වෙද­කම | සිළුමිණ

වෙද­කම

එක ගමක හිටියා සයියා කියලා වෙදෙක්. එයා පණිවිඩයක් ලැබුණහම ලෙඩාගෙ ගෙදරට ම ගිහින් බෙහෙත් දීලා එනවා. දවසක් ලෙඩෙක් බලන්න යන‍කොට ගෝලයෙක් එක්ක ගියා. ලෙඩාගෙ නාඩි එහෙම බලලා කිව්වා බොහොම තදබල බඩේ අමාරුවක් තියෙන්නේ සාස්තරේ හැටියට නම් වරකා අගුණ වුණාම තමයි මේ විදියට අමාරු වෙන්නේ කියලා.

“අනේ කොහොමද වෙදරාල එච්චර සහසුද්දෙට දැන ගත්තේ. මේ මිනිහා ඊයේ හැන්දෑවෙ කෑදරකමට නරක් වෙච්ච වරකා ගෙඩියක් කෑව නේන්නම්” කියලා හාමිනේ පුදුම වෙලා කිව්වා.

ආපහු යන ගමන් වෙද මහත්තයා ගෝලයා එක්ක කතා කරත් ගෝලයා උත්තර දෙන්නෙ නෑ. තරහෙන් පිපිරෙනවා. හොයලා බලන‍කොට වරකා සාස්තරේ ඉගැන්නුවෙ නැතුවට හිතේ අමාරුවෙන්.

“ඕවා පොත්වල නෑ”. වෙද මහත්තයා හිනව වෙවී කිව්වා. “ඒත් ඉතිං ඔය සාස්තර් මට කියලා දෙන්න තිබුණනෙ” ගෝලයා නෝක්කඩු කිව්වා. “ඇයි දැක්කෙ නැද්ද වට පිලේ වරකා කෑල්ලකුයි කොස් ඇට ටිකකුයි තිබුණා’. කියලා වෙද මහත්තය අලුත් රෝග නිමිත්ත කිව්වා. ගෝලයත් හපන්කම ගැන සතුටු වුණා.

දවසක් වෙද මහත්තයා නැති වෙලාවක පණිවුඩයක් ආවා ලෙඩෙක් ගැන. ගෝලයා තනියම ඒ ලෙඩාට බෙහෙත් කරන්න හිතාගෙන ගියා. ඒ ලෙඩාට තිබුණෙත් බඩේ අමාරුවක්. ගෝලයටත් ඕන වුණා ගුරා වගේ ම තමනුත් දක්ෂයි කියලා රට්ටුන්ට පෙන්නන්න. තෑගි බෝග ගන්න. වට පිට බැලුවා. කිසි හෝඩුවාවක් නෑ. අන්තිමට ලෙඩාගෙ ඇඳ යට රෙදි කෑලි වගයක් දැක්කා.

‍“ෙම් බඩේ අමාරුව හැදිලා තියෙන්නෙ එකත් එකට ම රෙදි පාන්කඩ කාලා තමයි” කියන කොටම ගෙදර අයිතිකාරයා හොඳටම තැළුවා ආයෙ වෙදකම් එපා වෙන්නම.

ගුරුන්නාන්සේ ගෝලයගෙ ඇ‍ඟේ තෙල් ගාන ගමන් “තැනේ හැටියට ඇණේ ගහන්න දැන ගන්න ඕන” කියලා උපදෙස් දුන්නා.

Comments