පලතුරු ස්ටිකරයේ සැඟවුණු රහස් | Page 5 | සිළුමිණ

පලතුරු ස්ටිකරයේ සැඟවුණු රහස්

පේර, දොඩම්, ඇපල් ආදී  ප්‍රමාණයෙන් විශාල පලතුරු වල සෑම ගෙඩියකම මතුපිට මෙම PLU කේතය ඇතුළත් ස්ටිකරයක් අලවා ඇත. එහෙත් මිදි,චෙරි ආදි ප්‍රමාණයෙන් කුඩා පලතුරුවල මේ සංකේත අංකය අලවා ඇත්තේ බොහෝ විට පලතුරු බහා ඇති බාහිර ආවරණයේය. එසේත් නැතිනම් මුදල් අයකැමි සිටින ස්ථානයේ ඒ පිළිබඳව විස්තර තිබීමටත් පුළුවන්. ලේබලය කියවීමේදී මුලින්ම පිරික්සිය යුත්තේ එම කේතයට ඇත්තේ ඉලක්කම් හතරක්ද පහක්ද යන්නයි. 

 

නීරෝගී දිවියක් උදෙසා පලතුරු ආහාරයට ගැනීම අත්‍යවශ්‍යය. එහෙත් පලතුරු මීලදී ගැනීමේදී පාරිභෝගිකයින් මුහුණ දෙන පොදු ගැටලුව නම් විකිණීමට ඇති පලතුරු අතරින් වස විසෙන් තොර එනම් කාබනික වගා ක්‍රම යටතේ වගා කල පලතුරු හඳුනා ගැනීමයි.මෙම ගැටලුවට විසඳුම වනුයේ බොහෝ පලතුරු වල මතුපිට අලවා ඇති කුඩා ලේබලයේ නිරූපිත කේතයයි. මෙය PLU Code (Produce Look Up Code) ලෙස හඳුන්වනු ලබයි. එම කේතය ඇත්තේ ඉලක්කම් පහකින් හෝ හතරකින් සමන්විත අංකයක් ලෙසය.

සුපිරි වෙළෙඳසල්වල PLU Code භාවිතයට ගැනීම ආරම්භ වන්නේ 1990 සිටයි.එහෙත් වර්තමානයේ වුවද මේ පිළිබඳ බොහෝ දෙනා සතුව ඇත්තේ අඩු දැනුමකි.මෙම කේත අංකයෙන් නිරූපිත අදහස නිවැරැදිව කියවා ගැනීමට පාරිභෝගිකයන් හට හැකිවන්නේ නම් වෙ‍ෙළඳපොළේ විකිණීමට ඇති පලතුරු වල නියම ස්වාභාවය පහසුවෙන්ම වටහා ගත හැකි වේ.විශේෂයෙන්ම මේ පලතුරු ජානමය වශයෙන් වෙනස් කළ ඒවාද එසේත් නැතිනම් කාබනික වගා ක්‍රමයක් යටතේ වගා කළ ඒවා හෝ කෘෂි රසායනික යොදා වගා කළ ඒවාද යන්න මෙමඟින් පහසුවෙන් හඳුනා ගත හැකිය.

පේර ,දොඩම්,ඇපල් ආදී ප්‍රමාණයෙන් විශාල පලතුරු වල සෑම ගෙඩියකම මතුපිට මෙම PLU කේතය ඇතුළෙත් ස්ටිකරයක් අලවා ඇත. එහෙත් මිදි,චෙරි ආදී ප්‍රමාණයෙන් කුඩා පලතුරු වල මේ සංකේත අංකය අලවා ඇත්තේ බොහෝ විට පලතුරු බහළා ඇති බාහිර ආවරණයේය. එසේත් නැතිනම් මුදල් අයකැමි සිටින ස්ථානයේ ඒ පිළිබඳව විස්තර තිබීමටත් පුළුවන්. ලේබලය කියවීමේදී මුලින්ම පිරික්සිය යුත්තේ එම කේතයට ඇත්තේ ඉලක්කම් හතරක්ද පහක්ද යන්නයි.

එම කේත අතරින් ඉලක්කම් හතරකින් යුත් කේත වලින් ප්‍රකාශිත වන්නේ ඒම කේතය අයත් පලතුර කෘෂි රසායනික භාවිත කරමින් සාම්ප්‍රදායික ක්‍රමයට වගා කළ (Conventionally grown) ඒවා බවයි.මෙම ඉලක්කම් හතරකින් යුත් කේතවල පළමුවැනි ඉලක්කම වන්නේ තුන හෝ හතරය.මෙවැනි කේත සඳහා උදාහරණ ලෙස 3000 හා 4999 යන ඉලක්කම් දැක්විය හැකිය.

ඉලක්කම් පහකින් යුක්ත කේත යොදා ගනු ලබන්නේ ජානමය වෙනස් කමකට ලක් කර නිෂ්පාදනය කල පලතුරු සඳහා හෝ කෘෂි රසායනික කිසිවක් නොයොදා කාබනිකව වගා කල පලතුරු සඳහාය.වෙළදපොලෙන් මිලදී ගන්නා පලතුර එම කුමන වර්ගයට අයත්දැයි හඳුනා ගත හැකි වන්නේ එම කේතයේ පළමු ඉලක්කමෙනි.

ජානමය වෙනස් කමකට ලක් කර නිපදවන ලද පලතුරු වල කේතය අංක පහකින් යුක්ත වන පලමු ඉලක්කම 8 වන ඒවාය.උදාහරණයක් ලෙස 82631 කේතය මෙවැනි ජානමය වෙනස් කමකට ලක් කර නිපදවන පලතුරු සඳහා අයත් කේතයකි.

කාබනික වගා ක්‍රම යටතේ කෘෂි රසායනික ද්‍රව්‍යය කිසිවක් භාවිත නොකර සොඛ්‍යාරක්ෂිතව නිපදවන ලද පලතුරු සඳහා යොදා ගනු ලබන්නේ අංක පහකින් යුක්ත පළමු ඉලක්කම 9 යෙන් පටන් ගන්නා කේත ය .මෙයට උදාහරණයක් ලෙස 94872 කේතය දැක්විය හැකිය.මෙවන් බෝග සඳහා ඇත්තේද ඉහළ පාරිභෝගික ඉල්ලුමකි. නිෂ්පාදකයින් මේ කාබනික නිෂ්පාදන ලේබලය යටතේ තම නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කරන්නේ නම් ඒවාට ඉහළ වටිනාකමක් ලබා ගත හැකිය.

කෘෂි රසායනික යොදා නිපදවන ආහාර බෝග ශරීරයට අහිතකරය. සාමාන්‍යයෙන් ලැබෙන අස්වැන්නට වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමටත් ප්‍රමාණයෙන් විශාල ගෙඩි ලබා ගැනීමටත් රසය, සුවඳ වැනි විවිධ ගුණාංගයන් දියුණු කිරීම සඳහාත් ජාන වෙනස් කළ බෝග නිපදවයි. මෙම බෝග වල සෞඛාරක්ෂිතබාවය පිළිබඳව තවමත් විවිධ මත පර්යේෂකයින් අතර පවති. ශරීරයට සැමවිටම හිතකර වන්නේ කෘෂි රසායනික භාවිතයෙන් තොරව නිපදවන කාබනික නිෂ්පාදනයන්ය.

වර්තමානයේ මෙරට පාරිභෝගිකයන් අතර පවතින පොදු මතය නම් පදික වේදීකාවේ විකිණීමට තබන ඇපල්, දොඩම් ආදී පලතුරු වල අලවන ලේබලය යනු එම පලතුරු කල් තබා ගැනීමට රසායනිකයන් එන්නත් කිරීමේදී ඇතිවන සලකුණ වැසීම සඳහා යොදා ගන්නක් බවයි.එහෙත් අන්තර්ජාතිකව මෙවැනි ලේබලයක් යොදා ගන්නේ පාරිභෝගිකයන්ට වෙළෙඳපොළේ විකිණීමට ඇති ආහාරවල නියම ස්වාභාවය පෙන්වා දෙමින් පාරිභෝගික ආරක්ෂාව සලසා දීමටමය.

තොරතුරු ; IFPS PLU Codes User’s Guide – September 2016 ඇසුරෙනි. 

 

  උම­යං­ගනා පූජනී ගුණ­සේ­කර

 

 

Comments