කාන්තාවගේ සොඳුරු බව කවියට පමණක් ද? | Page 2 | සිළුමිණ

කාන්තාවගේ සොඳුරු බව කවියට පමණක් ද?

 ඉතා දීර්ඝ කාලයක පටන් කවියෝ කාන්තාවගේ ගුණ ගයති. ඔවුහු ගයන ඒ ගුණ ගී යථාර්ථයක් වන තෙක් දහස් ගණන් කතුන් නෙත් අයා බලා සිටිති. නමුත් එය සිහිනයක් විනා යථාර්ථයක් වන ලකුණක්වත් පෙනෙන මානයක නොවේ.

කාන්තාවගෙන් මවක ලෙස, බිරියක ලෙස, සොයුරියක ලෙස පවුලකට, සමාජයකට සිදුවන සේවාව අතිමහත්ය. ඒ මහඟු සේවය බොහෝ සෙයින් කවියන්, නවකතා රචකයන්, තිර පිටපත් රචකයන් හඳුනාගෙන සිටින බව ලියැවෙන කවි, ගී, චිත්‍රපට, නාට්‍යය ආදියෙන් ගම්‍ය වේ. සංකල්පයට කෙසේ නමුදු සමාජ යථාර්ථය ඉදිරියේ ගැහැනිය තවත් වෙ‍ෙළඳ භාණ්ඩයක් බවට පත්ව ඇති බව නම් කිව යුතුය.

එකල පාසලේ දී දහම් පාසලේදී අපට කියා දී ඇත්තේ බසයක, කෝච්චියක ගමන් ගන්නාවිට ගැබිනි මවක, දරුවකු දරා සිටින මවක බසයට ගොඩවන පමණින් තම අසුන ඇයට පිරිනැමීම යහපත් බවයි. එනමුත් අද එය කතාවට පමණක් සීමා වී තිබේ. ගැබිනි මවක දරුවෙකු වඩාගත් මවක දුටු පමණින් අද බොහෝ පිරිස් බලෙන් තමාවෙත නින්දක් ආරූඪ කර ගනිතිී. එසේත් නැතිනම් කවුලුවෙන් එපිට අනන්තය දැකීමට අසාර්ථක උත්සාහයක යෙදෙති. මේ සියල්ලන් අවදි වන්නේ රියැදුරුගේ හෝ සහායකගේ අඬගෑමෙන් අනතුරුවය.

දරුවන් ඇකයේ දරා සිටින මවුවරුන්ගේ ඇකයේ සිටින දරුවා තමා ළඟට ගෙන හෝ එම අම්මාට සහාය දෙන්නට තරම් අපේ මිනිසුන් කාරුණික නොවීම කණගාටුවට කාරණයකි. පිරිමි අය මේ පිළබඳව යම් පමණකට හෝ සංවේදී වුවද කාන්තාවක මේ සම්බන්ධව අවධි කරවීම එතරම් පහසු නොවේ. ඒ අතර සමහරුන් මවු පදවිය දරන්නන් වීම ම කණගාටුවට කරුණකි.

කාන්තාවෝ නිරන්තරයෙන්ම පවුලක බර උසුලන්නෝය. උපයන ධනය පිරිමසාගෙන පවුලේ දියුණුව සඳහා කැප වන්නෝ ඔවුහුය. කාන්තා අයිතීන් පිළිබඳ මහා ඉහළින් කතා කළ ද ඕනෑම ගැහැනියක් දෙස මවක, දියණියක, සොයුරියක ලෙස බලන්නට නොදත් සමාජයක එකී අයිතීන් විහිළුවකි.

තරුණ මවක දෙස බලා සලෙලු සිත් ඇති කර නොගන්නට තරම් හික්මවන මනසක් ඇත්තෝ හිඟය. නොසෑහෙන්න සංස්කෘතිය, සභ්‍යත්වය, සිරිත් විරිත්, පිළිබඳ කතා කරන ලංකාව වැනි රටක කාන්තාවක දුටු පමණින් අවධිවන රාගික හැඟීම් අබියස දී වලංගු නොවන්නේ ඇයි දැයි ගැටළුවකි. නමුත් යම් ආකාරයකට පිරිමියකු දැඩි ලෙස විශ්වාස කිරීමේ පාපයට කතක් ගැබිනියක බවට පත් වුවහොත් සංස්කෘතිය, සභ්‍යත්වය, සිරිත් විරිත් ආදියට පටහැනි වූවා යැයි සලකමින් සමාජයක් ඉදිරියේ ඇය පිළිකුල් කෙරේ.

ලඳක් අභිසාරිකාවක නම් ඇය විසේකාර ලඳකි. එනමුත් ඇයට එම තත්ත්වයට පත් වීමට සිදු වූයේ මන්ද ඇය එම තත්ත්වයට පත් කළේ කවුරුන්ද කියා වත් නොසිතයි.

වරද පැටවෙන්නේ කාන්තාවට පමණි. ඇයට ඇනුම්, බැණුම්, ගැරහුම් සියල්ල හිමිය. අබිසරු ලියන් පතා යන්නන් නොසිටියා නම් ඔවුන්ම එවන් තත්ත්වයක සිටීමටද අවශ්‍ය නොවේ.

තවත් විටෙක තරුණ කතකට පමණක් නොව සැලකිය යුතු මට්ටමක වැඩිහිටි කතකට පවා මහ මග, බසයක, දුම්රියක යෑමට පවා නොහැකි තත්ත්වයක් පවතී. සුන්දර ලියන් දැක කවි ලියූ අතීතයක් අපට තිබුණ ද අද කතුන් දෙස බලන්නන් බලන්නේ රාගය, ආශාව පෙරටු කොටගෙන වීම කණගාටුවට කරුණකි. ඒ හරහා ඇතිවන ප්‍රතිඵලය අතීතයේ තරම් සුන්දර වූවක් නොවේ. ඒ තුළ පවතින්නේ අපචාර, දූෂණ, හිංසනය වැනි හිංසාකාරී ක්‍රියාවන්ය.

පාරම්පරිකව පැවත එන සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලංකාව වැනි රටක කාන්තාවක දුටු පමණින් දූෂිත හැඟීම් ඇති වනවා නම් ඉතා බාල ළදැරියන් ලිංගික යන්ත්‍ර සූත්‍ර ලෙස සිතනවා නම් ඉතා ගම්භීර ලෙස කියා පාන්නා වූ පෞඪ ඉතිහාසයේ උරුමය මෙවන් කරුමයක්දැයි සිතෙන පමණටම පිළිකුලක් වීම වැළැක්විය නොහැකිය..

වර්තමාන ආර්ථිකය තුළ පීඩාවට පත්වන කාන්තාවගේ ගෘහාශ්‍රිත පීඩාව වෙනුවෙන් කාන්තා දිනයේ වීථි බසින සමහර දේශපාලන කණඩායම් බසයේ, මහා මාර්ගයේ, දුම්රියේ අතවරයට පත්වන ලජ්ජාව බිය නිසා හඬක් නොනගන කතුන් වෙනුවෙන් වීථි නොබැසීම කණගාටුවට කාරණයකි.

 

Comments