
එකමත් එක කැලෑවක හිටියා නරියෙක්. මේ නරියා කැලේ ඇවිදගෙන යනකොට තද බඩගින්නක් දැනුණා. නරියා කෑමට ගොදුරක් සොයා යනවිට කැලෑව මැද්දේ නිල් පාටට වතුර පිරුණු පොකුණක් දැකලා එතැන නතර වුණා. පොකුණ ඇතුළේ ගෙම්බෝ එහාට පනිනවා, මෙහාට පනිනවා. ගෙඹි පැටව් පොකුණේ වතුර යටට පීනනවා. පොකුණේ යට ඉඳල උඩට පීනනවා. නරියා වුවමනාවෙන් මේ ගෙඹි සෙල්ලම් බලාගෙන හිටියා. ඒත් අනේ! පොඩි ඉස්ගෙඩියෙක්වත් අල්ලගන්ට බැරිවුණා.
උපායක් කල්පනා කළ නරියා නායක ගෙම්බට කිව්වා, “අපි හෙට පෙරහරක් එනවා. ඔයාලා ඒ පෙරහර බලන්න පොකුණ වටේටම ඉන්ට ඕනෑ” කියලා. මේ කතාව අහපු ගෙම්බෝ දැනගත්තා එන පොට නම් හොඳ නැති වග. “නරි හරිම කපටියි. අහුවෙන්ට නම් එපා නරියන්ගෙ ගැටවලට. අපි අල්ලගෙන කන්ට නරියා කරන උපක්‍රමයක් මේක. නරි පෙරහරේ එනකොට මම කියන්නම් ඔය ගොල්ලන්ට කරන්ට තියෙන වැඩේ.” ගෙඹි නායකයා අනෙක් ගෙම්බන්ට කිව්වා.
පසුවදා උදේ නරි රංචුව බෙර ගගහ, හොරණෑ පිඹ පිඹ කොඩි ඔසවාගෙන සේසත් අරගෙන නැටුම් නට නටා එනවා ගෙම්බෝ ඈත සිට දැක්කා. පෙරහර බැලීමට ගෙම්බන් පොකුණ වටේම ඉන්නවා.
ඔන්න නරි පෙරහරේ පොකුණ ළඟටම කිට්ටු වෙනකොට ‘කිට්ටුං බිට්ටුං වේගෙන එනකොට තක්කුං මුක්කුං තා!” කියල එකපාරටම පොකුණ ඇතුළටම පනින්න කියල ගෙඹි නායකයාගෙන් උපදෙසක් ලැබුණා.
හරි ඔන්න පෙරහර ළඟටම ආවා. පොකුණ වටේට හිටපු ගෙම්බො ටික ‘කිට්ටුං බිට්ටුං වේගෙන එනකොට තක්කුං මුක්කුං තා! කියා එකපාරටම පොකුණට පැනලා බක! බක! සද්දෙන් නරි රංචුවට ඔච්චම් කළා.
“අයියෝ! නරියෝ වෙච්චි අපි කපටියි තමා. ඒත් අපි මේ ගෙඹි රැළට රැවටුණා. මොනවා කරන්ටද?” මෙහෙම කියූ නරි රංචුව වලිග අකුලාගෙන කැලේ ඈතට ම ගෑටුවා.
(ජනකතාවක් ඇසුරෙනි)
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
5 ශ්‍රේණිය,
කේරි විදුහල,
කොළඹ 08.
සිතුවම කුමුදු පීරිස්