ගෙවත්තට ඖෂ­ධීය වටිනාකමක් | Page 4 | සිළුමිණ

ගෙවත්තට ඖෂ­ධීය වටිනාකමක්

අතී­තයේ දී සෑම ගෙව­ත්ත­කම යම්කිසි ඖෂධ ප්‍රමා­ණ­යක් තිබූ අතර වර්ත­මා­නයේ එම තත්ත්ව­යෙන් පුද්ග­ල­යන් අත් මිදී ඇත. රොබට්ස් නොක්ස් කියූ පරිදි සෑම ගෘහි­ණි­යක්ම වෛද්‍ය­ව­ර­යකි. ඒ ගෘහි­ණිය තම ගෙව­ත්තෙන්ම අත් බෙහෙත් සොයා ගත් බැවිනි. එහෙත් වර්ත­මා­නයේ එය වෙනස් වී ඇත. සරල සුව කර­ගත හැකි රෝග තත්ත්ව සුව කර ගැනී­මට පවා අප විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු සොයා ගෙන යෑම
කන­ගා­ටු­වට කරු­ණකි. 

තමන්ගේ නි‍ෙවස ආශ්‍රිතව ඉතා සුළු ඉඩකඩ ගෙවත්තක් ලෙස පරිහරණය කළ හැකිය. වර්තමානයේ බොහෝ පුද්ගලයෝ වස විසෙන් තොර ආහාර පරිභෝජනය කිරීම සඳහා දැඩි නැඹුරුවක් දක්වති. මේ හේතුව නිසා ගෙවත්ත වගා කිරීම ඉතා පලදායීවේ. තමන්ට එදිනෙදා අවශ්‍ය ආහාර භෝග ලබාගැනීම උදෙසා ගෙවත්තක් වගා කිරීම වඩාත් උචිත මුත් බොහෝ දෙනා විවිධ කාර්යයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ගෙවත්ත වගා කරති. එමෙන්ම ඖෂධ ලබා ගැනීම උදෙසා ගෙවත්තක් පවත්වා ගෙන යන්නෝ බොහෝ වෙති. එලෙසම වර්තමානයේ ගෙවත්තෙන් ආර්ථික වාසි ලබා ගන්නෝ ද වෙත්. මෙලෙස විවිධාකාර අරමුණු උදෙසා ගෙවත්ත වගා කළත්, ඖෂධීය ගෙවත්තක් කියන්නේ කුමක්ද? කියන එක පිළිබඳව ඔබට ගැටලුවක් ඇති වන්න පුළුවන්. එදිනෙදා ගේදොරේ දී ඇති වන සුළු සුළු අපහසුතාවලදී මෙන්ම අත් බෙහෙත් සපයා ගැනීමේදීද මෙවැනි ඖෂධ ගෙවත්තක අවශ්‍යතාව මතුවේ. මේ සියලු කාරණා සලකා බැලීමේදී තමන් ගෙවත්තක් වගා කිරීමට ප්‍රවිෂ්ට වන්නේ කෙසේද කියන එක පිළිබඳව ඔබ නිගමනය කළ යුතුය. මේ නිසා ඔෟෂධීය ගෙවත්තක් වගා කිරීමේදී ඔබ විසින් පහත කරුණු සලකා බැලිය යුතුය.

ගෙවතු අලංකරණය සඳහා භාවිත කරන ඖෂධ, ආර්ථික වටිනාකමක් ඇති ඔෟෂධ යන්න සිතා, එක් අවුරුද්දක් තුළ පල නෙළා ගන්නා ඔෟෂධ, දිර්ඝකාලීනව භාවිත කරන ඖෂධ, වැල් හා පඳුරු වශයෙන් වැවීමට හැකි ඖෂධ, විශාල ගස් ආකාරයට වැවිය හැකි ඔෟෂධ, මේ ආකාරයට වටිනාකම හඳුනාගෙන ගෙවත්ත සකස් කරගැනීම වැදගත්ය.

අතීතයේ දී සෑම ගෙවත්තකම යම්කිසි ඖෂධ ප්‍රමාණයක් තිබූ අතර වර්තමානයේ එම තත්ත්වයෙන් පුද්ගලයන් අත් මිදී ඇත. රොබට් නොක්ස් කියූ පරිදි සෑම ගෘහිණියක්ම වෛද්‍යවරයකි. ඒ ගෘහිණිය තම ගෙවත්තෙන්ම අත් බෙහෙත් සොයා ගත් බැවිනි. එහෙත් වර්තමානයේ එය වෙනස් වී ඇත. සරල සුව කරගත හැකි රෝග තත්ත්ව සුව කර ගැනීමට පවා අප විශේෂඥ වෛද්‍යවරයකු සොයා ගෙන යාම කනගාටුවට කරුණකි.

ගෙවත්තක අවශ්‍ය විට පරිහරණය කළ හැකි ඖෂධ වර්ග වගා කර තිබුණත් වර්තමානයේ එවැනි තත්ත්වයක් නොමැත. මෙලෙස වගා කළ හැකි ඖෂධ අතර ඉඟුරුවලට ලැබෙනුයේ ප්‍රධාන ස්ථානයකි. ඉඟුරු කුළුබඩුවක්. මේ ඉඟුරු ආහාරයට දැමීමෙන් ආහාර ජීරණය ඉක්මන් කරයි. එමෙන්ම ශරීරයේ සෙම් තත්ත්වය සමනය කරන අතර බඩේ අමාරුවට ඉඟුරු දිව්‍ය ඖෂධයකි. උණු අළු පල්ලේ දමූ ඉඟුරු මිරිකා මී පැණි සමඟ බීමෙන් බඩේ අමාරුව මුළුමනින්ම සුවපත් වේ. සරල අත් බෙහෙත්වල සිට ආහාර පාන දක්වා ඉඟුරු පාවිච්චි කිරීමට හැකිය. ඉඟුරු කුඩා පරිමාණයෙන් මෙන්ම මහා පරිමාණයෙන් වගා කළහැකිය.

මෙලෙස වඩාත් වැදගත් ඖෂධයක් ලෙස අමු කහ හඳුන්වා දිය හැකිය. ආහාරවලට මෙන්ම රූපලාවණ්‍ය කටයුතුවලට වඩාත් වැදගත්. මෙය රුධිරය පිරිසුදු කරයි. හාතාවාරිය මෙන්ම ඉරමුසුත් අපට අපේ ගෙවත්තේ වගා කර ගත හැකිය. ඉරමුසුවලට ආවේණික ගුණයක් ලෙස රක්ත ශෝධන ගුණය හඳුන්වා දිය හැකිය. හාතාවාරිය මඟින් ස්න්‍යු ශක්තිමත් කරයි. දරු ඵල නැති කාන්තාවන්ට දරු ඵල ලබා දීමටත් මේ ඖෂධය වැදගත් වේ. මේ නිසා මේ මඟින් ශරීර ශක්තිය වර්ධනය වේ. මීට අමතරව හීන් අරත්තත් අපට වගා කිරීමට හැකියාව ඇත. මෙය පෝච්චියක වුවත් ඔබට වගා කළ හැකිය.මෙය හන්දි රෝග සුවපත් කිරීමට භාවිතා කළහැකිය. එමෙන්ම ඉදිමුමක් ඇති වූ වෙලාවේදී පත්තු සඳහා යොදා ගත හැකිය. මෙය විෂනාශක ගුණයෙන් යුක්ත වේ.

ගෙවත්තකට නැතුවම බැරු ඖෂධීය ශාකයක ලෙස ඉරිවේරිය හඳුන්වා දිය හැකිය. ගෙවත්තක අලංකාරය සඳහා ඉරිවේරිය වගා කළ හැකිය. ආහාර දිරවීමේ දුර්වලතා ඇති විට ඉරිවේරිය යොදා ගත හැකිය. ඉරිවේරියා යොදා සෑදූ නොයෙක් ඖෂධ ආහාර ජීරණය නිසි ලෙස ක්‍රියාත්මක කරවීම සඳහා යොදා ගනියි. කප්පරවල්ලිය මෙලෙසම වැදගත් වූවකි. කප්පරවලිය සෙම් රෝග සමනය කර ශරීරයට සුවය ලබා දෙයි.

වත්තක මාදං ගහක් තිබීම ප්‍රයෝජනවත් වේ. දියවැඩියාවට, කාන්තා රෝගවලට මාදං ඉතාමත් වැදගත් වේ. එලෙස දෙළුම්වලට අද විශාල ඉල්ලුමක් ඇති අතර මිල අධික පලතුරකි. මෙයට හෘදය රෝග වළක්වා ගැනීමට ගුණය තිබේ. අධික වශයෙන් මල පහ පිටවීම ඇති අවස්ථාවක දෙළුම් ලෙල්ල ගුණදායී වේ. එමෙන්ම පාචනය වැනි අවස්ථාවලදී යොදා ගත හැකිය.

අන් පලතුරුවලට නොදෙවැනි පලතුරකි බෙලි. ඔබට තියෙන්නේ වැඩි ඉඩක් ඇතිගෙවත්තක් නම් බෙලි ගසක් වුවත් වගා කළ හැකිය. බෙලි ඖෂධීය ගුණයෙන් පිරිපුන් ශාකයකි. බෙලි ගසේ විවිධ කොටස් විවිධාකාරයෙන් යොදා ගත හැකිය. උදාහරණ ලෙස දශමුල් කසායේදී බෙලි මුල් යොදා ගත හැකිය.මේ කසාය මඟින් ශරීර ශක්තිය වර්ධනයවේ. මුඛය තුළ ඇතිවන තුවලාවලට බෙලි කොළ වටිනා ඖෂධයකි. ඉදුණු බෙලි ආහාරයට ගැනීමෙන් මල බද්ධය වළක්වා ගත හැකිය. බෙලි ගැට මද මඟින් අධික මල පහ වීම වැළක්විය හැකිය. ඉරමුසු සහ බෙලි ගැට මද තම්බා ගුණාත්මක ඔසු පැන් වර්ගයක් සාදගත හැකිය. මේ මඟින් රක්ත ශෝධනය ගුණය ඇති කළ හැකිය.

වත්තක වැවෙන කලාඳුරු පවා ඖෂධ ගුණයකින් යුක්තයි. ආහාර දිරවීම අපහසුව ඇති අය කලාඳුරු අල වඩාත් වැදගත්වේ. මේ හැරුණ විට ඔබට වඩාත් වැදගත් ශාකයකි. ගුණයෙන් හා සුවඳින් යුත් අශෝක ගස්. නිවෙසි ඉදිරිපිට අලංකාර සඳහා ද මේ ශාකය වගා කළ හැකිය. අශෝක ගසක් යටින් ගියත් කෙනෙකුගේ නිරෝගී බව ජනප්‍රවාදයේ ඇති කියමනකි. අශෝක මුල්වලින් කාන්තාවන්ගේ ප්‍රජනන ශක්තිය වැඩි කරයි. මේ නිසා අශෝක ශාකය ඉතාමත් ප්‍රයෝජනවත් ශාකයකි. මේ හැරුණවිට ඔබට සුදු හඳුන් ගසක් වගා ගත හැකිය. අද බඩේ දැවිල්ලට සුදු හඳුන් ගුණදායී ඖෂධයකි.

තද බඩේ දැවිල්ලක් ඔබට ඇති විට ගලේ ගා ගත් සුදු හඳුන් තැඹිලි වතුර සමඟ මිශ්‍රකර බීමෙන් බඩට සිසිලසක් ලැබේ. ගස් ලබු ශාකය ආහාරයක් ලෙසත් පලතුරක් ලෙසත් පරිභෝජනය කළ හැකිය. ඩෙංගු වැනි රෝගවලට පවා ගස් ලබු කොළ භාවිත කළ හැකිය. එමෙන්ම රණවරා පරිසරය මෙන්ම ගෙවත්ත ද අලංකාර කරයි. මූත්‍රා මාර්ගයේ රෝග මෙන්ම දියවැඩියාට ද කදි ඔසුවකි. රණවරා පංචාංගය දියවැඩියා රෝගියකු මනා ඔසුවකි. රණවරා ඇටවලට සුවිශේෂ ගුණයක් තිබේ. තේ වෙනුවට ද රණවරා පානය කිරීමෙන් ශරීරයට සුවයක් ලබා ගත හැකිය. කිසිම ප්‍රයෝජණයක් නැති ශාක වගා කරනවා වඩා මල් සහිත ඖෂධීය ශාක වගා කිරීමෙන් පලදායී ප්‍රතිඵල ළඟා කරගත හැකිය. කොබෝ නීල ශාකය ද ගලගණ්ඩයට ඔසුවකි. මෙය භාවිත විවිධ රෝග සඳහා යොදා ගත හැකි අතර අලංකාර මල් සහිත ශාකයකි. ශරීර ගත වස විසවලදී විෂ කුම්භ යොදා ගත හැකිය. ඇගේ තිබෙන උෂ්ණාධික අඩු කරන පාවට්ටා ඔබේ ගෙවත්තේ වගා කළ හැකි නම්, මෙහි රත් පිත් නාශක ගුණයක් තිබේ. තැවිලි පොට්ටනිවලදී භාවිතා කළහැකිය මේ ආකාරයට ඔබට අවැසි බොහෝ ඔසු ශාක ඔබේ ගෙවත්තේ වගා කළ හැකිය. ගෙවත්ත පලදායීව යොදා ගැනීමට නම් ඔබ බුද්ධිමත් වියයුතුය. ගෙවතු කළමනාකරණයේදී ඖෂධ ශාකවලට වැඩි ඉඩක් දීමට මතක තබා ගත යුතුය. 

 

  වෛද්‍ය කුමාරි කුමා­ර­සේ­කර

 

Comments