‘රට - ජාතිය - ආගම’ වෙනුවට ‘දෙස - බස - රැස’ පෙරට ගත් දේශපාලන චින්තනය | Page 2 | සිළුමිණ

‘රට - ජාතිය - ආගම’ වෙනුවට ‘දෙස - බස - රැස’ පෙරට ගත් දේශපාලන චින්තනය

 මාර්තු දෙවැනිදාට යෙදෙන කුමාරතුංග මුනිදාස සූරීන්ගේ 73 වැනි ගුණානුස්මරණය වෙනුවෙනි

ලෝ දම සිසිල රැකි අදහම් අව්ව අරා
ආගම රුකයැ ජාතිය බිමයැ සිටි දරා
වේ සැම රුක් වැඩුම බී බිමැ රසය උරා
නෑ බිමැ පමණ අගනා රුක් මෙලොව තුරා

කුමාරතුංග මුනිදාස සූරීන් විසින් රචිත කවි පන්තියකින් උපුටා ගත් ‍ෙම් කවිය මඟින් වඩා වැදගත් ජාතිය ද නැතිනම් ආගම ද යන පැනයට පිළිතුරක් දෙයි. ආගම යනු ජාතිය නමැති බිමේ වැඩෙන ගසක් නිසා වඩා වැදගත් ජාතිය බව මෙයින් පහදයි.

ඉංග්‍රීසීන් ලංකාවේ පාලනයට මැදිහත් වන දහනවවැනි සියවසේ දී ලොව ‘බලය‘ යනු තුවක්කුව වේ. විසිවැනි සියවසේ දී ඒ ‘බලය‘ ඉංග්‍රීසි භාෂාව කරා මාරු වෙයි. විසිඑක්වැනි සියවසේ දී ‘බලය‘ට හිමි තැන තොරතුරු තාක්ෂණය විසින් අත්පත් කරගනු ලබයි. ලොව දේශපාලන ආධිපත්‍ය රඳන්නේ කවරකු මත ද යන්න අනුව මේ ‘බලය‘ කුමක් ද, කොතැන ද යන්න තීරණය වේ. මේ විකාශනය හෝ ප්‍රවණතාව යම් අයෙක් කල්තියා වටහා ගෙන අනාගතවාදීව කටයුතු කළේ නම් හේ චිනත්කයෙකි. කුමාරතුංග මුනිදාස සූරීන් භාෂා විශාරදයකු පමණක් නොව චින්තකයකු ද වන්නේ මේ අරුතිනි.

යටත් විජිතයෙන් නිදහස් වන ජාතික සටනට ජාතිය හා ආගම හෙවත් සිංහල හා බුද්ධාගම මූලික සටන් පාඨ ලෙස ගත් බව ‘රට - ජාතිය - ආගම‘ පෙරට ගැනීමෙන් පැහැදිලි වේ. එහෙත් කුමාරතුංග මුනිදාස සූරීහු එය ‘දෙස - බස - රැස‘ නමින් වෙනස් කළහ. එනම් ‘ආගම‘ වෙනුවට ‘භාෂාව‘ ගෙනාවේය. විසිවැනි සියවසේ දී ආක්‍රමණිකයාගේ ‘බලය‘ භාෂාව බව දැන ඔහු ඒ අනුව ජාතියට මඟ පෙන්වීය. ඒ මඟ පෙන්වීම පිළි නොගත් අප විසිඑක්වැනි සියවසට පියමැන්නේ තමන්ට උරුම ‘බලය‘ නැමති යෂ්ටිය අත්හළ හිස් අතිනි.

ඉංග්‍රීසීන් රට යටත් කර ගෙන සිටි කාලයේ ඈත ගම්වල ජනයා සුදු නිලධාරියකු දකින්නේ ඉතා කලාතුරකිනි. එහෙම කලාතුරකින් පැමිණි, අසු පිට නැඟි සුදු නිලධාරියකු ගමක පැවති සංස්කෘතික සැණකෙළියක් හමුවේ දිනක් අනාරාධිතව පෙනී සිටියේ ය. ඔහු අත තුවක්කුව ද තිබුණි. සැණකෙළියේ නිරතව සිටි සියලු ශිල්පීන් ද, සැණකෙළියෙන් විනෝද වෙමින් සිටි ගැමියන් ද තුවක්කුවක් අත දරා සිටි සුදු නිලධාරියා දුටු දසුනින් මොහොතකට ගල් ගැසුණා වැනි විය. සැණකෙළිය අතර මඟ නතර කෙරිණි. ඊළඟ මොහොතේ යම් කලබලයක් වෙන්නට ඉඩ තිබුණු අවස්ථාව අවුරා, සැණකෙළියේ නියමු ගැමියා වහා ඉදිරිපත් ව, සුදු නිලධාරියා සාදරයෙන් පිළිගත්තේය. අනතුරුව සංග්‍රහයකට ද ආරාධනා කළා ලු. සුදු නිලධාරියා ද නියමු ගැමියාගේ ආරාධනාව පිළිගෙන සංග්‍රහය භුක්ති වින්දේ ය. අනතුරුව අර ගැමි නියමුවා මෙසේ පැවසීය.

‘දැන් අපි අපේ සැණකෙළියේ ඉතිරි කොටස පටන් ගන්න ඕනෙ. ඔය තුවක්කුව පත්තු කරල ඒකට ආරම්භයක් දුන්න නම් ...‘

සුදු නිලධාරියා අත තිබුණු ‘බලය‘ හෙවත් තුවක්කුව දැක බය බිරාන්ත වූ බහුතර ගැමියන් අතර සිටි, උඩින් සිරස්ව ගැටලුව දෙස බලූ ඒ ගැමි නියමුවා සැණකෙළිය ඉදිරියට ගෙන යන්නට සුදු නිලධාරියා සතු තුවක්කුව ම පාවිච්චි කළේය. සැණකෙළිය ඉදිරියට ඇදිණි.

බ්‍රිතාන්‍ය පාලනයේ පීඩනය සෘජුව ම සිංහල ජාතිය හා බුදුධාගමට එල්ල වීම නිසා අධිරාජ්‍ය විරෝධි අරගලයට ‘සිංහල‘ හා බුද්ධාගම‘ පෙරට ගැනීම සාධාරණය. එහෙත් එම වචන හුදු වචනාර්ථයෙන් ම ගත් විට ජාතික සටන පටු තැනකට වැටීම වැළක්විය නොහැක. මන්දයත් එම වචන භාවිතයෙන් තවත් ජාතියක් මෙන් ම තවත් ආගමක් ඉලක්ක කරනවාය කියා ලෙහෙසියෙන් හෙළා දකින්නට හෝ ඊට පහර දෙන්නට හෝ හැකි බැවිනි.

‘බලය‘ තුවක්කුව බව දැන ඊට සෘජුව එරෙහි නොවී ඒ තුවක්කුව ම සැණකෙළිය ආරම්භ කරන්නට යොදා ගත් දුර දැකීම, කුමාරතුංග මුනිදාස සූරීන් ‘දෙස - බස - රැස‘ යන්න පෙරට ගැනීමෙන් සිහි ගන්වයි.

‘කා කුමක් කීවත්
සිය බස කෙ‍ෙලසා අපට
නිදහසෙක් නොම ලැබේ
පටන් ගන්නැ සිය බසින්‘

යනුවෙන් හෙතෙම ජාතික නිදහස දිනා ගන්නා අයුරු ගැන සෘජුවම සඳහන් කළේය.

තම යටත් විජිත පාලනයෙන් ආසියානු රටවල් නිදහස් කරන්නට බ්‍රිතාන්‍ය තීරණය කරන විට එම නිදහස පෙරදිග යටත් විජිත මූලස්ථානයට හෙවත් ඉන්දියාවට ලබා ගැනීමටයි ඉන්දියානු දේශපාලකයන් වෙහෙසුනේ. ඩී. එස්. සේනානායකයන් ප්‍රමුඛ ජාතික සංගමයේ නායකයන් බ්‍රිතාන්‍ය සමඟ සාකච්ඡා මාර්ගයෙන් නිදහස ලබා ගැනීම ‘කා කුමක් කීවත්‘ බුද්ධිමත් ක්‍රියාවක් වන්නේ එකී පසුබිමට අනුවයි. ඉන්දියානු භූමිකාව ද සැලකිල්ලට ගන්නා විට සිංහලයා මුහුණ දිය යුතු අභියෝගය වූයේ තම උරුමය හෝ අයිතිවාසිකම් හෝ අහිමිකර නොගෙන, අනෙක් ජාතියක් පෙළනවාය කියන චෝදනාවෙන් ගැලවී, උපායශීලී පියවරක් අනුගමනය කරන්නේ කෙසේද යන්නයි. කුමාරතුංග මුනිදාස සූරීන් ජාතියට දුන්නේ ඊට අවශ්‍ය දේශපාලන චින්තනය යි.

සිංහල බස පෙරට ගන්නා විට අනෙක් බසක් කතා කරන ජාතියක හිත් රිදෙන්නේ නැති දැයි, එහි ජාතිවාදයක් නැති දැයි, මෙහිදී කෙනකුට ගැටලුවක් මතු විය හැකියි. සිංහල, ජාතිය හැටියට නොව භාෂාව හැටියට ගන්නා කල, ජාතිය ලෙස ගන්නා විට හැඟෙන ජාතිවාදී ස්වරූපය ක්‍රමානුකූලව වියැකී යයි. නිදසුනක් ලෙස දෙවන ලෝක යුද්ධයේ දී හිට්ලර් සමඟ ජාතිවාදීව සිට ගත් ජපානය ගත හැකි යි. යුද්ධයෙන් පරාජයට පත් ජපානය දූවිලි මතින් යළි නැගිටීමේ දී පවා තම මවු බස මුළට ම තබා ගත්තේ ය. ඔවුන් නූතන සංස්කෘතික ප්‍රවණතාවලට මුහුණ දුන්නේ හා බටහිර ලිබරල් ආර්ථිකය තමන්ගේ ම කර ගත්තේ, ස්වභාෂාව ප්‍රමුඛ තැනෙහි තබමිනි. ජපනා ජාතිවාදියෙකැයි නැඟුණු හඬ ජපනා තම මව් භාෂාව පෙරට ගන්නා විට ක්‍රමානුකූලව වියැකිණි. ජාතිය මතු කරන්නට යම් ජාතියක නම මුළට ගැනීමේ දී අන් ජාතියකට අයත් අයෙකුට දැනෙන නොපෑහීම අදාළ ජාතියේ භාෂාව මතු කරන විට එතරම් නොදැනීම පවතින සත්‍යයකි. ජාතියේ අනන්‍යතාව මතු කෙරෙන ප්‍රධාන ම සාධකය අදාළ ජාතියේ භාෂාව නමුත් ජාතිය මතු කිරීමේ දී පුද්ගලයාට අනෙක් ජාතීන් අතර නොලැබෙන ඉඩක් තම භාෂාව භාවිතයේ දී ලැබෙයි. මේ බව මුනිදාස කුමාරතුංග සූරීන් දැන සිටි ලෙස ම ජපානයත් දැන සිටියේ ය.

එක් ජාතියක් තවත් ජාතියක් මත ජාතිවාදී ව පටවන යම් පීඩනයක් ඉවසන්නේ නැති එම ජාතියේ අය පීඩක ජාතියේ භාෂාවෙන් ඇති සාහිත්‍ය කෘතියක් පරිවර්තනයකින් හෝ කියවන්නට මැලි නොවේ. අනෙක් භාෂාවකින් ලියැවුණු රසවත් ගීතයක් කවියක් කලා කෘතියක් විඳ ගැනීම ප්‍රතික්ෂේප නොකරයි. අවශ්‍ය කරන දැනුම තිබෙන්නේ පීඩකයාගේ භාෂාවෙන් නම් එය ද ලබා ගන්නට පසුබට නොවේ.

ජපනා නොරිස්සන අනෙක් ජාතියකට වුව ද, ජපනා නිපදවූ ලෝකෙන්ම ඉල්ලුමක් ආ මෝටර් රථය නිසා හෝ කාටත් වටිනා තාක්ෂණය නිසා හෝ එරට රැකියා අවස්ථා පාදා ගන්නට හෝ ජපන් භාෂාව ඉගෙනීම පවා වැදගත් වෙයි. ඉංග්‍රීසීන් ගේ ජාතිවාදය ලොව අන් ජාතීන්ට අපමණ පීඩාවක් එල්ල කළ ද ඉංග්‍රීසි භාෂාවට ලොව ඉල්ලුමක් ඇති වූයේ සංස්කෘතික ආක්‍රමණය නිසා ම නොවේ. ලෝක දේශපාලන බලය ඉංග්‍රීසින් අතට මාරු වීමත් නූතන ලෝකයේ දැනුම හුවමාරු මාධ්‍ය ඉංග්‍රීසි බස වීමත් යන සංස්කෘතික ගලා යාම ද ඊට බලපෑවේ ය.

නිදහස් ජාතියක් ලෙස නැඟිට ගැනීමට මෙන් ම ඉංග්‍රීසි භාෂාව මතුවීමේ දී සිදුවන සංස්කෘතික ආක්‍රමණයට මුහුණ දීමට ද තම මව් භාෂාව ‘බලය‘ ලෙස යොදා ගැනීම ගැනයි මුනිදාස කුමාරතුංග සූරීන් ජාතියට දුන් පණිවිඩයෙන් කියැවුණේ. ඒ දැක්ම ජාතික සටනට අදාළ කර නොගත් නිසා අපට මඟ ඇරුණු වටිනාකම් සුළුපටු නොවේ.

චිලී ජාතික සාහිත්‍යධරයකු වන පබ්ලෝ නෙරුඩා (1904 - 1973) භාෂාවේ බලය ගැන මෙසේ සඳහන් කරයි.

‘රට යටත් කළ ආක්‍රමණිකයන් අපේ හැම දේම අරන් ගියා. ඒ වගේම ඔවුන් අපට හැම දේම දීල ගියා. අපට දීල ගියේ වචන. දැන් අපට තියෙන්නෙ මොන තරම් ලස්සණ භාෂාවක් ද‘

මෙහදී තවත් කරුණක් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු යි. ‘56 දී ‘සිංහල පමණයි‘ කීම රට ඉදිරියට ගත යුතව තිබුණු උපායශීලී ගමන මුළු මනින් ම අවුලකට ඇද දැමූ දේශපාලන අවස්ථාවාදයක් මිස, නිදහස් සටන අවස්ථාවේ දී මඟ ඇරුනු ‘ස්වභාෂා යෂ්ටිිය‘ නැවත අතට ගැනීමක් නොවේ.

කෝල්බෘක් ප්‍රතිසංස්කරණ යටතේ අධ්‍යාපනය සඳහා ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කරන අවස්ථාවේ දී සිංහල භාෂාවට හිමි තැන දෙවන වරටත් අහිමි විණි. එය ජාතියට නිදහස අහිමි කළ දරුණු සන්ධිස්ථානයකි. ඊට වසර 1400 ට පමණ ඉහත එනම් පස්වැනි සියවසේ දී ඊටත් වඩා දරුණු අවස්ථාවකට, සිංහල භාෂාවට හිමි තැන අහිමි කිරීමේ පළමු අවස්ථාවට මුහුණ දෙයි. එය ‘පාලි මෙහෙයුම‘ වේ.

බුද්ධඝෝෂ හිමියන් මෙරටට පැමිණ මහා විහාරයේ බලය අල්ලා ගෙන, ස්වභාෂාවෙන් ලියා තැබූ අටුවා ග්‍රන්ථ ගිනි තබා, බුද්ධ මාර්ගය හා සිංහල දැනුම තමන් කැමති විදියට පාලියට නැඟීම ‘පාලි මෙහෙයුම‘ ලෙස හඳුන්වමි. ජාතියේ නිදහස සඳහා භාෂාව පෙරට ගැනීම ගැන කුමාරතුංග මුනිදාස සූරීන් ජාතියට පෙන්වා දුන්නේ, එවැනි අඳුරු ඉතිහාසයක් ද රටට හිමි බැවින් එයින් එළියට ද එනු පිණිස යොදා ගත හැකි ආලෝක ධාරාවකි.

ඉන්දියාවේ සිට මෙහි පැමිණි බුදුධඝෝෂ හිමි සිය ‘පාලි මෙහෙයුම‘ නොකරන්නට සිංහල භාෂාව අන්තර්ජාතික භාෂාවක් බවට පත්වන්නට ඉඩ තිබුණු බව කුමාරතුංග මුනිදාස සූරීන් පවසා ඇත. විශේෂයෙන් ම බුද්ධ මාර්ගය ලියා තිබුණේ සිංහල භාෂාවෙන් වීමත් ඒ දැනුම ලබා ගන්නට අවශ්‍ය කරන ලෝකයාට සිංහල භාෂාව දැනගතු යුතු වීමත් ඊට හේතු වේ.

භාෂාව හමැමදාටම වලංගු බලයක් බව එයින් පැහැදිළි වේ. විසිඑක්වැනි සියවසේ දී ‘බලය‘ තොරතුරු තාක්ෂණයට මාරු වී ගියත් ඒ නිසා ම සිංහල භාෂාවට හිමි බලය අන්තර්ජාතික තලයට එසවිණි. තොරතුරු තාක්ෂණයේ සන්නිවේදනයට දැන් සිංහල භාෂාවත් වලංගුයි.

 

Comments