දිනුම | සිළුමිණ

දිනුම

තනොන්චායි කතා කිරීමේ නිපුණ සහ බුද්ධිමත් අයෙක් වීය. ඔහු තරම් දක්ෂ මුඛරි අයෙක් එකල තායි රටේ ම උන්නේ නෑ. සමහර අය කිව්වා තනොන්චායි මහ මෝඩයෙක් කියලා. රටේ රජතුමාට තනොන්චායි ගේ දක්ෂකම් අහන්න ලැබුණා. රජතුමා පුදුමයට පත් වුණා.

“මමත් දක්ෂයෙක්.... මේ කියන තනොන්චායි මට වඩා දක්ෂයෙක් වෙන්නෙ කොහොමද?” රජතුමාට හිතුණා. රජු දවසක් තනොන්චායි මුණ ගැහෙන්න තීරණය කළා. පරණ ඇඳුමක් ඇඟලා ගත් රජතුමා රජවාසල ඇතා පිටට නැගුණා. තනොන්චායිගෙ ගෙදර ගියා. ඔහුගේ ගෙදර පිහිටා තිබුණෙ ගඟක් අසල. තනොන්චායි නි‍ෙවසේ පඩිය මත වාඩිවෙලා උන්නා. ඔහුට මේ රජතුමා බව අඳුන ගන්න බැරි වුණා.

“මේ ඇතා නම් හොඳ ම වර්ගයේ එකෙක් යාළුවා.” ඔහු පැමිණි අමුත්තාට කිව්වා.

“ඒක පුදුම වෙන්න දෙයක් නෑ. මූ රජවාසල ඇතා. මං වැඩ කරන්නෙත් රජවාසලේ.” අමුත්තා කිව්වා. එහෙම නම් ඔබ හරි දක්ෂයෙක් වෙන්නැති.” තනොන්චායි කිව්වා. “අපෝ නැහැ”. මං අපේ රජතුමා තරම් දක්ෂයෙක් නෙමේ.” අමුත්තා කිව්වා. “සමහර මිනිස්සු කියනවා ඔබ නම් අපේ රජතුමාටත් වඩා දක්ෂයෙක් කියලා. මං මේ ආවෙත් ඔබ ඔය කියන තරම් දක්ෂයෙක් ද කියලා දැන ගන්නමයි.”

“කොහොමද දක්ෂයෙක් කියල ඔහේ දැන ගන්නේ”. තනොන්චායි ඇහුවා.

“මාව මේ ගඟට බස්සන්න තරම් ඔබ දක්ෂයෙක් කියලා මං හිතන්නෙ නැහැ”. අමුත්තා ගඟ දෙස බලාගෙන ම කිව්වා.

තනොන්චායි මඳක් කල්පනා කොට ගඟ දිහා බැලුවා. ආයෙම අමුත්තා දිහා බැලුවා. අනතුරුව මඳක් හිස කැසුවා. “අපෝ මං ඒ තරම් දක්ෂයෙක් නම් නෙමේ. ඔබ ගඟට බස්සවන්න තරම් දක්ෂමකමක් මට නැහැ”. ඔහු කිව්වා.

“එහෙනම් මං දිනුම්” අමුත්තා කිව්වා.

තනොන්චායි යළිත් අමුත්තා දෙසත් ගඟ දෙසත් බලලා මෙහෙම කිව්වා. “ඇත්තෙන් ම කියනව නම් ඔබ ගඟට බස්සවන්න තරම් නම් දක්ෂයෙක් නෙමේ. නමුත් ඔබ ග‍ඟෙන් ගොඩට ගන්න එක නම් ඊටත් වඩා අමාරු දෙයක්. ඒ වැඩේ කරන්න පුළුවන් ඉතාමත් දක්ෂ ම කෙනෙකුට විතරයි. ‍‍

ඒක අහලා අමුත්තා ගඟට පැන්නා.

“මා ග‍ඟෙන් ගොඩ ගන්න තරම් ඔබ දක්ෂකමක් තියෙනවද?” අමුත්තා ග‍ඟේ සිටම ඇහුවා.

මහ හඬින් සිනාසුණු තනොන්චායි මෙහෙම කිව්වා. “දැන් ඉතිං ඔබ ග‍ඟෙ සිටියත් එකයි. ගොඩට ආවත් මට කාරියක් නෑ. මං දැන් ඔබ ගඟට බස්සලයි තියෙන්නෙ. මං හිතන්නෙ ග‍‍ඟෙන් ගොඩට එන්න තරමට නම් ඔබ දක්ෂයි කියල.”

අමුත්තා පිහිනා ඉවුරට ආවා.

“තනොන්චායි ඔබ නම් ඇත්තට ම මටත් වඩා දක්ෂයි තමා.” අමුත්තා කිව්වා. “මේ මුළු රාජ්‍යයෙම ඉන්න දක්ෂතම මිනිහා ඔබයි කියලා මං පිළිගන්නවා. අමුත්තා තමා මුණ ගැහෙන්නට රාජ මාලිගයට එන ලෙස තනොන්චායිට ආරාධනා කළා. දැන් මේ තමා ඉදිරියේ ඉන්නේ ර‍ටේ රජතුමා බව ටිකින් ටික අව‍බෝධ වූ තනොන්චායි ට දහදිය දමන්න වුණා. මුල ඉඳල ම ගරුසරු වීමට බැරිවීම ගැන ඔහුට බියක් ඇති වුණා.

මේක තායිලන්ත ජනකතාවක්.

සම්මානි විජේසිංහ
සිතුවම - සිබිල් වෙත්තසිංහ
අප සුරකින ගසක ගුණ හඳුනමු මෙලෙස
වෘක්ෂයක් නම් දසත පැතිරවූ අතු සහිත, වෛවර්ණ මල්වලින් යුත්, අනේකවිධ මුල් හා පත්‍රයන්ගෙන් සමන්විත සොබාදහම් මාතාවගේ අද්විතීය නිර්මාණයකි. පරිසර අලංකරණයට මෙන්ම මිනිසා ඇතුළු සියලුම ජීවීන්ගේ පැවැත්මට මහෝපකාරී වන ශාක සමස්ත පරිසර පද්ධතියෙහිම පැවැත්මට අත්‍යවශ්‍යම සාධකයකි.

වායුගෝලය ජීවින්ට හිතකර අයුරින් පවත්වා ගැනීම සඳහා අතිමහත් කාර්යයක් ඉටු කරනුයේ ශාකයි. වායුගෝලයේ පවත්නා කාබන් ඩයොක්සයිඩ් නම් ජීවී අහිතකර වායුව අප විසින් ආශ්වාසය කරනු ලබන ඔක්සිජන් නම් වායුව බවට පරිවර්තනය කළ හැකි එම විස්මයජනක හැකියාව ඇත්තේ ශාකවලට පමණයි. එලෙසම ශාක වායුගෝලීය උණුසුම පාලනය කරමින් එතුළින් ඇතිවිය හැකි ග්ලැසියර් දියවීම, ජලයෙන් ගොඩබිම් යට වීම ආදි තත්ත්වයන්ගෙන් ජීවී ප්‍රජාව ආරක්ෂා කරයි. අපි අපගේ ආහාර අවශ්‍යතා ද ශාක ඇසුරින් සපුරා ගන්නෙමු. ගස්වැල් ජල උල්පත් සුරකියි. පාංශු ඛාදනය වළක්වමින් පස පෝෂණය කරයි. ශාක ඖෂධ ලෙස ද මිනිසාට වැදගත් වේ. ඖෂධ ලෙස භාවිත කළ නොහැකි කිසිදු ශාක පත්‍රයක් නොමැති බව අතීත වෛද්‍ය පොතපතෙහි සඳහන් වේ. අනෙක් අතට ඉන්ධන වශයෙන් මෙන්ම කොසු, ඉදල් සෑදීම හා බොහෝ ගෘහාශ්‍රිත කටයුතු සඳහා ද ශාක අපට උපකාරී වේ.

මිනිසා මුදල් පසුපස හඹා යමින් ගස්වැල් විනාශ කිරීමෙන් පැහැදිලි වන්නේ “කෘතගුණ සැලකීම” යන වචන ඛණ්ඩය නොහඳුනනා බවයි. ගස්වැල් වැනසීමෙන් විනාශ මුඛය කරා යන්නේ තමාම බව මිනිසා තේරුම් නොගන්නේ මන්ද? “ගස්වැල් නම් රැකිය යුතු සම්පතක්ය” යන ගෞතම බුද්ධ දේශනාව අනුව යමින් අපිත් ශාක රැකගැනීම අපගේ පරම යුතුකමක් ලෙස සලකමු.
 

Comments