
බොහොම ඉස්සර එක ගමක දුප්පත් මිනිහෙක් හිටියා. නම් බයිරාල. මිනිහා හොරෙක් හෙම නෙමෙයි. ඒ වුණත් නැතිබැරිම වෙලාවකට උන්දෑ අහල පහළ වත්තකින් මොනව හරි කඩාවඩා ගන්නවා. මෙහෙම කරන්නේ නොකරාම බැරිනම් තමා. දවසක් මොකවත් ම තිබුණෙ නෑ. බයිරාලට මතක් වුණා විදානෙගෙ පොල්වත්ත. “පොල් ගෙඩියක්වත් අහුලං එන්ට ඕනෑ. සම්බෝලයක්වත් හදා ගන්න.” අනේ අහුලන කොටම විදානෙගෙ අතට ම බයිරාල අහුවුණා. විදානෙ හොඳට ම දොස් කිව්වා. “ඉල්ලුවනං ගෙඩියක් දෙකක් දෙනවනේ. ඇයි හොරකම් කෙරුවේ” කියලා. විදානෙ නොසෑහෙන්න දොස් කිව්වා. තව දවසක් බලනකොට ගෙදර හාල් ඇටයක්වත් නෑ. බයිරාලට විදානෙ එදා කියපු දේ මතක් වුණා. බයිරාල විදානෙ ගෙදරට ගිහිං අමාරුකම කියලා වී ටිකක් ඉල්ලුවා. “තියෙනවානං උඹට නොදී ඉන්නවද බයිරාල? බිස්සෙ හරියෙ වී ඇටයක්වත් නෑ”. කියලා විදානෙ මඟ හැරියා. බයිරාලගෙ හිතට මොකක්ද වගේ. වී නැතුවත් බෑ. විශ්වාස කරන්න පුළුවන් කතාවක් නෙමෙයි විදානෙ උන්දෑ කිව්වෙ කියලා බයිරාලගෙ හිත කිව්වා. බයිරාල කල්පනා කරලා කල්පනා කරලා ටිකක් රෑ වෙන්ඩ ඇරලා ගෝනියකුයි හනස්සකුයි අරගෙන විදානෙගෙ වී බිස්ස ළඟට ගියා. හනස්සෙ උල තියෙන පැත්ත වී බිස්ස ඇතුළට ගහලා අනිත් පැත්ත ගෝනියට ඇල්ලුවා. ගෝනිය පුරවා ගන්න වැඩි වේලාවක් ගියේ නෑ. පහුවදා බයිරාල තේ කහට කෝප්පයක් බොන්න හිතාගෙන කඩ මණ්ඩියට ගියා. විදානෙත් ආවා. විදානෙගෙ මූණ නරක් වෙලා තිබුණා. “ඊයෙ රෑ මගේ වී බිස්සට කවුරු හරි හොරෙන් පැනලා”. කියා කිව්වා. පැත්තකට වෙලා උන්න බයිරාල තේ කහට කෝප්පය තොලගාන ගමන් ඇඟට පතට නොදැනී මෙහෙම කිව්වා.
“හොරු පැන්නට මොකද විදානෙ රාලෙ, බිස්සෙ වී ඇටයක්වත් නෑනේ” කියලා. විදානෙ බිම බලා ගත්තා.