දෑඟිලි තුඩු මත
තවම ඇත හදවත
මම නුඹේ මඟ බලන ඉසිදින්න
මලිඳු කාවින්ද කුමාරසිංහ
නංගී
රෑ සඳ මඬල රැකි හන්තානටම හොරෙන්
පුන් සඳ වැසී-ගිය සද කළු වලාකුළින්
රන් තරු දූ-පුතුන් පූදින විට අහසින්
පායා වරෙන් ආයෙත් හන්තාන උඩින්
අප්පච්චිගේ මළ ගෙයි රෑ පාන්දර
කිරිකැටි නුඹ පුර අටවක නුපුන් සඳ
අහිමිව පිය සෙනේ නුඹ ගෙයි සිටින සඳ
හිමි වූවා ද පිය සෙනෙහස මගෙන් පිට
සරසවි අහසෙ තරු පූදින විටදි හෙමින්
පා කර හැරියෙ නුඹ දකිනට ඒ අහසින්
සරසවි අහස ළඟ දැවටී වලාකුළෙන්
පෑයූවේ ඇයි ද නුඹ වැව රවුම උඩින්
කුලියක් හොයාගෙන මං ගෙන් පිට වෙද්දී
සුසුමක් හෙළා අත ගෑ හිත උණු වෙච්චී
අම්මගෙ සුසුම්වල සුවඳත් උඹ නංගී
දවසක පායපන් අම්මා තනි වෙද්දී
අසිත සඳුන් හේරත්
මතක බණ
දුඹුරු පලසක්
එළාගෙන මිහිලිය
බලා සිටි
වැසි දෙවි වඩින තුරු
මතක බණ ගෙට...
ළිං පොකුණු වැව්
උරා ගෙන රුදුරු හිරු
සතා සිවුපාවුන්
මරා ගෙන මරා ගෙන
ගස් කොළ ද මල්
තෘණ දවා අළුකර
පතොක් මලකට
ප්‍රේම කර කර...
සුදු වතින් සැරසිලා
අහස් ලිය
පිනි බින්දු ඉසිනවා
මූණිච්චාව වසා ගෙන...
තවත් බැහැ බලා ඉන්නට
මිහිලියගේ පණ ගැහෙනවා
නැවුම් දිය බිඳක් බලාගෙන...
මේදනී මැණික්කුමුර
නිරාමිස පෙම
භාවනාවක සුවය කැටි වුණු ඔබේ නෙත් ඉවුරේ
වේදනාවක සුසුම් නිවුණා නිසල සඳ එළියේ
විසල් උයනක අකල් පෙම්මල් පිබිදුණා රහසේ
යළි උපන්නෙමි ඔබේ පාමුල උවැසියක විලසේ...
දෙතොල් පෙති මත පිපී පර වුණු කඳුළු හසරැල්ලේ
ළදැල්ලක් වී සසල වූයෙමි නුරා හිරු එළියේ
විඳින්නට ලොව මිහිර මනරම් පින් පිරූ දිවියේ
නිරාමිස සෙනෙහසක් දැනුණා ඔබේ සිත් මඬලේ...
රාගයේ රස පහස අයදින රුදුරු සිත් පතුලේ
ආලයේ වරපටින් බැඳගෙන රිදුම් දුන් දවසේ
ඉකිගසා ලොව හැඬූ හැඬුමන් මතකයන් අතරේ
සාදුකාරයි පුදසුනේ ඔබ සලපතළ මළුවේ...
නන්දි අලුත්ගේ රත්නවීර
ආරාධනා
සිරිකත පැමිණ මිදුලේ නඟයි අඬහැරේ
ගව-මීදෙනුන් තනපුඬුවලට කිරි එරේ
කොවුලා අඹ වදුලෙ හඬවද්දි තුඬු බෙරේ
මැණිකේ පිළිගන්න මගෙ පැලෙහි දොර ඇරේ
තුඹ කරවිල ඉදල්වල හේනෙ මල් පිපී
අබ තෙල් හිඳින්නට ඇත කරල් ටික කැපී
සුබ හෝරාව කවදද? අසා හැපි හැපී
රඹ කැන මැණිකෙ මිදුලේ මගේ වත සිපී
පැල්පතෙ අඳුර මැකෙනා දිනය දැකුමට
ඇල් වී කරල් කිරි වැද නටයි සුළඟට
මල්බර වසන්තය හැඩ වෙද්දි ගම වට
වෙල් ඉපැනැල්ල පාවඩ කරමි මැණිකෙට
හටනට හේනෙ-කුඹුරේ හවුල් වන නියා
මට අත දෙන්න නැඹුරුව සිටින දැන-කියා
ගෙට පිය නඟා යුග දිවි දියුණ අරබයා
සටහන් තබමු මට ඔබ - ඔබට මා කියා
සේනාපතියේ ගුණවර්ධන
අප දෙදෙනෙක් නිසා...
පෙම්වත ඔබ
නිරන්තරයෙන් ම
මල් සුවඳ පමණක් ම
විඳිනා කල
මම ඉන් නොනැවතී
දිරාපත් කොළවල සුවඳ ද
ආඝ්‍රාණය කර බලමි
ගංගා වරුෂවිතාන
නිවන
සසර ගමනේ කෙළවරක්
දකින්නට නැත කළ පිනක්
දැනෙන දුක් බිය නැති තැනක්
සොයන තැන විය මිරිඟුවක්
අසන්නෙමි කියනා බණත්
තිබේ හර බර ගති වියත්
කරන්නට එය ගිය නමුත්
හිතට සැනසුම නැත ඇවිත්
කරන පවු කම් නොකළහොත්
ලැබෙනවාමය කුසලයත්
බුදුවරුන් දෙසු බවහැරත්
නොදන්නෙමි මම තවතවත්
හිතට සතුටක් මට දැනෙයි
කයට සුව පහසුව දැනෙයි
නිවන ඇත්තේ අත ළඟයි
සසර කෙළවර මට පෙනෙයි
ඇල්බට් ඇම්. ලියනගේ
අහිමි නිධානය!
(ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අභාවය නිමිති කොටගෙනයි)
සිතියමක් අත නැතිවම
සියක් ආයු ලැබ
කටුක අරගල මැද
අලුත් ලොවක් සොයමින්
දුරු - නොදුරු රට
අතික්‍රමණය කොට
මෙ මහපොළොව මත
ඔබ එදා නිධන් කළ නිධානය...!
ඔබ අද නික්ම ගිය පසු
හද ගැබෙහි ලා සුරකින්නට
ඉතිරි වෙද මෙපොඩි බිමේ පොඩි ඉඩක්
නිහාල් ගුණවර්ධන
ආදරය නම්!
වසන්තයක නොවෙයි සොඳුර
ගිම්හානෙක මලක් වෙන්න
ගිම්හානය සිනා සපිරි
වසන්තයක් සේ දකින්න...
වස්සානෙක නොවෙයි සොඳුර
ඉඩෝරයක පින්න වෙන්න
ඉඩෝරයේ පිනි සිසිලෙන්
වස්සානය උදා වෙන්න...
කුණාටුවක නොවෙයි සොඳුර
මඳ සුළඟේ හමා එන්න
කුණාටුවෙන් ඉදිරී ගිය
ගහවැල යළි දලු දමන්න...
මහින්ද කුමාර දළුපොත
එතෙර කවිය
ඇයි ද වසන්තය ආයෙත් එන්නේ
සාර-සුබාවට හැඩ-වැඩ වීලා
ඔබට බැරිය යළි මා රවටන්නට
රතට රතේ ළාදලු පාලා...
ඇති තතු දන්නෙමි - දැනගෙන ඉන්නෙමි
එරබදු ගස මත දැවටෙයි වියරුව මා වත
සරු පස සුවදයි
මළමිනී නොපෙනෙයි
නොදැනෙන - සැඟවෙන
රහසක් මතු වෙයි
පස යට සැඟවී පණ කැල
වනසයි වැළැලුණු මිනිසුන් ඉහ-මොළ
ජීවිතයම හිස් බඳුනකි නිසරූ
තරප්පුවකි පාවඩ නොම ඇතිරූ...
ඉතිං වසන්තය
කන්දෙන් බැසගෙන වසරක් පාසා
ආවට මදි නොවැ නඟමින් ගෝසා
එඩ්නා සෙන්ට් වින්සන්ට් මිලේ
එඩ්නා සෙන්ට් වින්සන්ට් මිලේ කවි ලිවීම ඇරඹුවේ ඇමරිකාවේ රොක්ලනට් මායින් නමැති ප්‍රදේශයේ ළමා කාලය ගෙවමින් සිටි අවධියේය. වයස අවරුදු 19දී සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් කළ ඇය ඉන් අනතුරු එළැඹි වසර පහක කාලය ගත කළේ නිව්යෝක් නුවර ග්‍රීන් වීව් ගම්මානයේය. එහිදී නාට්‍ය කණ්ඩායමක් සමඟ එක් වූ ඕ කවි මෙන්ම නාට්‍යද රචනා කළාය. ඇය ලියූ ඇතැම් කවි 'කිසිදු වැදගම්මකට නැති රචනා' ලෙස විචාරකයන් විසින් හෙළා දකින ලද නමුදු, අතිශයින් ජනප්‍රිය වූ ඒ නිර්මාණ සඳහා 1923දී ඇයට පුලිස්ටර් ත්‍යාගය පවා හිමි විය.
අජිත් නිශාන්ත