සඳු මත ඇති ස්වභාවික සම්පත් අත්පත් කර ගැනීම සඳහා ලොව බලවත් රටවල් අතර පවතින භූදේශපාලනික තරගයේ පළමු වෙඩිල්ල පත්තු කරමින් චන්ද්‍රයාන් - 3 ඉන්දීය රොබෝ ගවේෂණ යානය අගෝස්තු මස 23 වන දින සඳුගේ දක්ෂිණ ධ්‍රැවය මත ගොඩබැසීමට සමත් විය.
මානව ජනගහනය කෝටි 800 ඉක්මවා ගොස් ඇත. සෑම රටකටම පාහේ ස්වභාවික සම්පත් අවශ්‍යතාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතී. සඳු මත ජලය ඇති බවට මෑතකදී අනාවරණය වීමත්, බලශක්ති ක්ෂේත්රයට වැදගත් වන හීලියම් - 3 නැමැති දුර්ලභ මූලද්‍රව්‍ය සහ දුලබ ඛනිජ ලෝහ (rare earth minerals) සඳු මත ඇති බැව් සොයා ගැනීමත් අභ්‍යාවකාශය හා බැඳුණු භූදේශපාලනික තරගකාරීත්වය වර්ධනය වීමට බලපා තිබේ. විද්ත් භාණ්ඩ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන ලොව ඇති දුලබ ඛනිජ ලෝහවලින් 90%ක් පමණ චීනය විසින් නිපදවන තත්ත්වයක් තුළ සඳුගෙන් අමුද්‍රව්‍ය සම්පත් ලබාගන්නා පළමු රටට තීරණාත්මක අභ්‍යවකාශ බලයක් හිමිවනු නිසැකය.
“අභ්‍යාවකාශය යනු ජාතීන් අතර සාමය සහ සුහදත්වය පිළිබඳ තෝතැන්නක් කියල බොහෝදෙනා හිතනවා. නමුත් ගැටලුව නම් සඳු මත ඇති සම්පත් භාවිත කිරීමේ අයිතිය ඇත්තේ කාටද යන්න නියාමනය කිරීමට අදාළ නීති කිසිවක් නැහැ. ලොව පුරා අභ්‍යාවකාශ ඒජන්සි ගණනාවක් සහ පෞද්ගලික අංශයත් ඉදිරි වසර පහක පමණ කාලය තුළ සඳ මතට ගොඩබැසීමට සැලසුම් කර තිබෙනවා”, අමෙරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් සහ ස්මිත්සෝනියන් තාරකා භෞතික විද්‍යා මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාඥ මාර්ටින් එල්විස් පවසයි.
ජලය සහ යකඩ වැනි අමුද්‍රව්‍ය මෙහිලා අතිශයින් වැදගත්. මක්නිසාද යත් සඳු මත සිට ඊට ඔබ්බෙන් ඇති ආකාශ වස්තු ගවේෂණයෙහිලා එම සම්පත් උපයෝගී කර ගත හැකි වීමයි. “අභ්‍යාවකාශ ගවේෂණය සඳහා පෘථිවියේ සිට අමුද්‍රව්‍ය සඳු කරා රැගෙන ඒමට වඩා සඳුගෙන් ඒවා ලබා ගැනීම පහසුයි. සඳු මත ඉදිකිරීම් සිදු කිරීමට යකඩ අත්‍යාවශ්‍යයයි; එහෙත්, පෘථිවියේ සිට සඳු කරා යකඩ රැගෙන ඒම විහිලුවක්”, එල්විස් පවසයි. සඳුගේ සිතියම දෙස බැලූ විට මිනිසාට වැදගත් වන අමුද්‍රව්‍ය සඳුගේ පෘෂ්ඨය මත එක හා සමානව පැතිර ඇති බවක් නොපෙනෙන බැව් පවසන එල්විස් ඒ නිසාම ඇතැම් අමුද්‍රව්‍ය හා සම්බන්ධව ගැටුම් ඇතිවීමේ අවදානමක් පවතින බැව් පෙන්වා දෙයි.
ඉන්දියානු චන්ද්‍ර ගවේෂණයේ මූලික ඉලක්කය අනාගත ගගනගාමීන්ට චන්ද්‍රයා මත ජීවත් වීමට සුදුසු පරිසරයක් පවතින සඳුගේ දක්ෂිණ ධ්‍රැවය ගවේෂණය කිරීමයි. මෙම කලාපය ආශ්‍රිතව මිදුණු ජලය විශාල වශයෙන් පැවතීමට ඉඩ ඇතැයි අනුමාන කෙරේ. රොකට් ඉන්ධන ලෙස භාවිතයට යොදා ගත හැකි එවැනි අමුද්‍රව්‍ය සම්පත් අත්පත් කර ගැනීම සඳු මත කඳවුරු ඉදිකිරීමෙහිලා බෙහෙවින් ප්‍රයෝජනවත් ය. අභ්‍යාවකාශ ආයතන ගණනාවක ඉදිරි දශක කිහිපය තුළ වැදගත්ම ඉලක්කය මෙයයි.
අමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය ඉදිරි වසරේදී සඳුගේ දක්ෂිණ ධ්‍රැවය කරා රෝවරයක් යැවීමට සැලසුම් කර ඇති අතර, ඇස්ට්රොබෝටික් ටෙක්නොලොජි යන අමෙරිකානු සමාගම ද ආර්ටිමිස් 3 ගවේෂණය යටතේ ගගනගාමීන් එහි ගොඩබැස්සවීමට පෙර එම කලාපයේ ජලය පිළිබඳ ගවේෂණයක් සිදු කිරීමට අපේක්ෂා කරයි.
මේ දශකය අවසානයට පෙර සඳුගේ දක්ෂිණ ධ්‍රැවය කරා ගගනගාමීන් යැවීමට චීනය ද සූදානමින් සිටී. ඒ අතර රුසියාව සඳු මත ගොඩබැසීමට දරන ලද ප්රයත්නය ඉකුත් සතියේ අසාර්ථක විය. චන්ද්‍ර ගවේෂණයට ආධුනිකයකු වන ඉන්දියාව දක්ෂිණ ධ්‍රැවයට කල්තියා ප්රවිශ්ට වීම තරමක් මවිතය දනවන සුළු වුව ද සඳු මත ජලය සහ අනෙකුත් ස්වභාවික සම්පත් හඹායෑමේ තරගයේ පෙරමුණ ගැනීමට දකුණු ආසියාවේ බලවතාට හැකිවී තිබේ.
යට කී පරිදි සඳු මත සම්පත් භාවිතයට අදාළ නිශ්චිත නීති නොපැවතිය ද අභ්‍යාවකාශ ගවේෂණයට අදාළ යම් යම් සම්මුති පවතී. 1967 පිටත අභ්‍යාවකාශ සම්මුතිය මඟින් අභ්‍යාවකාශ සම්පත් ජාතික වශයෙන් අත්පත් කර ගැනීම තහනම් කෙරේ. 2020 ආර්ටිමින් ගිවිසුමට අනුව අභ්‍යාවකාශ ගවේෂණ පිළිබඳ සෙසු රටවලට දැනුම් දීමට සහ සම්බන්ධීකරණයට අදාළ වගකීමක් සෑම රටකටම පැවරී තිබේ. කෙසේ වෙතත්, ගැටලුව නම් අභ්‍යාවකාශයේ කිසිදු කොටසක් භූදේශපාලනික තරගකාරීත්වයෙන් ආරක්ෂා කර ගැනීමට තරම් මේ කිසිවක් ශක්තිමත් නොවීමයි.
•තක්ෂින් ෂිනවත්ගේ දේශපාලන ආගමනය
වසර පහළොවක කාලයක් රටින් පළා ගොස් සැඟව සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත් ඉකුත් සතියේ යළි තායිලන්තයට පැමිණියේය. ප්‍රකට දේශපාලන පවුලකින් පැවත එන, මැන්චෙස්ටර් සිටි පාපන්දු කණ්ඩායමේ හිටපු හිමිකරු වන තක්ෂින් 2001 වසරේ සිට 2006 වසරේ නිව්යොර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සමුළුවකට සහභාගී වෙමින් සිටියදී සිදු වූ හමුදා කුමන්ත්‍රණයක් මඟින් බලයෙන් පහ කරන තෙක් තායිලන්තයේ අගමැතිවරයා වශයෙන් කටයුතු කළේ ය.
අඟහරුවාදා දිනයේ තායිලන්තයට පැමිණි විගස අත්අඩංගුවට ගැනුණු හිටපු අගමැතිවරයාට වසර 8 ක කාලයක සිර දඬුවම් නියම කිරීමට තායිලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. කෙසේ වෙතත්, තක්ෂින් එතරම් දිගු කලක් සිර දඬුවම් විඳී දැයි බොහෝ විශ්ලේෂකයෝ ප්‍රශ්න කරති.
තක්ෂින්ගේ ආගමනය සිදුවන්නේ, තායිලන්ත මහමැතිවරණයෙන් මාස තුනක් ඉකුත්ව පැවතිය ද, නව අගමැතිවරයකු තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන අර්බුදයක් උද්ගතව ඇති අවස්ථාවක වීම කැපී පෙනේ.
•ඉරානය ඊශ්‍රායලයට පහර දිය හැකි ඩ්‍රෝන යානයක් එළි දක්වයි
ඉරානය ඊශ්‍රායලයට පහරදීමේ හැකියාවක් සහිත නවතම ඩ්‍රෝන යානයක් නිපදවයි. මොහාජර් - 10 නැමැති නවතම ඩ්‍රෝන යානය ඉරානයේ ආරක්ෂක කර්මාන්ත ප්‍රදර්ශනයේදී මුල්වරට ප්‍රදර්ශනය කෙරිණ. කිලෝ ග්‍රෑම් 300 ක් බරැති යුද ශීර්ෂ රැගෙන පැයට කිලෝ මීටර් 210 ක උපරිම වේගයකින් පියාසර කළ හැකි මෙම නියමුවන් රහිත යානයට ඉන්ධන ලීටර 450 ක් පිරවිය හැකි බව ඉරාන රජයේ මාධ්‍ය පවසයි.
මෙම යානයට නොනැවතී මීටර 7000ක උන්නතාංශයක කිලෝ මීටර් 2000ක් ගමන් කිරීමේ හැකියාවක් පැවතීම යනු ඊට ඊශ්‍රායලයට පහසුවෙන් ළඟා විය හැකිවීම බැව් යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඉරානයේ හමුදා ශක්තිය වර්ධනය කිරීම තුළ ටෙහෙරානය කලාපය දෙසත්, කලාපයට ඔබ්බෙන් පිහිටි බාහිර ලෝකය දෙසත් බලන ආකාරය සැලකිය යුතු ලෙස වෙනස් කොට ඇතැයි, ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රහිසි එරට රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් කියා සිටියේය.
ඉරානය යුක්රේනයට එරෙහිව භාවිත කිරීම සඳහා රුසියාවට ඩ්‍රෝන යානා සපයන බවට බටහිර බලවත් රටවල් චෝදනා කරයි. නමුත් ටෙහෙරාන පාලනය පවසන්නේ තමන් මොස්කව් පාලනයට ඩ්‍රෝන යානා සැපයීම සංග්‍රාමයට පෙර සිටම සිදුකොට ඇති බවයි.