
එක ගමක පුල්ලයා කියලා පෙනුමෙන් අහිංසක එහෙත් අන්තිම කපටි මිනිහෙක් හිටියා. මේ මිනිහාගේ කපටි වැඩවලට හැමෝම අහුවෙනවා. දවසක් පුල්ලයා ගමේ රාලහාමිගේ ගෙදරට ගිහිං බුලත් කොරටුවට වතුර දාන්න කියා පිත්තල කළ ගෙඩිය ඉල්ලා පිංසෙණ්ඩු වුණා.
“බුලත් වැල මැරිලා ගියොත් අපේ පවුලම හාමතේ” පුල්ලයා රාලහාමි ළඟ අඬා වැටුණා.
රාලහාමි පුල්ලයාගේ හැටි දැන සිටියත් අනුකම්පා හිතලා කළගෙඩිය දුන්නා.
“අනේ රාලහාමි මං මළේ නැත්නම් හවස් වෙද්දි මේ පිල්කඩ උඩ කළගෙඩිය ඇති.” පුල්ලයා කළය අරන් ගියා.
දවස් කීපයක් ගෙවී ගියත් පුල්ලයා නම් පළාතේ ආවේ නෑ. කළගෙඩියත් නෑ.
“මට කළේ නැතත් කමක් නෑ. පුල්ලයා මළේ නැත්නම් ඒ ඇති” කියා ආරච්චි කීප දෙනකුගෙන් පුල්ලයා ගැන විමසා පැවසුවා.
සුමානෙකට විතර පස්සේ පුල්ලයා අඬාගෙන රාලහාමිගේ නිවෙසට දුව ගෙන විත් පිල්කඩ උඩ ඇන තියාගෙන අඬන්න ගත්තා.
“මෙච්චර කල් මක් වුණාද උඹට? මොකද මේ අඬන්නේ. කළෙත් නෑ. උඹත් නෑ.” රාලහාමි ඇහුවා.
“අනේ බුදු රාලහාමි හොරු දෙන්නෙක් මට ගහලා කළේ උදුරන් ගියා” කියමින් පුල්ලයා හඬා වැටුණා.
“පුල්ලයො මේ මළ ඉර බහින වෙලේ මොකට අඬනවද? උඹට ගහපු හොරු ටික පිත්තල කළේ අර තම්බි කඩේ මුදලාලිට රුපියල් දොළහකට විකුණලා තිබුණා. මට මුදලාලි කළේ ගෙනත් දුන්නා. හැබැයි කළේ විකුණන්න ආව හොරුන් දෙන්නගෙන් මුදලාලි අඳුනගෙන තිබුණේ උඹ විතරයි.” කියමින් රාලහාමි මහා හයියෙන් හිනා වුණා.
හෙමින් සැරේ රාලහාමිගේ ගෙදරින් පල්ලම් බැහැපු පුල්ලයා ඉන් පස්සේ පැත්ත පළාතක ආවේ නැතිලු.
මෙය අප රටේ ජන කතාවකි.
සිතුවම - කුමුදු පීරිස්