අපට සතුට ගෙනෙන අවුරුද්ද | සිළුමිණ

අපට සතුට ගෙනෙන අවුරුද්ද

 කොවුලාගේ හඬ අපගේ සවනේ වැකෙත්ම දැනෙන්නේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ළඟ එන බවයි. පළමු පාසල් වාරය අවසන් වී අප නිවෙස් කරා පැමිණෙන්නේ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සැමරීමේ සතුටිනි. අප රටේ ජීවත්වන සිංහල හා දෙමළ ජාතිකයන් අලුත් අවුරුද්ද සමරන්නේ ඉමහත් සතුටිනි. සෑම නිවෙසක්ම පාහේ තීන්ත ගා අලුත්වැඩියා කරයි. බොහෝ අය අලුත් ඇඳුම් මසති. සෑම ගෙදරකම අලුත් අවුරුදු කැවිලි සාදනු ලැබේ.

බොහෝ ගම්වල ගැමි දරුවෝ උණ ගස් කපා උණ බටයකින් උණ වෙඩි සාදා උණ වෙඩි පත්තු කරති. එයින් නැඟෙන “දෝං” යන ශබ්දයට ඇතැම් කුඩා ළමයි බිය වී සැඟවෙති. මම ද උණ බටයක් කපා උණ වෙඩිල්ලක් සෑදීමට බලා සිටිමි. සැමදෙන පරණ තරහ අමතක කර අලුත් අවුරුද්දට සමගියෙන් එක්රොක් වී අවුරුදු ක්‍රීඩාවල යෙදෙති. පුංචි අපිට නම් අලුත් අවුරුදු කාලයේ විශේෂ ආහාර කැවිලි වර්ග හා තෑගි බෝග ලැබේ. ගස්වැල් ද සතුටින් පල දරා බිමට නැවී ඒ මේ අත වැනෙයි. රටක සෞභාග්‍යවත් කාලය මෙයයි. නිවෙස්වල අටුකොටු ද ධන ධාන්‍යයෙන් පිරී තිබෙයි. ළිප ගිනි මෙළවීමේ සිට හිසතෙල් ගෑමේ මංගල්‍යය දක්වා අවුරුදු චාරිත්‍ර මැනැවින් ඉටු කර කාලය සතුටින් ගත කරන සමයයි.

Comments