
එක පන්සලක ඇබිත්තයෙක් සිටියේය. ඇබිත්තයා කියන්නේ පන්සලේ වැඩපළ කරන කොලුවාය. මේ ඇබිත්තයා පන්සලේ වැඩපළ කර අවසන් වූ පසු පන්සල් වත්ත වටේට ඇවිදින්නට පුරුදු වී සිටියේය. මේ යන අතර පැපොල් ගසක කහ පාටට ඉදුණු ලොකු පැපොල් ගෙඩියක් දැක්කා. පැපොල් ගෙඩිය හොරෙන් කඩල කන්ට හොඳ නෑ. ලොකු හාමුදුරුවන්ගෙන් අහල ම කන්ට ඕනැ. ඒත් හාමුදුරුවො නම් පැපොල් කන්ට වැඩි කැමැත්තක් නෑ. ඇබිත්තයා ගොත ගහන මුක්කං ගතිය තියෙන කොලුවෙක්.
ඇබිත්ත කොලුවා ලොකු හාමුදුරුවන් ළඟට ගිහින් කියනවා “අපේ හාන්දුන්නේ ඉනං හිටං පැපොං කං” හාමුදුරුවෝ දැනගත්තා ඇබිත්තයා කියන්නේ මොකක්ද කියල. ඒකේ තේරුම “හාමුදුරුවෝ අකමැති වුණත් ඉඳ හිට (කලාතුරකින්) පැපොල් කෑවට කමක් නෑ” කියන එකයි.
“හා හා එහෙනම් පැපොල් ගෙඩිය කඩල, පැපොල් ගෙඩිය කපල මටත් කෑල්ලක් ගෙනාවොත් හොඳයි. ඉතිරි කොටස උඹ ඇති තරම් කාපංකෝ” කියල හාමුදුරුවෝ කොලුවට කීහ.
ඇබිත්ත කොලුවා සතුටින් පිනාගිහින් උඩ පැන පැන පැපොල් ගහ ළඟට ගොස් හෙමින් හෙමින් පැපොල් ගහට බඩගා ඉදුණු පැපොල් ගෙඩිය කඩාගෙන ඇවිත් හාමුදුරුවන්ට පැපොල් කෑල්ලක් වළඳන්ට දී ඉතිරි කොටස තලු මර මර රස කර බඩ පුරා කෑවේය.
(ජනකතාවක් ඇසුරෙනි)