ලෝකය දවා හළු කර අමෙරිකාවට සල්ලි හොයන ඩොනල්ඩ් ට්‍රම්ප් | Page 7 | සිළුමිණ

ලෝකය දවා හළු කර අමෙරිකාවට සල්ලි හොයන ඩොනල්ඩ් ට්‍රම්ප්

 මහා ජලගැල්මෙන් සහ නාය යෑම්වලින් විපතට පත් වූවන්ගේ දුක්දොම්නස් තවමත් අප ජන සමාජය තවාලයි. ගංවතුර බැස ගියේය. එසේ වුවත් ඊට මුහුණ දුන් ජනතාව තම සාමාන්‍ය ජීවිතය ගොඩනංවාගැනීමට තවත් බොහෝ කල් දුක් විඳිය යුතුය‍. පිටපිටම දෙවසරක් ශ්‍රී ලංකාවේ ජනතාව මහා ජලගැලීම් දෙකකට මුහුණ දුන්හ. එම ජලගැලීම්වලට මුල් වූ කාලගුණික තත්ත්වයන් දෙස දැඩි විමසිල්ලෙන් බැලිය යුතුය. උදාහරණයක් ලෙස මැයි 26 වැනිදා නිරිතදිග දකුණු හා බස්නාහිර ප්‍ර‍දේශවලට ඇදහැලුණු අසාමාන්‍ය වර්ෂාව එනම් කුකුළේ ගඟ ප්‍ර‍දේශයට මිලිමීටර 553ක්, වීරකැටියට මිලිමිටර 500ක්, රත්නපුරට මිලිමීටර 348.5ක් හා පාදුක්කට මිලිමීටර 387ක් වශයෙන් සටහන් වෙද්දී පසුගිය වසරේදී ඇදහැලුණු මෙවැනිම ධාරානිපාත වැසි ගැන අපගේ සිහියට නැ‍ඟේ. ඇතැම් අවස්ථාවල වර්ෂාපතන දත්ත සලකා බැලීමේදී දෙපැයක් තුළ මිලිමීටර සියගණනක වැසි ඇදහැලී ඇති බව පෙනී යෑම තහවුරු කරන්නේ අසාමාන්‍ය දේශගුණික විපර්යාසයක් දක්වමිනි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව මෙවැනි විශාල ජලගැලීම්වලට මුහුණ පා ඇත්තේ දශක කිහිපයකට වරක් හෝ කිහිපවරකි‍.

1958 මහා ජලගැල්ම හෙවත් ජගත් ප්‍රජාව හැඳින්වූ පරිදි 'සිලොන් ෆ්ලඩ්ස්', 1978 සුළිසුළඟ හා ජලගැලීම්, 1989 කැලණි මිටියාවෙත් ජල ගැලීම් හා 2003 රත්නපුර ගංවතුර ජනතාවගේ මතකයේ ඇති එවන් ව්‍යසන කිහිපයකි. එහෙත් නිරන්තරයන් මෙවැනි ප්‍රචණ්ඩකාරි කාලගුණික තත්ත්වයන් හටගැනීම විද්‍යාත්මක වශයෙන් හඳුන්වන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙසයි. එක්ස්ට්‍රීම් වෙදර් පැටර්න්ස් වශයෙන් ඔවුහු මේ සංසිද්ධිය හඳුන්වති. මෙය අප පමණක් නොව, සමස්ත ලෝකයම මුහුණ දෙන ව්‍යසනකාරි තත්ත්වයකි. එය පිටුදැකීම සඳහා ගෝලීය ප්‍රයත්නයක් ආරම්භ වී ඇත්තේ ඒබැවිනි. එහි වැදගත්ම සංධිස්ථානයක් ලෙස සැලකෙන්නේ 2015 දෙසැම්බර් 12 වැනිදා රටවල් 195ක සහභා‍ගිත්වයෙන් පැරිසියේ පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික වෙනස්කම් පිළිබඳ සැලසුම්ගත සමුළුවේදී සම්මත කරගනු ලැබීය. ඊට එකඟ නොවූයේ සිරියාව හා නිකරගුවාව පමණි. ඒ, ගෝලීය දේශගුණික වෙනස්කම් පිටුදැකීම සඳහා පැරිස් සම්මුතිය ප්‍රමාණවත් නොවන බව පවසමිනි.

එහෙත් ව්‍යසනකාරි දේශගුණික රටාවන්ගෙන් ලෝකය බේරාගැනීම සදහා ඉඩ ලැබෙන අවසන් උත්සාහය ලෙස පැරිස් සම්මුතිය ගැන ලෝකප්‍රජාව තුළ අදහස් පැවතිණි. ශ්‍රී ලංකාව පැරිස් ගිවිසුම ඉතා ඉක්මනින් ජාතික වශයෙන් සම්මත කර, ජාතික පාර්ලිමේන්තු අනුමැතිය ලබා, පසුව ඉකුත් මාර්තු මාසයේදී නිව්යෝක්හිදී සම්මුතියට අස්සන් තැබුවේ දෙස් විදෙස් පරිසර හිතකාමීන්ගේ පැසසුම් මධ්‍යයේය‍. ඒම කඩිනම් ක්‍රියාමාර්ගෙන් පූර්ණ ගෞරවය වත්මන් රජයට හිමි වන්නේ එය මෙරට ජනතාවගේ මෙන්ම අන්තර්ජාතික ප්‍රජාවගේද ජීවිත දහස් ගණනින් බේරාගැනීමට මුල් වන වැදගත් ක්‍රියාමාර්ගයක මූලික පියවරකට අප රට දායක වු බැවිනි.

එහෙත් මේ මස දෙවැනිදාට - එනම්: පසුගිය සිකුරාදාට - පහන් වූයේ ලෝකය දැඩි පසුතැවිල්ලකට ඇද දමන පුවතක්ද සමඟයි. එනම්: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැරිස් සම්මුතියෙන් අමෙරිකාවේ දායකත්වය ඉවත් කරගැනීමට ගත් තීරණය පිළිබඳ අන්තර්ජාතික මාධ්‍ය ගෙන ආ ප්‍රවෘත්ති හේතුවෙනි. ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ බ්‍රහස්පතින්දා සවස ධවල මන්දිර ඉදිරි අංගණයේ සිට කළ ප්‍රකාශය ගැන පළ වන්නේ දැඩි අන්තර්ජාතික විරෝධයකි.

"අප ඉවත් වෙනවා. අපි ඒ සම්මුතිය ගැන යළි සාකච්ඡා කරන්න සූදානම්. ඇතැම් විට අපට මෙවැනි ගිවිසුමක් ගැන යළි සාකච්ඡා කරන්න හැකි වේවි. එසේ වුවහොත් හොඳයි. නැත්නම් ඒත් හොඳයි." මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැරිස් ගිවිසුමෙන් ඉවත් වෙමින් කළ ප්‍රකාශයයි. එමඟින් ගම්‍ය වන්නේ ඔහු ගෝලීය දේශගුණික විපර්යාස ගැන දක්වන නොසැලකිලිමත් ඇල්මැරුණු හා උපහාසාත්මක ස්ථාවරයයි. කොහොමටත් ට්‍රම්ප් ජනාධිපති වීමට පෙර සිටම ගෝලීය උණුසුම ඉහළ යෑම හා ගෝලීය දේශගුණික වෙනස්වීම් හැඳින්වූයේ විකාර අදහසක් ලෙසිනි. එවැන්නක් ලෝකයේ නොපවතින බව ට්‍රම්ප්ගේ විශ්වාසයයි. ඔහුගේ පිළිගැනීම වන්නේ පැරිස් ගිවිසුම හා ගෝලීය දේශගුණික විපර්යාස පිළිබඳ සංකල්ප අමෙරිකාවේ දියුණුවට බාධා කරන සාධකයක් බවයි. එමගින් අමෙරිකාවේ රැකියා අවස්ථා නැති කරන බවත්, අමෙරිකානු ජාතික ස්වාධීනත්වයට හානි කරන බවත්, අවසානයේ අනෙකුත් රටවලට සාපේක්ෂකව අමෙරිකාව පසුගාමි වන බවත් ට්‍රම්ප් පැරිස් සම්මුතියෙන් ඉවත් වෙමින් කරන ලද ප්‍රකාශයේ සඳහන් වේ. 'අමෙරිකා ෆස්ට්' හෙවත් 'ඇමෙරිකාව පළමුව' යන ට්‍රම්ප් පාලනයේ තේමා පාඨය යටතේ පැරිස් ගිවිසුමට එරෙහි වීමට ඔහු තීන්දු කර තිබේ. ට්‍රම්ප් පාලනයේ වඩාත් මතභේදකාරි තීන්දු අතරට පැරිස් සම්මුතිය පිළිබඳ තීන්දුවත් එක් වන්නේ අමෙරිකාවට පමණක් නොව සමස්ත ලෝකයටම ප්‍රශ්න මතු කරමිනි.

පැරිස් ගිවිසුම ගැන ප්‍රශ්නය සලකා බැලීමේදී ට්‍රම්ප් ක්‍රියා කර ඇත්තේ ලෝක දේශපාලන නායකයකුගේ ස්වරූපයෙන් නොව, ප්‍රදේශීය නායකයකුගේ මානසිකත්වෙයනි. ඔහුගේ ප්‍රකාශය තුළම එය සඳහන් වෙයි. "මා තෝරාපත් කරගනු ලැබ ඇත්තේ පිට්ස්බර්ග්හි ජනතාව නියෝජනය කිරීමට මිස, පැරිසිය නියෝජනය කිරිමට නොවේ" යැයි ට්‍රම්ප්ගේ ප්‍රකාශයේ සඳහන් වෙයි. මෙහිදී 'පිට්ස්බර්ග්' යනු කවරක්ද යන්න ගැන ලෝකයේ අවධානය යොමු විය. එහිදී පෙනී යන්නේ එය අමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයට අයත් ඇලෙගේනියා කෝරලයේ නගරයක් බවයි.

කෙසේ වෙතත් සෑම තැනකදීම වරද්දාගැනීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් පිට්ස්බර්ග් උදාහරණය මගින්ද කටවරද්දාගෙන ඇතැයි අමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙයි. ඒ මන්ද යත්: පිට්ස්බර්ග් නගරය 2016 ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් කිරීම සදහා ඡන්දය පාවිච්චි කර නැත! ඒ නගරවාසීන් අතිමහත් බහුතර වශයෙන් ඡන්දය දී ඇත්තේ ට්‍රම්ප්ගේ ප්‍රතිවාදිනිය වූ හිලරි ක්ලින්ටන් දිනවීම සඳහායි. සාම්ප්‍රදායිකව වසන් කළද පීටර්ස්බර්ගය ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට බලය නොමැති, ප්‍රතිවාදි ඩිමොක්‍රටික් පක්ෂ බලකොටුවකි. දැනුදු එහි නගරාධිපති 'බිල්' ඩිමෝක්‍රටික් පක්ෂය නියෝජනය කරන දේශපාලනඥයකි. හාස්‍යයට කරුණ නම් පිට්ස්බර්ගය ගෝලීය උණුසුම පිටුදැකීමේ අන්තර්ජාතික වැඩසටහනට හා පැරිස් ගිවිසුමට සහාය දක්වන අමෙරිකානු නගරයක් වීමයි. ඒ අනුව ට්‍රම්ප් සඳහන් කරන පරිදි ඔහුට හෝ ඔහුගේ මතවාදයන්ට පිට්ස්බර්ගයෙහි කිසිදු නියෝජනයක් නැත.

පැරිස් ගිවිසුමෙන් ඉවත් වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙනහැර දැක්වූ තර්ක බෙහෙවින් පටු ස්වභාවයක් ගන්නා අතර, ඒවායේ වලංගුභාවය ගැන බරපතළ ප්‍රශ්නයක් මතු වෙයි. පළමුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ පැරිස් ගිවිසුම අමෙරිකාවේ ජීවනාල සේ ට්‍රම්ප් හුවා දක්වන ගල් අගුරු කර්මාන්තය අඩපණ කරන්නක් බවයි. ඔහුගේ තර්කයට පදනම වී ඇත්තේ පැරිස් ගිවිසුමේ මුලික ඉලක්කය වන ගෝලීය උණුසුම කාර්මික යුගය ඇරඹීමට පෙර පැවති තත්ත්වයට වඩා සෙල්සියස් අංශක දෙකකින් වැඩි වීම වළක්වා ලීම හා එම අගය සෙල්සියස් 1.5ක උෂ්ණත්වයකට සීමා කර ලීමයි. සරලව කිව හොත් ගෝලීය උණුසුම සෙල්සියස් අංශක දෙකකින් වැඩි වීම පාලනය කිරීමයි. එමඟින් හිමකඳු දිය වීම, සාගර ජල මට්ටම ඉහළ යෑම ව්‍යසනකාරි කාලගුණ විපර්යාස පිටුදැකීම හා ජෛව විවිධත්වය සුරැකීම වැනි අරමුණු මූලිකව සැලකිල්ලට ගැනේ. මෙහිදී අමෙරිකාවට ඇති අවාසිය කුමක්ද?

ගෝලීය උණුසුම වැඩිවීමට මූලිකව බලපාන්නේ කාර්මිකකරණය නිසා වායුගෝලයට නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායුය. එවැනි වායු පෘථිවි වායු‍ගෝලයට නිකුත් කරන ප්‍රධානතම රට චීනයයි. දෙවැන්න අ‍මෙරිකාවයි.

පැරිස් ගිවිසුම ක්‍රියාත්මක වන විට පරිසරයට අහිතකර ගල් අඟුරු වැනි කර්මාන්ත පාලනය කිරීමට අමෙරිකාවට සිදු වනු ඇත. ට්‍රම්ප් මෙහිදී කරන්නේ දේශීය නැත හොත් ප්‍රදේශීය දේශපාලනයක් වන්නේ ඔහු බලයට පත් කිරීමට මුල් වූ ගල් අඟුරු කර්මාන්තකරුවන් හා ඒම කර්මාන්තයට අදාළව රැකියාවන්හි යෙදෙන අමෙරිකාවේ මධ්‍ය හා මධ්‍ය බටහිර ජනපදයන්හි ජනතාවගේ ආර්ථික අරමුණු සාක්ෂාත් කරලීමයි. එහෙත් එමගින් සමස්ත ලෝකයේම ජනතාවගේ ජීවත් වීමේ අයිතියට ඔහු බාධා එල්ල කරයි. ගෝලීය නාය‍කයෝ ඒක හඬින් ට්‍රම්ප්ගේ තීන්දුවට එරෙහි වන්නේ එබැවිනි. ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල්, බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, ප්‍රංස ජනාධිපති එමැනුවෙල් මැක්රොන් හා කැනඩා අගමැති ජස්ටින් ට්රූඩෝ ඒ අතර වෙති. ගිවිසුමෙන් ඉවත් වීම මඟින් අමෙරිකාව ගෝලීය උණුසුම පිටුදැකීමේ කාර්යභාරය සඳහා දෙන මූල්‍යාධාර කපාහැරීමද බරපතළ තත්ත්වයකි. එමඟින් පීඩාවට පත් වන්නේද දේශගුණික විපර්යාස නිසා පීඩාවට පත් වන අහිංසක දිළිඳු ජනතාවයි. අනෙක් අතට අමෙරිකාව ගෝලීය වශයෙන් බටහිර ලෝකයේ ප්‍රධානතම රට වශෙයන් පෙනී සිටීමේ ආධිපත්‍යයට අභියෝග එල්ල වෙයි. එසේම චීනය පැරිස් ගිවිසුමට පූර්ණ සහාය දක්වන බවට ප්‍රතිඥා දීමත් සමග අමෙරිකාවේ ප්‍රතිරූපයට එල්ල වන්නේද දැඩි අභියෝගයකි. මේ නිසා ට්‍රම්ප් දුපත් මානසිකත්වයෙන් ගත් තීන්දුව අමෙරිකාවට කෙටිකාලීන ආර්ථික වාසි ගෙනදීමේ ඉඩකඩ පවතී. එහෙත් දිගුකාලීනව ඉන් අමෙරිකාවට අංශ රැසකින්ම අත් වන්නේ අවාසියක් බව අන්තර්ජාතික ප්‍රජාව පෙන්වා දෙයි.

ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ 

Comments

This article is very misleading and one sided. Paris agreement is a non-binding agreement and this article does not say how US's withdrawal from the agreement is going to be a disadvantage to other countries. In fact, even after withdrawal, US will continue these standards (Pittsburg Mayor already said that) . Why US needs to be in an agreement if they can still do the same ?? Seems like the writer got facts from CNN but forgot to do the research about the US past withdrawals from climate related agreements and it did not make any negative impacts in global warming. The world is upset because US took its own way. Trump is not a regular politician and most professional politicians are upset about their job security and promotions !

පිටු