කොළඹ තෙත්බිම්වල චමත්කාරයේ එකතුව | සිළුමිණ

කොළඹ තෙත්බිම්වල චමත්කාරයේ එකතුව

ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්යයේ විස්මිත පාරාදීසයක් බව නොදන්නෝ කවුද? මුහුදු තීර, වන ගොමු සහ ස්වාභාවික වන උයන් සහ ඇළ දොළ ගංගා සහ දිය ඇළි ද ඒ විස්මිත පාරාදීසයේ කොටස්කරුවන්ය. තෙත්බිම් ද ඒ විස්මිත පාරාදීසයේ කොටසක් යැයි කිවහොත් ඇතැම් විට කෙනෙකුට කුතූහලයක් දැනෙනු ඇත.

තෙත්බිම් යනු වසර පුරා හෝ වසරේ කිසියම් කාල සීමාවක් ජලබරිතව පවත්නා බිම්ය. එවැනි තෙත් බිමක් පිළිබඳ බොහෝ දෙනකුගේ සිතට නැඟෙන්නේ අප්‍රසන්න හැඟීමක් මිස එය සුන්දර සහ වටිනා භූමියක් යන්න නොවේ. එහෙත් ඒ හැඟීම වෙනස් කර තෙත් බිම් යනු විවිධ සියොතුන් සහ මලින් පිරි සුන්දර හරිත පාරාදීසයක් බව දැන් බොහෝ දෙනා තේරුම් ගනිමින් සිටී. ආදී මානවයා පවා තෙත්බිම්වල වටිනාකම හඳුනා ගෙන සිටි බව සනාථ වන්නේ ඔවුහු සිය ජනාවාස තනා ගැනීමට ගංගා ආශ්‍රිත පහත් බිම් තෝරාගත් නිසාය.තෙත්බිම්වලින් පරිසරයට ඉටුවන සේවය ඉස්මතු කරදීමට පරිසරවේදීන් කර ඇති සේවය ඉමහත්ය. බොහෝ ජීවීන්ට වාසස්ථාන සපයන තෙත් බිම් බොහෝ ජීවී විශේෂවලට අභිජනන බිම් ද වේ. බොහෝ සංචාරක කුරුල්ලන්ට ගිමන්හලක් මෙන්ම ගොදුරු බිමක් ද වන්නේ තෙත්බිම්ය. ගංගා පිටාර ගලන විට ජලය උරා ගැනීමට ද ගංවතුරේ වේගය බාල කිරීමට ද තෙත්බිම්වලට හැකියාව ඇත. ගංවතුර පාලනය කර පරිසරයට දේපළවලට හා ජීවිතවලට වන හානිය අවම කිරීමට ද විෂ සහිත පරිසර දූෂක හා උරාගැනීමට ද තෙත්බිම්වලින් ඉටු වන්නේ විසල් සේවයකි.

ශ්‍රී ලංකාවේ සමස්ත ගොඩබිම් ප්‍රදේශවල ජීවත්වන පෘෂ්ඨවංශීය සත්ත්වයන් එනම් මාළුවන්, උභය ජීවීන් සර්පයන්, කුරුල්ලන් හා ක්ෂීරපායි ආදී විශේෂ සංඛ්‍යාවෙන් 30%ක් පමණ තෙත්බිම් මත යැපෙන බවත් මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන්ගෙන් 50%ක් ඍජුවම තෙත්බිම් මත යැපෙන බවත් අනාවරණය වී ඇත. ඊට අමතරව දේශීය වශයෙන් තර්ජනයට ලක්වූ පෘෂ්ඨවංශීය සත්ත්ව විශේෂවලින් 32%කගේ පමණ පැවැත්ම තෙත්බිම් පරිසර පද්ධතියේ සුරක්ෂිත භාවය මත රඳා පවතින බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ තෙත්බිම් අතරෙන් අගනුවර හදවත වැනි කොළඹ තෙත් බිම්වලට විශේෂ ස්ථානයක් හිමි වේ.

වසර 1986දී ජාතික තෙත්බිම් නාමාවලිය සකස් කිරීමේදී තෙත්බිම් පිළිබඳ රැම්සා සම්මුතියේ නිර්වචනය මත පදනම්ව, ශ්‍රී ලංකාව දිවයිනක් ලෙස "එක් තෙත් බිමක්" ලෙස පිළිගැනිණි. මෙයට හේතුව බොහෝ ගංගා පද්ධති, වියළි කලාපීය භූ දර්ශනයේ කොටසක් වන මිනිසා විසින් සාදන ලද ජල කඳන් (වැව් / ජලාශ), පහතරට තෙත් කලාපයේ බොහෝ තෙත්බිම්, කලපු, වගුරු බිම්, විල්ලු පද්ධති යනාදියයි. පාර්ලිමේන්තුව කොළඹ නගරයෙන් බැහැරව වත්මන් ශ්‍රී ජයවර්ධනපුරයට ගෙන යෑමට තීරණය කිරීම තෙත් බිම්වල වැදගත්කම පිළිබඳ සුවිශේෂී කරුණක් විය. පැරණි පාර්ලිමේන්තුව කෘත්‍රිම බේරේ වැවට නුදුරින් පිහිටා තිබූ අතර, ඒ ආශ්‍රිත ඉඩම් මූලික වශයෙන් වගුරු බිම්වලින් පිරී තිබුණි. නව පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශය ශ්‍රී ජයවර්ධනපුර අභයභූමිය ලෙස වනජීවී දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර, එමඟින් පාර්ලිමේන්තුව අවට පහත් තෙත්බිම් විශාල ප්‍රමාණයකට පිළිගැනීමක් සහ යම් ආරක්ෂාවක් ලබා දී ඇත.

1994 ජූනි 05 වැනිදා පාර්ලිමේන්තුව ගංවතුරට යටවීම නිසා ආකල්පවල වෙනසක් ඇති වූ අතර, තෙත් බිම අවම වශයෙන් “ගංවතුර අවම කිරීමේ” උපාය මාර්ගයක් ලෙස තබා ගැනීමේ වැදගත්කම හඳුනා ගැණින. තෙත් බිමේ බොහෝ වෙනස්කම් සිදු කළද 2012 දී පාර්ලිමේන්තුව දෙවැනි වරටත් ජලයෙන් යට වීමත් සමඟ තෙත්බිම් කළමනාකරණය කිරීමේ ප්‍රවණතාව ඇති කළේය. මහ කොළඹ තෙත්බිම් වටා ඇති සැලකිය යුතු වෙනස්කම් ඇතිවූයේ ඉන් පසුවය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පහත් බිම් ගොඩකිරීමේ සහ සංවර්ධන අධිකාරිය තෙත් බිම් සංරක්‍ෂණය, ප්‍රතිසංස්කරණය, ආරක්‍ෂාව සහ උපයෝගිතා ප්‍රවේශ සඳහා ප්‍රමුඛත්වය ගත්තේය. 2018 වසරේදී කොළඹ නගරය රැම්සා තෙත්බිම් නගරයක් ලෙස තෝරා ගැනීමට හේතු වූයේ ඒ ප්‍රමුඛත්වයයි.

කොළඹ තෙත්බිම් ගැන අප බොහෝ දෙනකු නොදන්නා කරුණු රැසක් විමසීමට අවස්ථාව සැලසුණේ අගෝස්තු 26 වැනි සෙනසුරාදා එළිදකින Metro Colombo Wetlands නම් කෘතිය හේතුවෙනි. තෙත්බිම් ආශ්‍රිත ශාක හා සතුන් හඳුනා ගැනීම සඳහා ප්‍රාථමික අත්පොතක් බඳු මේ කෘතිය තෙත්බිම්වල නිස්කලංක භූ දර්ශන සහ විචිත්‍රවත් වන ජීවීන්ගේ විචිත්‍රවත් ඡායාරූපවලින් සමන්විත ඒ පිළිබඳ ඉතා සූක්ෂ්මව පර්යේෂණ කරන ලද තොරතුරුවලින් සමන්විතය. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂී විද්‍යා සමූහය (FOGSL) සාමූහික ප්‍රයත්නයක් වන මේ ග්‍රන්ථය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂී විද්‍යා සමූහයේ අනුශාසක විද්‍යා ජෝති සම්මානිත මහාචාර්ය සරත් කොටගම පවසන්නේ තෙත්බිම්වල වටිනාකම හඳුනා ගැනීමටත් අනාගත පරපුරට ඒවා සංරක්ෂණය කිරීමටත් මෙම කෘතිය උපකාරයක් වනු ඇති බවයි. එමෙන්ම මෙම කෘතිය සකස්වන්නේ 2004 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා සමූහයේ සහයෝගිතාවයෙන් පාසලේ සිසුන් සමඟ පැවැත්වූ පළමු තලංගම තෙත්බිම් පාගමනේදී හඳුනාගත් අවශ්‍යතාවක් ලෙසිනි. ක්ෂේත්‍රයේ දිගුකාලීන අත්දැකීම් සහිත ප්‍රවීණයන් පිරිසක් විසින් රචනා කර ඇති Metro Colombo Wetlands කෘතිය සොබාදහමට ළැදි, ඒ පිළිබඳ පර්යේෂණ කරන සහ නාගරික පරිසර පද්ධතිවල සියුම් සමතුලිතතාව පිළිබඳ කුතූහලයෙන් සිටින ඕනෑම අයකුගේ පරිහරණය සඳහා සුදුසුය.

කොන්ක්‍රීට් වනාන්තරවලින් ස්වාභාවික පරිසරයේ අපූර්වත්වය යටපත් වන කාලයක Metro Colombo Wetlands ග්‍රන්ථය මිනිසා සහ පරිසරය අතර සහජීවනය ඇති කිරීමේ අතරමැදියකු ලෙස ක්‍රියා කරනවා පමණක් නොව ඒ චමත්කාරය මනසින් විඳ ගන්නට ද ඔබට ආරාධනා කරයි.

Comments