ගොවියාටත් පාරිභෝගිකයාටත් නාස් ලණුව දාන එළවළු වෙ‍ෙළඳ මාෆියාව | සිළුමිණ

ගොවියාටත් පාරිභෝගිකයාටත් නාස් ලණුව දාන එළවළු වෙ‍ෙළඳ මාෆියාව

ලංකාවේ ගොවිතැන අවඥාවකට ලක් කරන සුප්‍රකට කියමනක් තිබේ. 'දැන වෙළඳාම - නොදැන ගොවිතැන' මේ කියමන සිංහල සමාජයේ දිරවා ඇත්තේ වෙළඳාම කිරීමට හොඳ දැනුමක් ඥානයක් අත්‍යවශ්‍ය අතර ගොවිතැන් කිරීමට මේ මෙලෝ හත්ඉලව්වක් අනවශ්‍ය අතර ඕනෑම ගොනෙකුට ගොවිතැන් කළ හැකි බවය. එහෙත් කාන්තාර ලෙස පැවති අරාබිකරය දැන් මුළු ලෝකයටම එළවළු පලතුරු අපනයනය කරයි. ඒ තෙල් ආදායම හෙට අනිද්දාට අරාබියේ ලෙබ්බේලාට අහිමිවී යන්නේ තෙල් ළිං හිඳී යාමත් සමඟය. එසේ නම් ප්‍රශ්නයක් වන්නේ අරාබිකාරයන් වෙළඳාමට නොගොස් නොදැන යන ගොවිතැනට පිවිසියේ කුමන හේතුවක් නිසාදැයි යන ප්‍රශ්නයයි.

කලකට ඉහත තමිල්නාඩුවේ බිස්නස් සඟරාවක ලංකාවේ භාණ්ඩවල තොග මිල හා සිල්ලර මිල අතර පරතරය ගැන ලිපියක් පළ විය. එම ලිපියේ සඳහන් වුයේ දකුණු ආසියාවේ තොග වෙළඳාම හා සිල්ලර වෙළඳාම අතර දැවැන්ත පරතරයක් නොහොත් ගැප් එක ඇත්තේ මේ සකල සිරින් පිරි සිරි ලංකාවේ බවය. 

පසුගියදා අප එළවළු මිල ගණන් ගැන සොයන්නට ගියේ එළවළු වෙළඳාමේ තොග මිලත්- සිල්ලර මිලත් අතර දැවැන්ත වෙනස හෙළිදරව් කිරීමටය. ලේක්හවුසියේ සිට පැලියගොඩ මැනිං මාකට් එකට යන අතරතුර තැන් කිහිපයකම නැවතී අප එළවළු සිල්ලර මිල ගණන් අසන්නට ද අමතක කළේ නැත. කොළඹ නම් දරපු එළවළු වෙන්දේසි පොළ පවතින්නේ මැනිං මාකට් එකේය. එහෙත් එය සංවර්ධනයට යැයි කියා පවරාගෙන පැලියගොඩ සොහොන් පිට්ටනියකට මැනිං මාකට් එක ගෙන යන ලදී. මුලින්ම පරණ පුරුදු මැනිං මාකට් දෙස බැලුවෙමි. එය මුළුමනින් කොන්ක්‍රිට් සුන්බුන් ගොඩකි. එහි බිමට අල්ලා තිබුණු කළුගලෙන් කපන ලද බිම් ගල් ද දැන් එකින් එක කුඩ්ඩන් විසින් ගලවමින් සිටිනු දක්නට හැකිය.

දැන් පිටකොටුවේ මඳ පමණකට හෝ එළවළු වෙළඳාමක් ඇත්තේ සුප්‍රසිද්ධ පිටකොටුව බෝගහ ආසන්නයෙන් පීපල්ස් පාක් හරහා ගෑස්පහ හන්දිය තෙක් දිවෙන බෝධිරාජ මාවතේය. අනෙක් එළවළු පොළ පිහිටියේ 'කැලෑ මාකට්' එක ලෙසය. පිටකොටුව බෝගහ හන්දියේ සිට ටෙක්නිකල් හන්දිය තෙක් දිවෙන මාර්ගයේ දුම්රිය කෞතුකාගාරය අසල මෙය පිහිටා ඇත. මෙම ප්‍රදේශයට ෆ්ලෝටින් මාකට් කියනු ලැබේ. හවස 6ට පමණ ආරම්භ වන එළවළු, පලතුරු බිස්නස් එක එළිය වැටෙන විට වෙළඳුන් බිස්නස් හමාර කොට ගම් රටවල් බලා පලාගොස් හමාරය. මෙය කැලෑ මාකට් යන නම ලැබී ඇත්තේ ගමේ ගොඩේ ඇති නමිනම්, පොලොස්, කාබරන්කා, දං, බිලිං වැනි ගමේ ගොඩේ දේවල් මේ පොළේ දකින්නට ඇති නිසාය.

මේ තැන් දෙකේම එළවළු මිල සටහන් කොටගත් අප ඊළඟට කොස්ගස් හන්දියේ සහ දෙමටගොඩ පොළේ එළවළු මිල ගණන් ද සටහන් කොට ගතිමු.

මේ සියලු එළවළුවල ආසාවට කුඩා ගොලුබෙල්ලකු, කෘමියකු දැක ගැනීමට නොවීය. සියලු එළවළු පොලිෂ් කළාක් මෙන් බබළමින් තිබුණි. ඔක්කෝම මැලේෂියන් බීජවලින් හදපු එළවළුය. ලංකාවේ දෙයකට කියා තිබුණේ අලුකෙසෙල්, පලා වර්ග, කෙහෙල් මුව වැනි එළවළු කීපයක් පමණි. වස විස නැතැයි දහ අතේ දිවුරපු කොහිල ද දැන් පුවක්කොටන් වැනිය. වෙළෙන්දකු පැවසුවේ කොහිල බීජ ද දැන් මැලේසියාවෙන් ගෙන්වන බවය. ඒත් ඉතින් නෙළුම් අලවලට නම් තාමත් මැලේසියාවට අත තබන්නට හැකි වී නැත. ඒ කාලේ රෑට පෙති කපා වතුරේ දමා උදේට බීපු කරවිල දැන් සුදු පාටය. ඒවාට කියන්නේ ඇත් දළ කියාය. මේ සියලු එළවළු සිල්ලර මිල ගණන් සටහන් කිරීමෙන් පසු අප පිවිසියේ පෑලියගොඩ මැනිං මාකට් එකටය.

එච්. එම්. උපසේන මැනිං පොදු වෙළඳපොළ සමිතියේ සභාපතිය.

"මේ එළවළු තොග මිලත් සිල්ලර මිලත් අතර පරතරය වැඩිවෙන්න ප්‍රධාන හේතුවක් තමයි අධිරාජ්‍යවාදීන් මැනිං වෙළඳපොළ පිහිටුවීමේ අභිප්‍රායන් නොසලකා හැරීම"

උපසේන පවසන්නේ රටේ කොතනක එළවළු පලදාව නෙළා ගත්ත ද එහි මිල තීරණය වන්නේ මැනිං මාකට් එක මත බවය.

"ඇත්තටම මේක වෙළඳපොළට වඩා වෙන්දේසි පොළක්"

උපසේන වැඩිදුරටත් පවසන්නේ සුදු ආණ්ඩුව ලංකාවේ ජනතාවගේ එළවළු අවශ්‍යතාව වෙනුවෙන් නාගරික වෛද්‍යවරුන්ගේ නීරීක්ෂණය යටතේ මැනිං වෙළඳ පොළ පවත්වාගෙන ගිය බවය.

"මැනිං වෙළඳපොළ පෑලියගොඩට ගේන කොට අපි ආණ්ඩුව එක්ක කරුණු 30ක ගිවිසුමකට අත්සන් කළා. ඒවා ක්‍රියාත්මක කළා නම් අද එළවළු සිල්ලර මිලත්, තොග මිලත් අතර මේ වගේ පරතරයක් ඇති වෙන්නේ නැහැ."

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ එළවළු මිල ගැන දත්ත දිනපතා යාවත්කාලීන කරනු ලැබේ. එම මිල ගණන් අනුව පෙනී යන්නේ මෙරට පාරිභෝගිකයන් පරිභෝජනයට ගන්නා එළවළු අතරින් ආනයනය කෙරෙන්නේ අර්තාපල් සහ ලොකු ලූනු පමණක් බවය. එම වාර්තාවේ එළවළු මිල ගණන් දක්වා ඇත්තේ ප්‍රදේශ 10ක එළවළු වෙළෙඳ පළ මිල ගණන් සැලකිල්ලට ගැනීමෙනි. මේ දත්ත එකතුවට පෑලියගොඩ වෙළෙඳපල‍, මහනුවර වෙළෙඳ පළ, දඹුල්ල වෙළෙඳ පළ, මීගොඩ වෙළෙඳ පළ, නොරොච්චෝලේ වෙළෙඳ පළ, තඹුත්තේගම වෙළෙඳ පළ, කැප්පෙටිපොළ වෙළෙඳ පළ, නුවරඑළිය වෙළෙඳ පළ, බණ්ඩාරවෙල වෙළෙඳ පළ හා වේයන්ගොඩ වෙළෙඳ පළ පාදකවී ඇත.

අපගේ නීරීක්ෂණයට ලක් වූ ප්‍රධාන අධි අලෙවියක් ඇති එළවළු වර්ග ගණන 10 කි. මෙහිදී අපගේ නිරීක්ෂණයට ලක් වූයේ පෑලියගොඩ හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල ගණන්ය. එදින උදේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ප්‍රකාශයට පත් කළ මිල ගණන් හා මේ අපේ නිරීක්ෂණයට ලක් වූ මිල ගණන් අතර යම් පරතරයක් ද විය. අප මේ ගැන සමිතියේ සභාපති උපසේනගෙන් විමසා සිටියෙමු.

"මං ඒකයි කිව්වේ මේක එළවළු පොළකට වඩා එළවළු වෙන්දේසි පොළක් කියලා. ඔය හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනයේ මිල ගණන් ගන්න එන වේලාවට තිබ්බ මිල තමයි සටහන් කරගෙන යන්නේ. දවල් වෙනකොට, ඊට කලින් උදේ 10 -11 වෙන කොට මිල ගණන් අඩු වෙන්නත් පුළුවන් ඉල්ලුම වැඩි වුණොත් තකේටම වැඩි වෙනවා"

අප මැනිං මාර්කට්ටුවට ගිය දිනේ එම අවස්ථාවේ අධික ලෙස තත්කාලි තොග ලැබෙමින් තිබුණ නිසා තත්කාලි කිලෝව රුපියල් 20 සිට 50 දක්වා මිල තීරණය වෙමින් තිබුණි. එහෙත් උදෑසන මා නුගේගොඩ ඉස්ටේසමේ ලේක්හවුසියට ඒමට කොච්චියට නඟින්නට යන විට තක්කාලි 250ක් පේමන්ටුවේ බෝඩ් ගසා විකුණමින් සිටියේ රුපියල් 80 කටය. ඒ කියන්නේ එදා උදේ තත්කාලි කිලෝව පැළියගොඩ මාකට් එකේ වැඩිම වුණොත් රුපියල් 50කි. තක්කාලි කිලෝවකින් සිල්ලර වෙළෙන්දා ලබන ලාබය පමණක් රුපියල් 310කි.

පසුදින නැවතත් එම පදික වේදිකාවේ තත්කාලි වෙළෙන්දාගෙන් තක්කාලි තොග මිල ගැන විමසුවෙමි.

"මහත්තයෝ ඔය කියන තරම් තුන්සීය ගාණක ලාබයක් ලැබෙන්නේ තත්කලි ගෝනියක් පිටින් ගන්න ඕන. තෝරන්න දෙන්නේ නෑ. දැන් නුගේගොඩට ලොරි කුලිය පික්මි එකක් දැම්මත් රුපියල් 6000/- පනිනවා. තැළිච්ච තක්කාලි සියයට විස්සක් විතර අයින් කරනවා. තක්කාලි එක දවසෙන් කුණුවෙන්න ගන්නවා වැස්සට තෙමුණොත්. ඊට පස්සේ සමහර තක්කාලි පෙට්ටි කුඩ්ඩෝ උස්සනවා. දවසට 20% පොලියට එළවළු ගේන්නේ. හවසට පොලිය එක්ක මුදලත් ගෙවන්න ඕන. ඔක්කොටම වඩා දවසෙන් විකුණගන්න කොට පොඩි ගෙඩි මිනිස්සු ගන්නේ නැහැ. තේරෙනවා. ඒ අලාභෙත් අපට තමයි. ඔක්කොම ගණන් හදලා බැලුවාම පොඩි ගාණක් අපිට තියෙන්නෙ. රේඩියෝ එකෙන් දඹුල්ලේ - පෑලියගොඩ එළවළු තොග මිල අහපු අයට අපි සිල්ලර ගණන් කිව්වාම "අම්මෝ රේඩියෝ එකේ තොග මිල ඇහුවම හෙණ ගහන ගණන්වලටනේ එළවළු විකුණන්නේ කියලා කියනවා"

එළවළු තොග වෙළෙන්දා එළවළු තොග මිලත් සිල්ලර මිලත් අතර පරතරයට කියු හේතු පාඨ අසා සිටි අප සුපර්මාකට්වල එළවළු සිල්ලරට විකුණන මිල ගණන් ද අසා සිටියෙමු.

එළවළු සිල්ලර වෙළෙන්දාත් සුපර්මාකට්වල එළවළු සිල්ලර මිල ගණන් ගැන කීප දෙනෙකුම කිව්වේ මෙසේය. "සුපර්මාකට්වල අඩුවට තියෙන්නේ වට්ටක්කා විතරයි. එක සැරයක් වට්ටක්කා කිලෝ එකක් රුපියල් 5 ට බැහැලා විකුණන්න බැරි පැත්තක එක සුපර්මාකට් එකක් ඒ ලොට් එකම ගත්තා. ඊට පස්සේ රුපියල් 1000/ට වැඩිය බඩු ගන්න අයට වට්ටක්කා ග්‍රෑම් 500/- ගානේ නිකම් දුන්නා.

කෙසේ නමුත් අප අවසානේ එළවළුවල තොග මිලත් සිල්ලර මිලත් අතර වෙනස ගැන මනා අවබෝධයක් ලබා ගත හැකි විය. එය එළවළු තොග මිල හා සිල්ලර මිල අතර සිල්ලර වෙළෙන්දා විසින් ලබන ලාභය ලෙස ඇතමකුට නිර්වචනය කළ හැකිය. එය එළවළු සිල්ලර වෙළෙන්දා ලබන අධික ලාබය ලෙස නිර්වචනය කරන්නට අකමැති අයකුට එළවළු තොග මිල සහ සිල්ලර මිල අතර මිල පරාසය ලෙස නිර්වචනය කළ හැකිය.

අපේ අවධානයට මුලින්ම ලක් වුයේ බෝංචි මිල ගණන්ය. නොම්මර එකේ බෝංචි කිලෝවක මිල වුයේ රුපියල් 300/- කි. එය එදින නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සිල්ලරට අලෙවි වූයේ රුපියල් 580ක් බැවින් මේ බෝංචි කිලෝවෙන් සිල්ලර වෙළෙන්දා ලබන ලාබය රුපියල් 280කි. කැරට් කිලෝවක තොග මිල රුපියල් 250 /- ක් වූ අතර සිල්ලර වෙළෙන්දා රුපියල් 280 ක ලාබයක් ලබමින් කැරට් කිලෝව අලෙවි කළේ රුපියල් 530 කටය. මැනින් මාකට්ටුවේත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් පතෝල තිබුණේ කරක් උසට ගොඩ ගසාය. එහි තොග මිල වූයේ රුපියල් 120 /- කි. නමුත් සිල්ලර වෙළඳපොළේ පතෝල කිලෝවක් සිල්ලරට අලෙවි වූයේ රුපියල් 190ක ලාභයක් කිලෝවකින් ලබමින් රුපියල් 310 කටය. බිට් රූට්, තක්කාලි හා බණ්ඩක්කා එළවළු වර්ග තුනේම තොග මිල පැවතියේ සමානවය. එය රුපියල් 70 /- කි. එහෙත් සිල්ලරට මෙම එළවළු වර්ග 3 මිල ගණන් තුනකට අලෙවි කිරීම විශ්මය දනවන කරුණක් විය. එහෙත් ඒවා සිල්ලරට අලෙවි වූයේ දෙගුණයකට වැඩි මිලකටය. කරවිල හා වම්බටු තොග මිල පැවතියේ සමාන මිල ගණන්වලය. තොග මිල වූයේ රුපියල් 200ත් රුපියල් 220 අතරය. ඒත් වම්බටු සමහර ගෝනි මිල වූයේ කිලෝවක් රුපියල් 60/- ලෙසය.

"මෙච්චර අඩු ගාණට මේ වම්බටු මිල බැස්සේ ඇයි"

"වම්බටුවල කොලිටි මිල නොම්මර තියෙනවා. බටු මෝජු හදන්න ගෙඩිය කපනවානේ, පනුවෝ ගහපු කැලී ඔක්කෝම අයින් කරනවා. මේවා එහෙම ඒවා පිටින් බැලුවාම කියන්න පුළුවනි. කිලෝ 10ක් කැපුවොත් කිලෝ 2ක් වත් ගන්න බෑ. බස් කුලියත් එක්ක ගත්තොත් ගෙනියන එක පාඩුයි.

නුගේගොඩ එළවළු මාර්කට්ටුවේ වම්බටු කිලෝවක සිල්ලර මිල වූයේ රුපියල් 440 කි. ඒ කියන්නේ වෙළෙන්දා වම්බටු කිලෝවකින් ලබන ලාබය රුපියල් 220 කි. මේ එළවළු මාර්කට්ටුවේ කැරට් තරමටම ජනප්‍රිය එළවළුවක් වූයේ ලීක්ස්ය. තොග එළවළු වෙළෙන්දකු අපට කිව්වේ එළවළු ගණන් නිසා බොහෝ දෙනෙකු රතු බතට වුවත් තෙලට කැරට් - ලීක්ස් ටිකක් දමා තෙම්පරාදු කොට ෆ්‍රයිඩ් රයිස් ටිකක් හදාගන්නා බවය. ලීක්ස් තොග මිලට අලෙවි වූයේ කිලෝවක් රුපියල් 120 /- කටය. එය සිල්ලරට අලෙවි වූයේ රුපියල් 530 ක් බැවින් එයින් එළවළු මුදලාලි ලබන ලාභය කිලෝවකට රුපියල් 410ක් බව උපකල්පනය කරන්නට අපට සිදු විය.

අප මේ එළවළු මිල ගැන තොග මිල අසමින් සිටින විට එහි සිටි ගොවි මහතකු අපට හමු විය. ඔහු පැවසුවේ මේ එළවළු තොග මිල මෙන්ම සිල්ලර මිල ද තමන් දුටු විට පුදුමයට පත් වූ බවය. ඇතැම් එළවළු මිල අඩුවෙන් ඉල්ලන බැවින් ඒවා නෙළන්නේ නැති බව ද ඔහු පැවසීය.

"දහස් ගාණක් වියදම් කොරලා ගස් පල්ලේ මේ අස්වැන්න කුණුවෙන්න ඉඩ හැරලා ඉන්න අපට මොලේ අමාරුවක් නෑ. ඒත් තවත් වියදම් කරලා මේවා කඩලා වෙළෙඳපළට අරගෙන ගිහින් නැවත අත පිසදාගෙන එනවාට වැඩිය හොඳ නැද්ද ඒවා ගොවිපළේම විනාශ කරන එක" යනුවෙන් ගොවියා අපෙන් විමසීය.

මේ ගොවීන් කියන්නේ සැලැස්මක් නැතිව එළවළු වගා කොට අධික තොග වෙළඳපළට ලැබුණ විට එයින් ලාබ ලබන්නේ ද සිල්ලර වෙළෙන්දා බවය.

අඩුම තරමේ මේවා වගා කරන කොට අපට කිව්වේ නෑ මේවා වගා කරන්න එපා, මේවා පමණක් වගා කරන්න කියලා. අඩුම තරමේ මේ එළවළු වගාවලට වැලඳෙන රෝගයක් ගැනවත් සොයා බලන්න කවුරුත් එන්නේ නෑ.

මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ එළවළු ගොවියා නැවතත් ගොවිතැන අතහැර පලා යාමය. ඉන් පසු සිදුවන්නේ වෙළෙඳපළ තුළ එළවළු මිල ඉහළ යාමය.

මේ ගොවීන්ට තම කැප කිරීම්වලට නිසි මිලක් නොලැබීමත් සිල්ලර වෙළෙන්දා අධික ලාබ ලැබීමත් ආදී කරුණු සියල්ලට හේතු වී ඇත්තේ මෙම එළවළු වෙළඳාම ගැන සක්‍රිය ලෙස රාජ්‍ය මැදිහත් වීමක් නොමැති වීමය. ආණ්ඩුවේ අලෙවි දෙපාර්තමේන්තුව මෙරට ගොවීන්ගේ එළවළු මිලදී ගෙන ගබඩා කර හිඟ කාලයේ වෙළඳපළට මුදාහළ අතීතයක් තිබූ බව බොහෝ දෙනාට අමතකය. එදා අල්ලක් වපුරා නව භෝග මල්ලක් ගෙට ගත්තේ ගොවියාය. ඒත් අද අල්ලක් වපුරා ගොවීන් කඹුරද්දී එහි අයුතු ලාභයක් ලෙස සල්ලි මල්ලක් ගෙදර ගෙනියන්නේ සිල්ලර වෙළඳුන් වීම එහි අවසන් ප්‍රතිඵලයක් වී තිබේ.


ඡායාරූප : දුෂ්මන්ත මායාදුන්න

Comments