
මගේ මතකේ හැටියට හරියටම එදා මාසෙ පෝය දවසක්. වැව ඉහැත්තෑවට හොඳට හඳ පායලා තිබුණා. කොහොම වුණත් අපේ ගමේ වැව නේ. අපි කාටත් පුරුදුයි. පුරුදු තිබුණට හවස හයෙන් විතර පස්සේ නම් වැව ළඟ කවුරුත් ගැවසුණේ නැහැ. ඒකට එක හේතුවක් නෙවෙයි හේතු ගොඩක් තිබුණ. ඒත් ඒ වෙලාවට පස්සෙ තමයි වැව ළඟ ලස්සන. වැවට එහා පැත්තේ තිබුණේ එරමිණිය ගාලක්. වැරැදිලාවත් ඒ පැත්තට යනවා නම් බොරු. දවසක් මට මෙහෙම හිතුණා. කොහොම හරි වැව ඉහැත්තෑවට ගිහිල්ලා බලන්න ඕනේ කියලා. ඒත් ඉතින් තනි නොතනියට එක්ක යන්න කවුරුත් හිටියේ නැහැ. කොහොම වුණත් මගේ හිතේ තිබුණ බලාපොරොත්තුව නම් මං අත්තැර ගත්තේ නෑ. හීන් බණ්ඩා මාමා නම් රෑ ගමන්වලට රුසියා කියලා මට කියලා තිබූණේ හීන් අත්තා. හීන් අත්තා කිව්වේ අපේ කිරි අත්තාගේ බාලම මල්ලී. කිරි අත්තා නැති වෙන කොට මගේ වයස යන්තම් අවුරුදු පහක් විතර ඇති. උන්දෑ හොඳ වෙද මහත්තැන් වෙච්චි එකේ, නාඩි සාස්තරේ අනුව ඕනෑම ලෙඩක වංහුං උන්දෑට කියන්න පුළුවන්. ඒ දවස්වල අප්පේ හිටිය ලෙඩ්ඩු කන්දරාව. මං හිතන්නේ උන්දෑට හුස්මක් කටක් ගන්න විදිහක් තිබුණේ නැහැ. කිරි අත්තා ගැන මගේ මතකේ හොඳට ලියවිලා තිබුණේ වෙදකම නිසා විතරක් නෙවෙයි. කිරි අත්තා වෙසක් පහන් කූඩු හදන්නත් රුසියා. හැඩදාලා වැඩ දාලා හදන කූඩු බලන්න ගමේ ඇත්තන් නොවැරැදීම එනවා. කොල්ලෝ කුරුට්ටෝ විතරක් නෙමෙයි මහ උන්දෑලත් අපේ කූඩු බලන්න ආවා. මගේ මතකේ හැටියට කිරි අත්තා මේ වැව ගැන නම් මුකුත්ම කියනවා මට ඇහිලා නැහැ. රජවරු සිටුවරුන්ගේ ආභරණ වැව් පත්ලේ තියෙනවා කියලා කිව්වේ හීන් අත්තා.
කිරි අත්තා නැති වුණා විතරයි මං හීන් අත්තලාගේ ගෙදර ගියා. ඒත් කිරි අත්තා නැති පාළුව නම් මගේ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම මැකිලා ගියේ නැහැ. හීන් අත්තා, කිරි අත්තා වගේ නෙවෙයි. කැලේ කොළේ කතා කියන්න හරිම හපනා. තරුණ සන්දියේ හීන් අත්තා කැලේ කොළේ කරක් ගහලා තියෙනවා. හීන් අත්තා කිව්ව විදිහට ඒ දවස්වල මේ වැවට ළසඳා කියල කෙල්ලක් පැනලා තියෙනවා. හේතුව මොකද්ද කියලා ඇහුවම හරියම කිව්වේ නැහැ. ඒත් මං ඒක දැන ගන්න එක අතහැරියේම නෑ. මොකේ උඹලා පොලීසියෙන් ද කියලා හීන් අත්තා මගේ දිහා ඔරවලා බැලුවා.
ළසඳා ගැන දැන ගන්න තියෙන කැමැත්ත මං අත්හැරියේ නැහැ. එක දවසක් මං කොහොම හරි හීන් අත්තා කතාවට කොටු කරගත්තා. ආ....ළසඳා ඒ කාලේ ආරච්චිලාගේ පුතා එක්ක පලහිලව්වක් තිබිලා තියෙනවා. ඒ පවුල් දෙක අකමැති වෙලා තියෙනවා ඒ සම්බන්දෙට. හැබැයි පුතා නම් ඒ හාදකම අමතක කරලා නැහැ. ඒ මොන දේ වුණත්, දවසක් සඳ තිබුණ රෑක ළසඳාගේ මළ සිරුර වැවේ පාවෙමින් තිබුණා. පොලීසිය සැක කළේ ආරච්චි මහත්තයාගේ පුතා. ඒත් මං නම් එහෙම හිතන්නේ නැහැ. හීන් අත්තා සැරේට ගත්තා හුස්ම එකපාරටම පහළට දැම්මා.
ටික දවසක් යන කොට කොල්ලත් මැරුණා. ඒත් ඉතින් ඊට පස්සේ වැව ළඟදී ළසඳා ගොඩක් දෙනකුට මුණ ගැහැලා තියෙනවා. ඒ හරියට මාසේ පෝය දවසේදි. ඈ.....ඇත්තට. මගේ හිත කීරි ගැහිලා ගියා. ඉතිං ළසඳා කතා කරලා ද? නැහැ. ඇත්තටම නැහැ. මොකද්දෝ කියන්න හදලා තියෙනවා. ඒත් ඉතිං ළසඳා මැරිලා. එයා මොනවා කියන්නද? මට ආසයි. එයාව මුණ ගැහෙන්න. පුතාට පිස්සුද කියලා හීන් අත්තා මගෙන් ඇහුවා. මේ වෙනකොට හිටියා නම් ළසඳාගේ වයස අවුරුදු හැටක් විතර ඇති.
කවුරු මොනවා කිවුවත් මට ළසඳාව බලන්න ඕනේ වුණා. ඒ මාසේ පෝය දවස මට හොඳ මතකයි. සීතල සුළං නිසා මගේ ගත වෙවුලන්න ගත්තා. මං වැව ඉහැත්තෑවට ගියේ කාටවත් නොකිය. අතේ තිබුණේ හුළු අත්තක් විතරයි. සුළං සැරට හුළු අත්ත නිවුණොත් අහසේ සඳ විතරයි. මං වැව ළඟ තිබුණ කුඹුක් ගහ ළඟ ඉඳ ගත්තා. කවුරු හරි මෙතනට ආවොත්.... අනේ මන්දා.... ඒත් ඇත්තට ළසඳා ආවොත්. එකපාරටම සීතල සුළඟක් හමාගෙන ගියා. කවුදෝ මා ළඟ ඉන්නවා වගේ මට දැනුණා. මං මං...... කවුද? මං එකපාරටම ඇස් ඇරියා. වයසක කාන්තාවක්. ඔයා..... කවුද? මං...... තමයි. මගේ ඇස් දෙක පියවීගෙන ගියා. පාන්දර වෙන විට ගමේ කට්ටිය ඇවිත් මාව ගෙදර එක්කගෙන ගියා. හීන් අත්තා මට නූලක් දැම්මා. ඒත් ඒවා මට ඒ හැටි විශ්වාස නැති වුණත්, අවතාර වයසට යනවාද? කියන එක තාමත් මට ප්‍රශ්නයක්. ඇත්තටම ළසඳා වයසට ගිහිල්ලා. ඇත්තටම හීන් අත්තා, අවතාර වයසට යන්නේ නෑ නොවැ. උඹ විකාර දොඩවනවා. එපා කියන දේ කරන එක උඹේ හැටියක් නේ. ඒ කවුද? මට තාමත් හිතාගන්න බෑ. මං ආයිත් දවසක යන්න හිතුවේ නෑ. ඒත් ඒ කතාව ගැන තාමත් ගම්මුන් බයයි. මගේ හිතේ තිබුණ සැකය තාමත් අඩු වුණේ නෑ. දවසක් දවාලකදිත් ඒ ස්ත්‍රිය මට මුණගැහුණා. ඒත් ඒ කාන්තාව වැව ඉහැත්තෑවේ කැලෑවට ගියා. මේ මොකද? ඒ ළසඳාම තමයි. මට හරියටම හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ මගේ රහස් පරීක්ෂක වැඩේ අතහැරියා. මේ දේවල් හීන් අත්තට කියන කොට එයා හිනා වුණා. ජීවත් වෙන හොල්මන් ගැන බලාගනිං පුතා. නැත්නම් උඹ අමාරුවේ. හීන් අත්තා කිව්වේ එව්වරයි. මං එදා හිඳලා ජීවත්වෙන හොල්මන් එක්ක සටන් කරන්න පුරුදු වුණා. ඒවා මැරුණු ඈයෝ වගේ රෑට විතරක් නෙවෙයි දවල්ටත් හොල්මන් කරනවා. ඒවාට බය නැත්නං මැරුණු ඒවාට කවදාවත් බය වෙන්න එපා පුතා, මට හීන් අත්තා කිවුව දේ අද වගේ මතකයි.