මුට්ට කරගසමින් පන්තිවලට සල්ලි හොයාගෙන දුක දිනූ හැටි හෙළිකරන අනුරපුරේ අපූරු දොස්තර | Page 4 | සිළුමිණ

මුට්ට කරගසමින් පන්තිවලට සල්ලි හොයාගෙන දුක දිනූ හැටි හෙළිකරන අනුරපුරේ අපූරු දොස්තර

හෙදි නිලධාරිනියක් වන බිරිය දීපා සමඟ

හා කනදරාවට උඩින් හැමදාම ගලාගෙන ආවේ මහා බර සුසුම්ය. වියළි පොළොව සමඟ ගැටෙමින් කේඩෑරී වූ දුක්ඛිත මනුෂ්‍යයන්ගේ කඳුළුවලින් හැමදාම මහා කනදරාව පිරී පිටවානට උඩින් වාන් දැම්මේ ඒ කඳුළුය. මේ සිරිමත් මිනිසා කඳුළු දියවරින් පුරන් වූ ඔහුගේ ජීවිතය සාර කෙතක් බවට පත් කරගෙන තිබිණි. උසස් පෙළ ලියා ජීවත් වීම සඳහා මුට්ටා කර ගැසූ මහා කනදරාවේ දුගී කොල්ලෙක් අද අනුරාධපුර ශික්ෂණ රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් ලෙස සිය නිර්ව්‍යාජ ජීවිත අත්දැකීම අප ඉදිරියේ දිග හරිමින් සිටියේය. ඔහු වෛද්‍ය ගයාන් චතුරංග සෙනවිරත්නය. මේ එ්කතානයමකින් ගලා යන මනුෂ්‍ය ජීවිතයේ අභිලාෂ වෙනස් කළ හැක්කේ තමන් තුළින්ම මතුවන අධිෂ්ඨානයෙන් තමා තුළ සැඟවී සිටින නිද්‍රාගත යෝධයා අවදි කරගැනීමෙන් බව ඔහු කියමින් සිටින බව හඟිමි. ඔහුට ඒ කතාව නිදහසේ කියන්නට ඉඩ දී සාවධානව අසාගෙන සිටියෙමි.

“අපි අනුරාධපුරයේ ඈත මහා කනදරාවේ දුප්පත් පවුලක මිනිස්සු. ජීවත් වුණේ අනුන්ගේ ඉඩමක. උසස් පෙළ විභාගය කරනකම් මම අනුරාධපුර නගරයට ඇවිත් ඇවිදලාවත් නෑ. පවුලේ හිටියේ මමයි මල්ලියි අම්මයි තාත්තයි. තාත්තා ගාමිණි සෙනෙවිරත්න, අම්මා ශ්‍රියාණි චන්ද්‍රලතා, මල්ලී ලක්ෂිත මධුරංග. මල්ලී දැන් භෞත චිකිත්සකවරයෙක්.

තාත්තා කළේ මේසන් වැඩ. අම්මා රස්සාවක් කළේ නෑ. මුලින්ම ඉගෙන ගත්තේ ගැමුණු මහාවිද්‍යාලයෙන්. හය වසරට යනකම් ඉගෙන ගත්තා. ශිෂ්‍යත්ව විභාගය ෆේල්. මට ලකුණු 111යි තිබුණේ. ඉතාම සාමාන්‍ය දුප්පත් ළමයෙක් විදිහට පාසල් සමාජයෙන් මෙන්ම වට පිටේ ඥාති හිතවතුන්ගෙනුත් ලොකු පීඩා විඳලා තිබුණා.

ගමේ පාසලේ එක දවසක් මම ඉස්කෝලෙට අරන් ගිය දාදු කැටයකින් යාළුවො සෙල්ලම් කරමින් හිටියා. ගුරුවරයෙක් ඒක දැකලා දාදු කැටය ගෙනාපු මට හොඳටම ගැහුවා. ඔළුව බිත්තියෙ වැදුණා. ඊට පස්සේ මාව විදුහල්පති ළඟට අරන් ගිහින් මට වේවැලක් කැඩෙනකම් ගැහුවා. එතකොට මම හය වසරේ. මේ කිසිම දෙයක් මම ගෙදර ඇවිත් කිව්වෙ නෑ. ඒත් පිට වේවැල් පාරට පිපිරිලා තියෙනවා අම්මා දැකලා බේත් දාන්න මාව අරන් ගියා හොස්පිට්ල් එකට. එතනදි මාව ඇඩ්මිට් කරගෙන කරපු පරීක්ෂණයක ප්‍රතිඵලයක් විදිහට මට පහර දුන් ගුරුවරයා පාසලෙන් මාරු කළා. එතන ඉඳලා මටත් මල්ලිටත් ඉස්කෝලෙ යන එක ලොකු ගැටලුවක් වුණා. ඒක ප්‍රශ්නයක්ම වුණේ පාසලේ උත්සවයක් දවසක මගෙ බයිසිකලේ නැතිවෙලා ගිහින් පැමිණිල්ලක් කරද්දි. පාසලෙන් මට කිව්වා ගිහින් පොලිසියට කියන්න කියලා. මම ගෙදර ඇවිත් කිව්වා අනේ තාත්තෙ මට ඉස්කෝලෙ යන්න බෑ කියලා. 

තාත්තා මේ කතාව කියලා අපිව රඹෑව මහා විද්‍යාලයට දාන්න උත්සාහ කළා. ඒත් ගැමුණු විද්‍යාලයෙන් මටයි මල්ලිටයි අස්වීම දුන්නේ මම 5 පන්තියෙ සහ මල්ලි 2 පන්තියෙ කියලා. මේ වෙනකොට මට රඹෑව ඉස්කෝලෙට යන්නත් බෑ. ගැමුණු විද්‍යාලයෙන් ඇවිත් මේ වැරැද්ද නිවැරදි කරන්නෙත් නෑ. ඒක මට හදාගන්න පුළුවන් වුණේ ගෙවල් ළඟ ගුරුවරයකුට බැගෑපත් වෙලා.

රඹෑව ඉස්කෝලෙදී මම ගොඩාක් හොඳින් අධ්‍යාපන කටයුතු කළා. ඒත් මට සාමාන්‍ය පෙළ විභාගයට තිබුණේ A1, B3, C6 යි. ගුරුවරුවත් අම්මයි තාත්තයිවත් මම විද්‍යා විෂයයන් උසස්පෙළට තෝර ගන්නවට අකමැති වුණේ කරගන්න බැරිවෙයි කියන බයට. ඒත් මම කිව්වා අනේ මට විභාගෙ කරන්න දෙන්න. මට පුළුවන් කියලා. ඒත් දැන් මට උසස් පෙළ ජීව විද්‍යාව හදාරන්න පහසුකම් තියන ඉස්කෝලයක් ඕන. අපිට ළඟම එහෙම ඉස්කෝලයක් විදියට තිබුණෙ අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලය. ගමේ ඉඳන් ඉස්කෝලෙට කිලෝමීටර් 30කට වැඩියි. මේ 2006 අවුරුද්ද. යුද්ධෙ කාලේ. මේ කිලෝමීටර් 30ට චෙක් පොයින්ට් 3ක් තියනවා. පැය එක හමාරක් විතර යනවා මේ දුර එන්න. ඒත් මට වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයට එන්නම ඕන වුණා. මම ඉල්ලුම් පත්‍රයක් දැම්මා. ඉන්ට්විව් කතා කරලා කිව්වා ඔයාලව තෝර ගත්තා; පස්සෙ දන්වනම් කියලා. මමයි යාළුවෙකුයි තමයි ගියේ. කොහොමහරි මගේ යාළුවට ඉස්කෝලෙට කැඳවීමක් ඇවිත්; මට කැඳවීමක් නෑ. මම තාත්තා එක්ක ඉස්කෝලෙට ගියහම කිව්වා කරන්න දෙයක් නෑ. අපි ලියුම එව්වා. ඒත් අපි බලමු. හෙට ඩෙස්ක් එකක් සහ පුටුවක් අරන් ඉස්කෝලෙට එන්න කියලා.

පහුවදා ගියාම කිව්වා දැන් කරන්න දෙයක් නෑ. පන්තිවල ඉඩ නෑ. ආපහු යන්න කියලා. ඩෙස් එකක් පුටුවක් නැති ළමයකුට මගේ ඩෙස්ක් එකයි පුටුවයි දීලා ආර්ට් කරන ඉස්කෝලයක් හොයා ගන්නවා කියලා හිතන් ඉස්කෝලෙන් ආවා. එනකොට ඉස්කෝලේ සිකියුරිටි මාමා කිව්වා මහ ඇමැති ගාවට ගිහින් ලියුමක් ගේන්න. ඒ ලියුමට ළමයා ගන්නවා කියලා.

කිසිම දැන හැඳුනුම්කමක් නැති වුනාට මමයි තාත්තයි මහ ඇමැති කාර්යාලයට ගියා. ඇමැතිවරයා හිටියෙ නෑ. ඇමැතිවරයාගේ ලේකම් කෙනෙක් හිටියෙ. අපි අපේ කතාව කිව්වම ඒ ලේකම්වරයා මගෙ සහතික බලලා කිව්වා මේ ළමය දක්ෂ කෙනෙක් වග පේනවා. මම ලියුමක් දෙන්නම්. ඒ ලියුමට ළමයා ගනී ද දන්නේ නෑ. උත්සාහ කරලා බලන්න කියලා. ඇත්තටම ඉඩ නෑ කියපු ඉස්කෝලේ ලේකම්තුමාගෙ ලියුමට ඉඩ ලැබුණා. පහුවදා ඉඳන් මම ඉස්කෝලෙ ගියා. පස්සේ කාලෙක අම්මා තැපැල් කන්තෝරුවෙන් අහලා තිබුණා ඇත්තටම පුතාට හරිශ්චන්ද්‍ර ඉස්කෝලෙන් ලියුමක් ආවෙ නැද්ද කියලා. තැපැල් කන්තෝරුවෙන් කියලා තිබුණා “අනේ ආවනෙ අක්කෙ... ඔයාල හිටපු නැති නිසා ඒක අල්ලපු ගෙදර අක්කලට දීලා ගියා ඔයාලට දෙන්න කියලා”.

“අපේ ඥාතින් අපට එහෙම උදව් ගොඩක් මට කළා...” වෛද්‍ය ගයාන් එක්වරම සිනාසෙමින් කීවේය. ඔහු සමඟ සිනාසුණ ද එහි සිනාවෙන් ඔබ්බට ගිය උත්ප්‍රාසයේ ඇති මනුෂ්‍ය හැසිරීම්වල කටුක නිර්දය ස්වරූපය මා පෙළා දැමුවේය. මොහෙතක නිහැඬියාවකින් යළි වෛද්‍ය ගයාන් සිය කතාව ඇරැඹුවේය. අපි බරපතළම අර්බුදයකට ගිය වකවානුව තමයි මම උසස්පෙළ පළමුවර ලිව්ව 2008 අවුරුද්ද. විභාගය ලියන්න මාස තුනකට කලින් තාත්තා වැටිලා එක්තැන් වුණා. තාත්තා එක්තැන් වීමත් එක්කම තනිකරම බර ආවේ අම්මට. ඇය කුලී වැඩට ගියා. ඒත් කවදාවත් අපට නැති බැරිකම කියලා කිසිම අඩුපාඩුවක් කළේ නෑ.

විභාගය ලිව්වට පස්සෙ මට තේරුණා ලකුණු මදි උසස් ප්‍රතිඵලයක් ගන්න කියලා. දෙවැනි පාර විභාගය කරන්නත් ඕන. ගෙදර ප්‍රශ්නවලට උපකාර කරන්නත් ඕන. මම ගියා මිහින්තලේ බඩඉරිඟු මිලදී අරන් ගබඩා කරන ආයතනයක කුලී වැඩ කරන්න. මට තිබුණේ මුට්ට කරගහන්න. ගොවීන්ගෙන් ගන්න බඩඉරිඟු ගෝනි ගබඩාවට ගිහින් තැන්පත් කරන එක තමයි රාජකාරිය. මම යනකොට පොතක් අරන් ගියා. දවල්ට කෑම විවේකය ආවට පස්සේ මම කළේ පාඩම් කරන එක. 8 ඉඳන් හවස 05 වෙනකම් වැඩ. දවසකට කුලිය 450යි.

මේ අතරෙ උසස්පෙළ පන්ති පටන් ගත්තා. දැන් දවස් තුනක් පන්ති යන්න ඕන. ගිහින් අපේ සුපවයිසර්ගෙන් ඇහුවා මට පන්ති යන්න දවස් 03ක් නිවාඩු ගන්න පුළුවන් ද කියලා. එයා කිසිම පැකිළීමක් නැතිව මට අවස්ථාව දුන්නා. මම දවස් තුනක් පන්ති යනවා. දවස් හතරක් ගිහින් බඩඉරිඟු කොම්පැනියෙ මුට්ට කරගහනවා.

මේ අතරෙ ප්‍රතිඵල ආවා. මට සී 2යි. එස් 1යි. මට තිබුණෙ අනුරාධපුරයෙන් 202 රෑන්ක් එක. එතකොටයි මම හිතුවේ දෙවැනි පාර විභාගය කරලා‍ කොහොමහරි මෙඩිසින් යනන්න. පළවෙනි පාර මොනවා හරි විෂය ධාරාවක් හදාරන්න කැම්පස් යන්න කියලයි ගුරුවරු සහ අම්මයි තාත්තයි යෝජනා කළෙ. ඒත මම කල්පනා කළා දෙවැනිපාර කොහොමින් හරි මෙඩිසින් යන්න කියලා.

මාස හයක් මුට්ට කරගහන වැඩේ අත්හැරියා. ඒ වෙනකොට තාත්තාත් සනීප වෙලා රස්සාව කරන්න පටන් අරන්. මම පුළුවන් උපරිමයෙන් පාඩම් වැඩ කළා. රසායන විද්‍යාව ඉගැන්නුවෙ කපිල සිරිවර්ධන සර්. විභාගය කරලා මම සර්ගේ ගෙදර නැවතිලා සර්ට ටියුට් හදන්න, සහ වෙනත් වැඩ වලට උදව් වුණා. දෙවැනි පාර ප්‍රතිඵල ආවා. A 1යි, B 1යි C 1යි. මම අනුරාධපුරයෙන් 49 රෑන්ක් එක. ඒත් වෛද්‍ය විද්‍යාලයට ගත්තේ 41 වෙනකම්. කපිල සර් මගෙන් ඇහුවා චතුරංග මොකද දැන් කරන්නෙ කියලා. මම කිව්වා සර් මම තුන්වැනි පාර විභාගෙ කරනවා කියලා. සර් කිව්වා පුතේ ඔයාට රෑන්ක් එකක් තියෙන නිසා ඒක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. හොඳට කල්පනා කරලා උපරිම කැප කිරීම කරන්න වෙනවා. පුතා පහසු තැනකට පාඩම් කරන්න කියලා. මට පහසුම තැන ගෙදර. අම්මා ළඟ. තුන්වැනි පාරත් විභාගය කරන්න හිතාගෙන නොහිටපු මට දැන් තියෙන්නෙ මාස 6යි. මම පුළුවන් උපරිමයෙන් විභාගයට ලෑස්ති වුණා. මට කපිල සර් සල්ලි ගන්නේ නැතිව ඉගැන්නුවා. ජීව විද්‍යාව භෞතික විද්‍යාව දෙකටත් ෆ්‍රී කාර්ඩ් දෙකක් සර් මැදිහත් වෙලා අරන් දුන්නා. තුන්වෙනි පාර විභාගය කළාට පස්සේ මම පොඩි ගෲප් ක්ලාස් කරන්න ගත්තා. විෂය රසායන විද්‍යාව. මට ඒකෙන් පොඩි මුදලක් ලැබුණා. ඒ වගේම මම උගන්වන්න ආසා කළා. මා ළඟට එන ළමයි සියයට අසූවකට වඩා වැඩියෙන් විෂය සමත් කරලා දෙන්න මට පුළුවන් වුණා.

මේ අතරෙ මම ඉහළින්ම විභාගය සමත් වෙනවා. A දෙකයි. C එකයි. ඉසෙඩ් ස්කෝර් එක ගොඩාක් වැඩියි. මාව රජරට වෛද්‍ය විද්‍යාලයට තේරෙන්නේ ටියුෂන් පන්ති කරගෙන යන අතරේ. ඒ කියන්නේ 2011 දී. ඒ වෙනකොට ගුරුවරයෙක් විදිහට මට හොඳ නමක් තිබුණා. මට අවශ්‍ය වුණේ මම වගේ අධ්‍යාපනය ලබන්න අපහසු අයට අඩු මුදලට පන්තියක් කරන්න. ටියුෂන් පන්තිත් කරගෙන විශ්විද්‍යාලයේ වැඩ කරන ගමන් අමතර වැඩවලට පුළුවන් හැම සහයෝගයක්ම දෙනවා. මටයි තව යාළුවකුටයි විතරයි හොඳ අත් අකුරු තිබුණේ බැනර් කටවුට් අඳින්න. සමහර දවස්වල අපි රෑ එළිවෙනකම් කටවුට් අඳිනවා.

කොහොම වුනත් ටියුෂන් එක්ක ෆැකල්ටි එකේ අධ්‍යයන කටයුතු කරන්න අමාරුයි. ගුරුවරුන්ගෙන් හොඳටම බැණුම්. ප්‍රධාන විෂයයන් හතර හැරෙන්න අනෙක් විෂයයන් 11ක් ඒ වෙනකොට රිපීට් වෙලා හිටියේ. ඒත් මට මං ගැන විශ්වාසය තියලා එන ළමයින්ගේ පන්ති එකපාර නවත්වන්නත් බෑ. මම ආපු ළමයින්ගේ වැඩ ඉවර කරලා ටියුෂන් නවත්වනවා.

ඒ වෙනකොට මගේ බැජ් මිස් වෙලා. ඒත් මගෙන් අධ්‍යාපනය ලබපු සමාජයක් හැදිලා තිබුණා ඒ වෙනකොට. මගෙන් ඉගෙන ගත්තු ළමයි මට පහළ බැච්වල වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙලා හිටියා. ටියුෂන් නවත්වලා රිපීට් සබ්ජෙක්ට් සම්පූර්ණ කරගෙන 2020 දී ෆයිනල් එග්සෑම් කළා. එක පාරෙන්ම විභාගය සමත්. දැන් මට අවුරුදු 34යි. 2021 දී සීමාවාසික පුහුණුවට පටන් ගන්නවා. 2022 දී අනුරාධපුර රෝහලේම වෛද්‍යවරයෙක් ලෙස පත්වීම් ලබනවා.”

ඒ අවස්ථාව ඔබට දැනුණෙ කොහොම ද? මම ඔහුගෙන් විමසුවෙමි.

“අපි වගේ අන්ත දුගී පවුල්වලින් සමාජයට එන මිනිස්සුන්ට අවශ්‍ය වෙන ප්‍රධානම කාරණාවක් තමයි සමාජයේ තමන් කවුද කියන පිළිගැනීමක් සහිත අනන්‍යතාවක් ඇති කරගැනීම. අපි අධ්‍යාපන ඉලක්ක ජයග්‍රහණය කරන්න හදන ප්‍රධානම හේතුවක් තමයි එක. මහා කනදරාවේ මේසන් බාස් ගාමිණීගේ පුතා දොස්තර මහත්තයෙක් කියන එක අපේ තාත්තට අම්මට දරාගන්න බැරි තරම් සතුටක් ගෙනාවා. ඒක මට සතුටක් වුණා. මම මෙච්චරකල් රෝහලකට ගියේ මගේ වැඩක් කරගන්න. බේත් ගන්න. එක්කො ඉගෙනගන්න. දැන් යන්නේ මිනිස්සුන්ට වැඩ කරන්න නේද කියන එක මට මහා ආශ්වාදයක්. මම මේ වැඩ කරන්න පටන් ගන්නේ මගේම පන්තියෙ මිනිස්සුන්ට කියන එක මට අසීමිත හැඟීමක් ගෙනාවා

වෛද්‍යවරයෙක් ලෙස ජීවිතය පවත්වා ගැනීමට සෑම වෛද්‍යවරයෙක්ම අතිරේක ආදායම් මාර්ග සොයති. අයෙක් ව්‍යාපාර කරති. අයෙක් පෞද්ගලික වෛද්‍ය සේවා පවත්වති. අයෙක් වෛද්‍ය විද්‍යාවේ දැනුම තීව්‍ර කරගෙන විශේෂඥ තත්ත්වයක් ලබා ගැනීමට කැපවෙති. එහෙත් වෛද්‍ය ගයාන් සෙනවිරත්න වෛද්‍යවරයෙක් ලෙස සිය තෘප්තිමත් අතිරේක කාලය ගුරු වෘත්තිය සඳහා තෝරාගෙන හිඳී.

මට ඒක හරියටම කරන්න පුළුවන් කියලා මා අත්දැකීමෙන් දන්නවා. ඒ වගේම දුප්පත් දරුවකුට අධ්‍යාපන අවශ්‍යතාව සාර්ථක කරදීමේ තෘප්තිය මට ලෙඩෙක් සුවපත් කරලා ලබන තෘප්තිය වගේ එකක්. මේක මම තීන්දු කළේ මගේ බිරිය දීපා එක්ක කතා කරලා. ඇය අනුරාධපුර රෝහලේම හෙදියක්. දැන් මම දරුවො දෙන්නෙකුගේ තාත්තා කෙනෙක්. යශේන් අනුහස්. තිමේන් සස්විදු පැටවු දෙන්න. ඔවුන් එක්ක හිඳිමින් ජීවිතයේ හොඳම කාලය ගෙවීමයි මගේ බලාපොරොත්තුව” මේ තරුණ වෛද්‍යවරයාගෙන් අවසාන වශයෙන් මෙසේ ඇසුවෙමි.

ඔබට මේ සමාජයට කියන්න තියෙන වැදගත්ම දේ මොකක් ද? ඔහු මඳක් කල්පනා කර මේ කතාව කීවේය.

“ 2011 දී මම වෛද්‍යවරයකුගේ දුවකට පන්තියක් කළා. වෛද්‍යවරයා මාව බස් නැවතුමෙන් අරන් පන්තිය ඉවර වුණාම මාව නැවත බස් නැවතුමට ඇරලවනවා. එක දවසක් ඒ වෛද්‍යවරයා මගෙන් ඇහුවා “ගයාන්ගෙන් අපේ ගෙදරට යන පාර ඇහු­‍වොත් කොහොම ද කියන්නෙ.”

“මම කියනවා ඩොක්ටර් සේමසිංහ මහත්තයලගේ ගෙවල් ළඟ ඉඳන් පොඩ්ඩක් වමට කියලා”

“ඒත් මම කැමතියි සේමසිංහගෙ ගෙදරට යන්නෙ කොහොමද ඇහුවොත් ඩොක්ටර් අබේරත්නගේ ගේ ළඟින් යන්න කියලා කියනවට. අද මගේ දුව පාරෙ යනකොට කියන්නේ අර යන්නෙ ඩොක්ටර් අබේරත්නගෙ දුව ප්‍රියදර්ශනී කියලා. ඒත් මම කැමතියි මම නාකි වෙලා පාරෙ යනකොට ඔය යන්නේ ප්‍රියදර්ශනීගේ තාත්තා කියනවට”

හැම අම්මෙක්ම තාත්තෙක්ම කැමතියි තමන්ගෙ දරුවා තමන්ට වඩා උඩ තැනකට යනවට. අම්මලා තාත්තලා එහෙමයි. ඉස්සර අපේ ගෙදරට කිව්වේ මේසන් වැඩ කරන ගාමිණිගේ ගෙදර කියලා. ඒත් දැන්?

ආඩම්බර වෙන්න. අම්මගේ තාත්තගෙ නම කිව්වට පස්සේ ඔබට ගෞරව කරන දවසට නෙමෙයි. ඔබේ නම කිව්වම මවුපියන්ට ගෞරව කරන දවසට.” මම මොහොතකට ගොළු වුණෙමි.

Comments