
බොහෝම ඉස්සර කාලයේ චීනයේ ‘තායිහාන් හා වන් හූ” කඳු කලාපයේ මහල්ලෙක් වාසය කළා. මේ කඳු පන්තීන් නිසා මේ ගමේ මිනිස්සුන්ට ගමන් බිමන් යෑම ඉතා අසීරු වුණා. මහල්ලන් මේ අපහසුතාවට නිරන්තරව ලක් වුණා. දවසක් මේ තැනැත්තා හිතුවා කඳු දෙක කපා දමා කෙළින් ම නගර යාවෙන විදියේ මාර්ගයක් හදන්න. මේ අදහස හොඳයි. ඉටුකරගන්න අපහසුයි. මොකද මේ කඳු දෙකම මීටර් සිය ගණනක් උස ඒවා නිසයි.
කොහොම වුණත් තමන්ගෙ හිතේ ශක්තිය ගැන ඔහුට ලොකු විශ්වාසයක් තිබුණා. දරු මුනුපුරාටත් මේ ගැන කිව්වා. හැමෝම අදහසට සතුටු වුණා. දවසක් උදේ තමන්ගෙ වයස අවුරුදු හතක කුඩා මුනුපුරත් එක්කම කන්ද පාමුලට ගිය මේ මහල්ලා මීටර සිය ගණනක් උස කන්ද කපන්න පටන් ගත්තා. බොහෝ වේලාවක් ගියා. මහල්ලාටත් කුඩා මුනුපුරාටත් අඩි දෙක තුනකට වඩා දුරක් කන්ද කපන්න ලැබුණේ නෑ. ඉර තදින් ම පායලා තිබුණා. ඒ නිසා ම ඉතා ඉක්මනින් ම දෙන්නම වෙහෙසට පත් වුණා. මේ වැඩේ දිහා බලාගෙන උන්න මිනිසෙක් හොඳටම හිනා වුණා. මොවුන් හරිම මෝඩ අය. ඔහුට හිතුණා. ඔහු එහෙම සිතමින් එතැනට ආවා. “අනේ... අනේ... මෝඩ මනුස්සයෝ... මොනවද ඔය දරුවා එක්ක කරන්නෙ මොළයක් නැද්ද ඇත්තටම. මේ මහා කන්ද කපන්න අවුරුදු කීයක් යාවිද... දැන් ලොකු උන්නැහේට වයස කීයද?
“වයස අවුරුදු 90 යි” මහල්ලා කිව්වා. “ඒකනේ මම කිව්වේ. ඔය හයිය හත්තිය නැති අතපය තවත් වෙහෙස කරන්නෙ මොටද? ගෙදරට වෙලා විවේක ගන්න.” ඔහු මේ විදියට සීයාත් මුනුපුරාටත් කිව්වා. ඔහුගේ කතාවට එතරම් අවධානයක් නොදුන් වැඩිහිටියා තමන්ගෙ වැඩේ කරන ගමන් මෙහෙම කිව්වා. “පුතේ මෙන්න බලන්න... මෙයා බොහොම බුද්ධිමත් මනුස්සයෙක්. අපි කරන වැඩේ මෝඩ වැඩක් බව ඔහු කියනවා. ඒත් මට හිතෙන විදියට බූරුවෙකුටත් මීට වඩා වැඩි මොළයක් තියෙනවා.”
මේ කතාවට අර තැනැත්තාට කේන්ති ගියා. ඔහු තරහින් මේන් මේ විදියට කිව්වා. “ඔහේ මෝඩ වැඩක් කරමින් මට මෝඩයෙක් කියනවා මොකක්ද මේකෙ තේරුම.” වයස අනූවක මේ මහල්ලා දරුවවත් ළඟට අරගෙන අර තැනැත්තට මෙහෙම කිව්වා.
“මේ කන්ද මට හෝ මේ දරුවට කපලා ඉවර කරන්න බැරි බව මම දන්නවා. මේ කන්දෙ වැඩ ටිකක් කෙරෙද්දිම මම මිය යාවි... ඒත් ඉන් පස්සෙ මගෙ දරුවො මේ කන්ද කපාවි... ඉන් පස්සෙ ඔවුන්ගෙ දරුවො මේ කන්ද කපාවි... ඔවුන්ටත් නිම කරන්න බැරි වුණොත් ඔවුන්ගෙ දරුවො මේ කන්ද කපාවි. ඔන්න ඔය විදියට කවදා හෝ මේ කන්ද කපා අවසන් වේවි. අන්න එදාට මේ මුළු ගමම කඳු බාධා නැතිව නිදහසේ ගමන් කරාවි. මම මේ කන්ද කපන්නෙ මට ප්‍රතිලාභ ගන්න නෙවෙයි මේ මගේ අනාගත පරපුර වෙනුවෙන් මම කරපු ආරම්භයක් විතරයි.” අර තැනැත්තට තමන් හිතපු පටු විදිය ගැන හිතලා තමන් ගැනම ලැජ්ජා හිතුණා. ඔහුත් එකතු වුණා කන්ද කපන්න. ටික කලකින් මුළු ගමම එකතු වුණා කන්ද කපන්න. ඒ නිසා ම වැඩිකල් යන්න මත්තෙන් ගම්මාන දෙක අතර කන්ද වෙනුවට පහසුවෙන් ඇවිද යන මාවතක් ඔවුන්ට ලැබුණා.
කම්මැළි නැති වීර්යවන්තයන් ජය ගන්නේ මෙන්න මෙහෙමයි.
මේක චීන ජනකතාවක්.