ළමා දිවියට වර්ණ තවරන්නෝ | සිළුමිණ

ළමා දිවියට වර්ණ තවරන්නෝ

ගුරුවරයා ජීවත් වන්නේ ශිෂ්‍යයාගේ ලෝකයේ ය. නිතර ම සිනහ මුහුණින් සිටින, සරල ආදර්ශ ලබා දෙන, අනතිමානී ගුරුවරයා ශිෂ්‍යයාගේ ජයග්‍රහණවල දී සතුට ප්‍රකාශ කරන්නේ සෑම ශිෂ්‍යයකු ම තමන්ගේ දරුවෙක් ය යන හැඟීමෙනි. ප්‍රශංසා කළ යුතු තැන්වලදී නිර්ලෝභී ව ප්‍රශංසා කරන ගුරුවරයා සිසුන් අතින් සිදුවන අත්වැරදි අභිමුඛයේදී උස් හඬින් බැණ, පහර දෙමින් සාහසික ලෙස ක්‍රියා නොකරයි. හොඳ ගුරුවරයා ළමා හදවත හොඳින් අවබෝධ කර ගත්තෙකි.

ළමා ලෝකය මෙන් ම ළමා මනස ක්‍රියා කරන ආකාරයත් දන්නා සැබෑ ගුරුවරයා ළමයින් සම්බන්ධ කරුණුවලදී ඉතා ඉවසිලිමත් ව ක්‍රියා කරමින් වරද පෙන්වා දී නිවැරැදි මඟ කියා දෙයි. නියම ගුරුවරයා තෑගි, මුදල්, උසස්වීම් හා ඇගයීම් වෙනුවෙන් අතිදක්ෂ දරුවා පසෙකට විසිකොට, තමාට ප්‍රතිලාභ ලබාදෙන දරුවන් උස් ස්ථානයක බලෙන් රඳවා තබන්නේ නැත. එසේ ඉහළින් තැබූ අයට, එසේ වැරැදි ලෙස උඩු මහලට නැගුණු මූසිලයන්ට සිදුවන‍ දෙය උදාහරණ ඇසුරින් ගෙන හැර දක්වා හරි පාර කියා දෙන්නේ ද තවත් හොඳ ගුරුවරයෙකු ම ය.

ගුරුවරයා කෙතරම් මහාර්ඝ පුද්ගලයෙකු ද යන්න මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ මෙම කියමනින් සනාථ වේ.

“මම මගේ මවුපියන්ට ණය ගැතියි, ඔවුන් මට ජීවිතය දුන් නිසා. ඒ වගේ ම, මම මගේ ගුරුවරුන්ට ණය ගැතියි, ඒ ඔවුන් මට හොඳ ජීවිතයක් දුන් නිසා.”

දරුවකුට මවුපියන් ලබා දෙන ජීවිතය නමැති චිත්‍රය නිවැරදි වර්ණ යොදා පාට කර, හැඩ වැඩ කරන්නේ අපේ ගුරු මවුපියන් ය. ළමා ලෝකයේ නායකයන්, වීරවරයන් වන්නේ ගුරුවරුන් ම ය. මේ නායකයෝ කිසිදා බලයෙන් නොපිරිහෙන්නෝ වෙති.

ගුරුවරයාගේ වටිනාකම හදවතට තුරුලු කරවන ජපන් කියමනක් මගේ මතකයට නැඟේ. “ක්‍රියාශීලී දවස් දහයකට වඩා ශ්‍රේෂ්ඨ ගුරුවරයකු සමඟ ගත කරන එක දවස ඉතා වටී.” සැබැවින් ම, එවන් ගුරු උතුමකු සමඟ වදනක් හෝ කතා කරන සෑම මොහොතක දී ම ශිෂ්‍ය ජීවිතයට අගනා නවතම ආදර්ශ සහ ආලෝක ලබාගත හැකි ය.

ඒ. සහශ්‍රා කවින්ද්‍යා දිනසිරි
13 ශ්‍රේණිය ‘එස්’ - ගණිත අංශය,
පාණදුර බාලිකා විද්‍යාලය,
පාණදුර. 

Comments