පණ බේරාගත් වඩු රාල | සිළුමිණ

පණ බේරාගත් වඩු රාල

 

බොහෝම ඉස්සර කොටියාගේ ශරීරයෙ වයිරම් තිබුණේ නෑ. තද තැඹිලි පාට ලෝම පමණක් උගේ ශරීරය පුරා වැවී තිබුණා. ඒ කොහොම වුණත් එදත් අද වගේම නපුරුම නපුරු භයානක සතාම තමයි. මිනිසෙක් වුණත් වෙන ඕනෑම සතෙකු වුණත් අල්ලාගෙන කෑම ඌගේ සිරිතයි. කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නෑ. දවසක්, වඩුවෙක් කැලයට ගිහිං පුරුදු පරිදි වේවැල් කපන්නට වුණා. නපුරුම නපුරු කොටියෙක් එකවරම ඔහු ඉදිරියට කඩා පැන්නා. දත් විළිස්සාගෙන ඌ උන්න අයුරු දැක්කාම වඩුවාට මර බිය දැනුණා. ඒත් ඔහු බිය වූ බවක් නොපෙන්වා නොසෙල්වී උන්නා. හෙමින් හෙමින් කොටියා දෙස බැලුවා. “මං උඹව කන්නයි යන්නෙ. හුඟ දවසකින් මට හොඳ ආහාරයක් ලැබුණේ නෑ.” කොටියා කිව්වා. “ආ... ඒක ද? උඹ කඩාගෙන පැන්නෙ? උඹට ඕන නම් ඉතිං මාව මරාගෙන කාපං. ඒකට කමක් නෑ.” වඩුවා කිසිම බියක් නොපෙන්වා කිව්වා. වඩුවා කී දෙය ඇහුණු ‍කොටියාගේ දෑස් පුදුමයෙන් ලොකු වුණා. ඌට කවරදාකවත් හමු වූ කිසිවෙක් මෙහෙම කියලා නෑ. පුදුමයෙන් පුදුමයට පත් කොටියා, “ඇයි එහෙම කියන්නේ”යි ගෙරවිල්ල මඳක් අඩු කරලා ඇහුවා.

“උඹට මාව කාලා වැඩි වේලාවක් ඉන්න ලැබෙන්නෙ නෑ උඹටත් මැරෙන්නයි වෙන්නෙ” වඩුවා කිව්වා. “අන්න මහා ගංවතුරක් ගලාගෙන එනවා තව ටික වෙලාවකින් මේ මුළු පොළොවම යට වෙනවා. ගංවතුර අහසෙ වලාකුළුත් ගෑවෙන තරම්ම ඉහළ යනවලු. මාළු අහසෙ තියෙන තරුත් කාලා දාවි. ඒ හිංදාමයි. මං මේ වේවැල් ටිකක් කපා ගන්න ආවේ. “වේවැල් මොකටද ගංවතුරට සේරම යට වෙනවා නම්” කොටියා ඇහුවා.

“ඇයි මෝඩ කොටි රාලේ තේරෙන්නෙ නැද්ද? වේවැල්වලින් මගෙ දරුවො ටිකයි, නෑදැයොයි ගස්වලට තියලා බැන්දාම ගංවතුරට ගහගෙන යන්නෙ නැහැනේ. ගමේ අනිත් මිනිස්සුත් දැනටමත් ඒ අයගෙ දරු පවුල් විතරක් නෙමේ බල්ලො බළලුන්වත් ගස්වලට තියලා බැඳලා ඉවරයි. මං ආවෙත් ඉක්මනට මගෙ ළමයි ටික බේරගන්න ඕන හිංදා. තව ටික වෙලාවකින් මේ වනයත් යට කරගෙන වතුර ගලාගෙන එයි. එතකොට උඹට දුවන්න කැලෑ හොයන්න වෙයි. වඩු රාල ඇඟට පතට නොදැනෙන්න කිව්වා. කොටියා හොඳටම බය වුණා. “අනේ වඩු රාලේ මටත් උදවු කරන්න.” මාවත් ගහකට තියලා බඳිනව ද? ඒ උපකාරය කරනවානම් මම පොරොන්දු වෙනවා වඩු රාලට කිසිම කරදරයක් කරන්නෙ නෑ කියලා. මේ ඇත්තමයි. ගංවතුර අඩුවෙලා ගියාට පස්සෙවත් මම උඹට කිසිම කරදරයක් කරන්නෙ නෑ. කොටියා වඩු රාලට පින්සෙන්ඩු වුණා.” වඩුවා මොහොතක් කල්පනා කරනවා වගේ උන්නා. අකමැත්තක් ද පෙන්නුවා. කොටියා දිගින් දිගටම කොටියා වඩු රාලට ඇවිටිලි කළා. කොටියා හොඳටම බයවෙලා උන්නේ. අන්තිමේදී වඩුවා කොටියාට උපකාර කරන්න කැමැති වුණා. ඔහු ශක්තිමත් දිගුම දිගු වේවැලක් අරන් එයින් කොටියා හොඳ හැටි වෙළා ගසක එල්ලුවා. අත්පා කිසිවක් සොලවන්නටවත් බැරි ලෙසටම කොටියා වේවැල්වලින් ගැට ගැසුවා. කොටියා ගහේ එල්ලී බලාගෙන උන්නා ගංවතුර දැන් දැන් ළඟ ඒවියි හිතමින්. ඒත්... ආ... ගංවතුරක් නෑ. තමන් වඩු රාලගෙ උපායට රැවටුණු බව කොටියාට තේරුම් ගියේ දවස් දෙක තුනක් ගත වුණාට පස්සෙයි. වේවැල් බැමිවලින් මිදීමට ඌ ඒ මේ අත ඇඹරෙමින් දඟලන්නට වුණා. ඌ තදින් ඇඹරෙන විට හිරවී ඇති වේවැල්වලින් උගේ හම කැපුණා. වේවැල් බැමිවලින් මිදෙන්න පුළුවන් වුණේ දවස් ගණනාවක්ම ඒ මේ අත ඇඹරීමෙන් හා දැඟලීමෙන්. මුළු ශරීරයම වේවැල්වලට කැපී කළුපාට ඉරි වැටිලා තිබුණා. එදා සිට කොටියාගේ හමේ වයිරන් ඇති වුණා. කොහොම වුණත් උපාය ඥානය නිසා වඩු රාලගේ පණ බේරුණා.

මේක තායිලන්ත ජනකතාවක්

Comments