ලෝක ළමා දිනයේ නොදුටු පැත්ත | සිළුමිණ

ලෝක ළමා දිනයේ නොදුටු පැත්ත

ලොව පුරා විවිධ අන්දමින් ළමා දිනය සමරන්නේ ළමා ලෝකය සතුටු කිරීම හා විනෝදාස්වාදයක් ලබා දීම උදෙසාමය. නමුත් එහි අරුතක් තිබිය යුතුය. එක්තරා කොටසක් සතුටු වෙද්දී එක්තරා කොටසක් අනන්ත දුක් විඳිති. නොදියුණු රටවල ළමා මෙහෙකාරකම්වල යෙදෙන දරුවෝ අනන්තවත් වෙති. ආර්ථික අතින් දුර්වල පවුල් පෝෂණය කළ යුත්තේ ද එම දරුවන්මය. ඉතාම සුළු වැඩක් පළක් නොව ගොඩනැඟිලි ඉදිකරන තැන්වල වැලි, කළුගල් තාච්චිවල බර පවා ඔවුන්ට දරන්නට සිදුවේ.

සමහර ත්‍රස්ත සංවිධාන ළමා සොල්දාදුවන් වශයෙන් ද දරුවෝ භාවිත කරති. අපේ අසල්වැසි රට වන ඉන්දියාවේ සමහර ප්‍රදේශවල ගැහැනු ළමයෙකු මෙලොවට බිහි වීම පවුලට විශාල බරක් හා පව්කාරකමක් ලෙස සලකති. ප්‍රවෘත්ති පත්‍ර හා චිත්‍රපටිවල පෙන්වන ආකාරයට එසේ ගැහැනු ළමයෙකු ඉපදුණොත්, ඒ මොහොතේම විෂ කිරි සහිත ගසක කිරි ටිකක් පොවා එම දරුවා මරණයට පත් කරති.

මාර්ගයේ මැද පදික තීරුවේ නිදා සිටින හා දරුවන් වඩාගත් ගැහැනු කී දෙනෙක් නම් අපට දැකිය හැකිද? ඔවුහු සෑම වාහනයකට ම අත පාති. නමුත් ඔබ නිකමට සිතුවාද ඒ අතේ සිටින දරුවා සෑම විටම නිදාගෙන සිටින්නේ ඇයි කියා. නැවතත් බලන්න. නැවතත් සිතන්න.

ළමා දිනයක් කියා දිනයක් වෙන් කළාට එය සැමරීමට එක හා සමානව අවස්ථාව උදා කර දිය යුතුය. එය එක් පුද්ගලයෙකුට හෝ එක් ආයතනයකට පමණක් කළ නොහැකි දෙයකි. ඒ සඳහා සැවොම අත්වැල් බැඳගත යුතුයි. වැඩිහිටි යුතුකම එයයි. එය ඉටුවූදා සැමට සමාන ලස්සන ළමා ලෝකයක් බිහිවනු ඇත්තේය.

අමීරා හමීඩ්
7 ශ්‍රේණිය ‘ඩී’,
යසෝදරා විද්‍යාලය,
කොළඹ 08. 

Comments