
එක කාලෙක ගම යුවළක් බොහොම සතුටින් ජීවත් වුණා. එයාලට ඒ සතුට ගෙනාවෙ වාසනාවන්ත මුදුවක්. මේ මුද්ද නිසා එයාලට තමන්ට ඕන කරන හැම දෙයක් ම නිවසට ලැබුණා. ඒත් ඉතිං ගම හාමිනේ මේ රහස දැනන් උන්නෙ නෑ. ඒ නිසා ඇය සැමියා නිවෙසේ නැති වෙලාවක මේ රන් මුදුව අලෙවි කළා. ඔන්න එදා ඉඳන් එයාලට උදා වුණේ හරිම අවාසනාවන්ත කාලයක්. කෑම බීම පවා හොයා ගන්න අපහසු වූ කාලයක් උදා වුණා. මේ දෙන්න ම ඉතා දුකකට පත්වුණා. මේ දෙන්නා විතරක් නෙමෙයි ගෙදර සුරතලයට ඇති කළ බල්ලයි පූසයි දෙන්නටත් හරියට කෑමක් බීමක් ලැබුණෙ නැහැ. ඉතිං බල්ලයි පූසයි කතා වුණා ගෙදරින් එළියට ගිය රත්තරං මුද්ද කොහොම හරි ආයෙත් අරගෙන එන්න. බල්ලා අදහසකුත් කිව්වා. මෙහෙම කරමු කියලා. “පූසෝ ඔයා මම කියන දේ අහන්න. දැන් ඔයා මීයෙක් අල්ලගන්න ඕනෑ. හැබැයි ඒකා මරන්න එපා. මුද්ද ගන්න අපි එයාගෙන් උදව් ගනිමු.” බල්ලා කියපු අදහස පූසට හරියට ම තේරුණේ නැහැ.
“ඔයා පුදුම කතාවක්නෙ කියන්නෙ. මීයෙක් කොහොමද අපිට උදව් කරන්නෙ.” පූසා බල්ලාගෙන් ඇහුවා. මුද්ද ගත්ත කෙනා තමන්ගෙ කබායෙ තමයි ඒක දැන් තියාගෙන ඉන්නෙ. ඉතිං මීයාට පුළුවන් කබායට රිංගලා මුද්ද අරගෙන එන්න.” බල්ලා කිව්වා. බල්ලාගෙ අදහසට පූසා කැමති වුණා.
“මීයෙක් අල්ලා ගත් පූසා තමන්ට උදව් කළොත් නිදහස් කරනවා කියලා මීයා බය කළා. මීයාත් කැමති වුණා. මේ අය යන අතරමඟදී ගඟක් හම්බ වුණා. ගඟෙන් එගොඩවීම ප්රශ්නයක් වුණා. බල්ලාගේ ඇඟට පූසා ගොඩ වුණා. පූසාගෙ ඇඟට මීයා ගොඩ වුණා. වතුරේ පීනලා ගිහිං එගොඩ වුණා. කොහොම කොහොම හරි රත්තරං මුදුවත් අරගෙන ආපහු තුන්දෙනා ම එන්ට ආවා. කිව්වා වගේ ම මීයා නිදහස් කළා ඌට ස්තූති කරලා. දැන් දෙන්න ම ගෙදර කිට්ටුවට ම ඇවිත්. මේ වෙනකොට මුද්ද තිබුණෙ පූසගෙ කටේ. බල්ලා හිතන් උන්නෙ මුද්ද පූසගෙන් ඉල්ලගෙන පූසට කලින් ගෙදර යන්නයි. මේ වෙලාවෙ ම බල්ලට බොරුවක් කියලා රවට්ටපු පූසා වහලවල් උඩින් පැනගෙන මුද්දත් අරන් බල්ලට කලින් ගෙදරට ආවා. බල්ලා තමන්ගෙ පූස් යාළුවා හොයාගෙන හෙමින් හෙමින් ගේ පැත්තට ආවා. ඔන්න පූසා මුද්ද ගෙනැල්ලා ගෙදර හිමිකරුගේ දෙපාමුල තිබ්බා. ඉතිං ඔහුට ගොඩක් ලොකු සතුටක් දැනුණා. ඔහු බිරියට කතා කළා. ඇයට විස්තරය කිව්වා. “බොහොම ස්තූතියි ඔබට අද ඉඳන් මගේ දරුවෙකුට වගේ ඔබට සලකනවා” කියලා දෙන්නම කිව්වා. ඈත ඉන්න බල්ලා දැකලා මේ දෙන්නාට බල්ලා උපකාර නොකළ බව කිව්වා. බල්ලා ඔවුන්ට ආදරේ නැති බවත් කිව්වා. පූසාට ඕන වෙලාවක ගෙදරට ම වෙලා ඉන්න පුළුවන් වුණාට බල්ලට හැම රෑකම එළියෙන් ඉන්න වුණේ ඒක නිසාලු. තමන් රවටපු හින්දා බල්ලා එදා ඉඳන් පූසා දිහා බලන් ඔරවන්න පටන් ගත්තලු. වෙලාවකට කේන්තියෙන් බලනවලු. අදටත් ඔරවන්නෙ ඒකලු.
සම්මානි විජේසිංහ
සිතුවම - සිබිල් වෙත්තසිංහ