
එක ගම ගෙදරක ගම ජෝඩුව ඉතා සමගියෙන් හොඳින් ජීවත් වුණා. ඒත් මේ ගමහාමිනේ ගෙදර යන්තම් අමනාපයක් ඇති වුණු හැටියේ ගේ පසුපස තියෙන කැලෑ රොදට රිංගලා හැංගෙනවා. ඉන්පස්සේ කවුරු කතා කළත් කොච්චර කතා කළත් එළියට නම් එන්නේ නෑ. ඉතින් ගමරාලට සිද්ද වෙනවා කැලේට ගිහින් හාමිනේ එක්ක ගෙන එන්න. නිතර සිදු වෙන මේ දේ ගැන ගමරාල හිටියේ හරිම හිතේ අමාරුවෙන්.
ගමරාල ගමහාමිනේ ගේ මේ පුරුද්ද අත් හැරවීමට උපායක් කල්පනා කළා. එක් දිනක් සවසක ගමරාල තුවක්කුවත් අරගෙන ගේ පිටිපස්සේ හිටියා. ඒ එක්කම වෙඩි සද්දයක් ඇහුණා. වෙඩි සද්දේ නිකුත් වුණේ ගමරාලගේ තුවක්කුවෙන්. වෙඩි සද්දෙට ගමහාමිනෙයි දරුවනුයි ගේ පිටිපස්සට දුව ගෙන ගියා.
“සතෙකුගේ අඩි සද්දයක් ඇහුණා. මගේ හිතේ හාවෙකුගේ. මං කෝකටත් වෙඩි තිබ්බා. ගිහින් බලමු ” මෙහෙම කියා ගමරාල ගේ පිටුපස්සේ කැලෑ රොදට රිංගුවා.
කැලේ වැටිලා හිටි මැරුණු හාවා හම්බ වුණේ ගමහාමිනේටයි. ඒත් ගමහාමිනේ බයෙන් වෙව්ලනවා. හැමෝම හාවාත් අරගෙන ගෙදරට ආවා. එදායින් පස්සේ ගමහාමිනේ කවදාවත් කැලෑ රොදට රිංගුවේ නෑ.
ඒත් එදා මැරිලා හිටියේ ගමරාල කලින් වෙඩි තියලා එතැනට ගෙනැවිත් දැමූ හාවෙක් බව දැන හිටියේ ගමරාල විතරයි.
සිතුවම
කුමුදු පීරිස්