ආසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ විශ්වාසය දිනා ගනිමින් ඔහුගේ සෙවණැල්ල යට සිය ජීවිතය ගොඩනඟා ගත් 62 හැවිරිදි යෙව්ගිනි ප්‍රිගෝෂින් ගුවන් අනතුරකින් මියගියේ ඊයේ පෙරේදාය. හෙතෙම මීට මාස දෙකකට පෙර හිටිහැටියේම පුටින්ට එරෙහිව කැරලි ගසමින් මොස්කව් නුවර ආක්‍රමණය කිරීමට සිය කුලී හමුදාව මෙහෙයවීමෙන් ලොව පුරා දැඩි අවධානයට ලක්වූ චරිතයකි. එබැවින් ඔහුගේ මරණය ගැන ජාත්‍යන්තර මාධ්‍ය පළ කරන්නේ විවිධාකාරයේ පුවත්ය. පුටින් හිතවාදීන්ට එය ස්වාභාවික ගුවන් අනතුරකි. ඔහුගේ විරෝධීන්ට එය අබිරහස් ආකාරයේ ඝාතනයකි.
දශක දෙකකට වැඩි කාලයක් රුසියාවේ ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතකු ලෙස සිටි ප්‍රිගෝෂින්ට අත් වූ ඉරණම කෙසේ අර්ථකථනය කළ ද, සැබෑව නම් ඔහු සිය ජීවිත කාලය පුරාම මරණයට අත වනමින් සිටි පුද්ගලයකු වීමය. පසුගිය ජූනි මාසයේදී පුටින් සමඟ විරසකයක් ඇති කර ගැනීම නිසා බැලූ බැල්මට ප්‍රිගෝෂින්ගේ ගුවන් අනතුර සැකයට තුඩු දුන් කාරණාවක් වුවද, සැබෑව නම් ඔහුට ලොව පුරාම සතුරන් සිටි බවය. යුක්රේනය, අමෙරිකාව ඇතුළුව රටවල් රැසකට ඔහු අත්‍යවශ්‍ය පුද්ගලයකු බවට පත්වී සිටි බවය. අමෙරිකාවේ බුද්ධි අංශවලට අනුව ඔහු බරපතළ අපරාධකරුවෙකි.
ජනාධිපති පුටින්ට පමණක් දෙවැනි වූ බලයක් සහිත පුද්ගලයකු ලෙස දිගු කාලයක් වැජඹුණු බව කියන ප්‍රිගෝෂින් අත්අඩංගුවට ගැනීමට අමෙරිකාවෙන් වරෙන්තු නිකුත් කර තිබූ අතර, ඔහු පිළිබඳ නිවැරැදි ඔත්තු සපයන්නකුට ඩොලර් දෙලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාගයක් පිරිනමන බව එවකට එෆ්. බී. අයි. බුද්ධි ඒකකය නිවේදනයක් පවා නිකුත් කර තිබූ බව වාර්තා වේ. කලක් ලිබියාව අරාජික කිරීමට විවිධ කුමන්ත්‍රණ සිදු කළ බවට චෝදනා කරමින් යුරෝපා සංගමය විසින් ද ඔහුට සම්බාධක පනවා තිබේ. ආරම්භයේ සිටම යුක්රේන යුද ගැටුමට සක්‍රියව මැදිහත් වීම නිසා ඔහු යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කිගේ ද උදහසට ලක් වී සිටියේය.
රටවල් රැසක සම්බාධක පනවා ඇත්තේ ප්‍රිගෝෂින්ට පමණක් නොවිය. රුසියාවේ ප්‍රකට ව්‍යාපාර හිමි ඖෂධවේදිනියක වන ඔහුගේ බිරිය ලියුබොෆ් ප්රිගෝෂිනා, දියණියන් වන පොලීනා, වෙරෝනිකා සහ පුත්‍රයා වන පවෙල්ට ද යුරෝපා හවුලේ, අමෙරිකාවේ, යුක්රේනයේ සහ තවත් රටවල් රැසක සම්බාධක පනවා තිබේ.
ව්ලැදිමිර් පුටින්ගේම උපන් බිම වන ලෙනින්ග්රාඩ්හි පුටින්ට වසර 9කට පසු (වත්මන් සාන්ත පීටර්ස්බර්ග්) උපත ලබා දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ පුටින්ගේ විශ්වාසවන්තම සගයා බවට පත්වූවා පමණක් නොව ඔහුගේ ජාත්‍යන්තර වැඩකටයුතුවලට වැඩිම දායකත්වයක් දුන් පුද්ගලයා වූයේ ද ඔහු ය. හෙතෙම පුටින් ආමන්ත්‍රණය කරනු ලබන්නේ ‘පපා‘ නමිනි. කවුරුත් ප්‍රිගෝෂින් හඳුන්වනු ලබන්නේ ‘පුටින්ගේ කෝකියා‘ නමිනි.
සිය ජීවිතයේ අවසන් භාගයේදී රුසියාවේ අංක එකේ ධන කුවේරයකු ලෙස අතිසුඛෝපභෝගී ජීවිතයක් ගෙවමින් සිටි ප්‍රිගෝෂින්ගේ ඉතිහාසය නම් දරිද්‍රතාවෙන් පිරී ගිය එකකි. පතල් ඉංජිනේරුවකු වූ පියා මෙලොවින් සමුගන්නා විට 9 හැවිරිදි කොලුගැටයකුව සිටි ඔහු ඉන් අනතුරුව ගෙවා දැමුවේ එහෙම පිටින්ම නන්නත්තාර ජීවන රටාවකි. හෙදියක වූ සිය මව දෙවැනි විවාහයක් කර ගැනීමත් සමඟ එය දෙගුණ තෙගුණ වී තිබිණි. අගහිඟකම් වැඩිවෙද්දී ඔහු යුරේනියම් පතලක ළමා කම්කරුවකු ලෙසත් රැකියාවේ නිරතව සිටි බව සඳහන් වේ.
මේ රස්තියාදුකාර ජීවිතය තරුණ වියට එළැඹෙද්දී ඔහු මැරයකු බවට පත් කර තිබිණි. අවුරුදු 18දී සොරකමකට හසු වී වසර දෙකක අත්හිටවූ සිරදඬුවමකට ලක්වී සිටි හෙතෙම ඊට වසර දෙකකට පසු මංකොල්ලකෑම්, මුදල් වංචා වැනි බරපතළ අපරාධ රැසකට යොමු වීමෙන් ඔහුගේ තරුණ වියේ වැඩි කාලයක් එහෙම පිටින්ම ගෙවී ගියේ බන්ධනාගාරවලය.
එවකට ඔහුගේ සහචරයන් සමඟ එක්ව ලෙනින්ග්රාඩ් නුවර අසල්වාසී නිවාසවලින් මංකොල්ලකෑම් වැනි අපරාධ කන්දරාවක චෝදනාවලට ලක්වීම නිසා තරුණ වියේදීම වසර 12ක සිරදඬුවමක් විඳීමට ද ඔහුට සිදු වී තිබිණි. 1988 ද ඔහුට විශේෂ සමාවක් ලැබුණු අතර, ඊට වසර දෙකකට පසු ඔහු බන්ධනාගාරයෙන් නිදහස් වූයේ වසර 9ක සිරගත කිරීමකින් පසුවය.
එසේ 1990 වසරේදී සිරෙන් නිදහස් වූව ද, අපරාධ ලේබලය අලවා තිබූ බැවින් ඔහු පසුවූයේ රැකියාවක් සොයාගත නොහැකි මට්ටමකය. තවදුරටත් සිරගත වීමට කැමැත්තක් නොතිබුණු නිසාම අවසානයේදී වීදි වෙළෙන්ඳකු ලෙස ජීවිකා වෘත්තිය ආරම්භ කිරීමට ඔහු තීරණය කළේය.
ඔහු එවකට ලෙනින්ග්‍රෑඩ්හි එළිමහන් වෙළෙඳපොළක සිය මව හා සුළු පියා සමඟ ‘හොට් ඩෝග්‘ අලෙවි කළ බව අදටත් රුසියානු ජනතාවගේ කතාබහට ලක්වන ප්‍රකට කරුණකි. පසුකාලීනව ඔහු නිව්යෝක් ටයිම්ස් පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකට අනුව එවකට හොට් ඩෝග් අලෙවි කිරීමෙන් ඔහුගේ මවට ගණන් කළ නොහැකි තරමට රූබල් ගොඩගැසෙන්නට පටන් ගෙන තිබේ. කුඩා වියේ සිටම මුදලට ලොල් වූ පුද්ගලයකු නිසා එය ප්‍රිගෝෂින්ගේ සතුට දෙගුණ තෙගුණ කිරීමට බලපෑ හේතුවක් වන්නට ඇත.
නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගැනීමට ඔහු සමත් වී ඇත්තේ
සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුවය. ඉඳහිට පැරැණි මැරකම් මතු වූ සිදුවීම් එමට තිබුණත් ඔහුගේ අරමුණ වූයේ ව්‍යාපාරිකයකු ලෙස අනාගතය හැඩ ගස්වා ගැනීමය.
ඒ අනුව 1991 සිට 1997 දක්වා කාලය තුළ සිල්ලර වෙළෙඳසැල් ව්‍යාපාරයට යොමු වී සිටි ප්‍රිගෝෂින් පසුව සිය පාසල් මිතුරකු සමඟ එක්ව නව ව්‍යාපාරික සමාගමක් ද ආරම්භ කළේය. හෙතෙම සූදු ව්‍යාපාරයට සම්බන්ධ වී ඇත්තේ ද එම කාලය ඇතුළත බවට තොරතුරු වාර්තා වේ. සාන්ත පීටර්ස්බර්ග් නුවර පළමු කැසිනෝ ශාලාව ආරම්භ කළේ ඔහුගේ ප්‍රධානත්වයෙන් බවත්, අනූව දශකයේදී තවත් ව්‍යාපාර ගණනාවක් ආරම්භ කරමින් ඔහු ධනවතකු බවට පත්වූ බවත් තවත් වාර්තාවකින් කියැවේ. 1995 දී අවන්හල් ව්‍යාපාරයට එක්වීමෙන් පසු ඔහුට රූබල් ගොඩගැසෙන්නට පටන් ගෙන තිබූ අතර, ඊට වසර දෙකකට පසු ඔහු පාවෙන අවන්හලක් ද විවෘත කරමින් රුසියාවේ නම ගිය ව්‍යාපාරිකයකු බවට පත් වීමේ අඩිතාලම දමා ගත්තේය. ඉන් පසුව ඔහු ආපසු හැරුණේම නැත.
යෙව්ගිනි ප්‍රිගෝෂින් සහ ව්ලැදිමීර් පුටින් අතර මිත්‍රත්වය ආරම්භ වන්නේ 2003 වසරේදීය. ඊට වසර දෙකකට පෙර පළමු වරට ජනපති පදවියට පත් පුටින් එවකට රුසියාවේ සංචාරය කළ ප්‍රංශ ජනාධිපති ජැක් චිරාක්ට ආහාර භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, ඔවුන්ගේ ආහාර වේල සපයනු ලැබුවේ ප්‍රිගෝෂින්ගේ අවන්හලෙනි.
ඉන් නොනැවතී 2002 වසරේදී අමෙරිකාවේ ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඓතිහාසික සංචාරයකට රුසියාවට පැමිණි මොහොතේදිත්, ඊළඟ වසරේ ජනපති පුටින්ගේ උපන්දිනයේදිත් ආහාර පාන සැපයුම සිදු වූයේ ප්‍රිගෝෂින්ගේ අවන්හලෙනි. ඔහු සහ පුටින් අතර මිත්‍රත්වයට මං විවර වන්නේ ඒ අනුවය. ඉන් පසුව රුසියානු රජයේ ආහාර කොන්ත්‍රාත්තු ප්රිගෝෂින්ගෙන් පිට ගියේම නැත.
වසර 2012 වන විට රුසියාවේ හමුදාවට මුළුමනින්ම ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුව ඔහුට බාර වූ අතර, ඔහුගේ වාර්ෂික ආදායම බලා සිටියදීම ඩොලර් බිලියන 1.2ක ඉක්මවූ බවට තොරතුරු වාර්තා වේ. ඊළඟ වසර කිහිපය වන විට ඔහුගේ වත්කම ඔහු රුසියාවේ අංක එකේ කෝටිපතියකු බවට පත් කළ අතර, අඩි 115ක සුඛෝපභෝගී යාත්‍රාවක් ද, පෞද්ගලික ජෙට් යානාවක් ද ඔහු සතු විය. ඔහු ගුවන් අනතුරට ලක් වූයේ එම්බ්රායර් වර්ගයේ එම පෞද්ගලික ජෙට් යානයෙන් ගමන් කරමින් සිටියදීය. බ්‍රසීලයේ නිෂ්පාදිත එම සුපිරි පන්තියේ ජෙට් යානා වර්ගයට ඇත්තේ දශක දෙකක ඉතිහාසයකි. එම කාලය ඇතුළත බ්‍රසීල සමාගම එවැනි වර්ගයේ ජෙට් යානා 300ක් නිෂ්පාදනය කර ඇති අතර, අනතුරට ලක් වූ දෙවැනි යානය ප්‍රිගෝෂින්ගේ යානය විය. එය වෙනම කතාවකි.
2014 වසරේදී ආරම්භ කළ එය නම් කර ඇත්තේ වැග්නර් පෞද්ගලික හමුදා සමාගම ලෙසිනි. සැබැවින්ම එය ආරම්භ වූයේ එවකට රුසියානු හිතවාදීන් නැඟෙනහිර යුක්රේනයේ කැරැලි ගැසීමට පටන් ගැනීමෙන් පසුවය. වැග්නර් කුලී හමුදාවේ කාර්ය භාරය වූයේ යුක්රේන විරෝධී කැරැල්ලට සහාය දීමය. එදා සිට වැග්නර් කුලී හමුදාව භාවිත කරමින් ප්‍රිගෝෂින් විසින් සිදු කරනු ලැබූ විවිධ මෙහෙයුම් අතිවිශාල බව වාර්තා වේ. සෙබළුන් පන්දහසකින් ආරම්භ කළ වැග්නර් හමුදාව වැඩි කාලයක් යෑමට පෙර විසිපන්දහස ඉක්මවා තිබිණි. බටහිර බුද්ධි අංශ විෂ්ලේෂණවලට අනුව ඔහු මොස්කව් ආක්‍රමණයට සූදානම් වන විට එය පනස්දහසට ආසන්නව තිබූ බවත් සඳහන් වේ.
ප්‍රිගෝෂින් ගුවන් අනතුරට ලක් වූයේ මොස්කව් නුවර සිට සාන්ත පීටර්ස්බර්ග් නුවර බලා පියාසර කරමින් සිටියදීය. ඒ මොහොතේ ඔහුගේ සමීපතමයන් 6 දෙනකු ඔහු සමඟ සිටි අතර, ඒ සියලු දෙනාම ප්‍රිගෝෂින්ගේ හමුදාවේ ඔහුට පමණක් දෙවැනි වන නායකයෝ වෙති. මීට අමතරව නියමුවන් ඇතුළු ගුවන් යානා කාර්ය මණ්ඩලයේ තිදෙනකු ද සිටි අතර, අනතුරින් සියලු දෙනාම ජීවිතක්ෂයට පත් වූ බව රුසියානු ගුවන් ප්‍රවාහන ඒජන්සිය තහවුරු කළේය. ගුවන් අනතුර සිදුවූයේ මොස්කව් නුවරට කිලෝමීටර් 180ක පමණ දුරින් පිහිටි ට්වෙර් පළාතේදී වන අතර, අනතුර සම්බන්ධව රුසියානු ගුවන් ප්‍රවාහන ඒජන්සිය මඟින් කඩිනමින් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ
අනතුර සිදුවන විට රුසියානු ජනාධිපතිවරයා සිටියේ සෝවියට් රුසියාව සහ නාසි ජර්මානුවන් අතර වසර 1943දී පැවැති දරුණු යුද ගැටුමේ 80 වැනි සංවත්සර සැමරුම් උත්සවයකට සහභාගි වෙමිනි. ඔහු සිය දේශනයේදී මේ අනතුර සම්බන්ධව කිසිවක් ප්‍රකාශ නොකළ ද, පසු දින ඔහු ඒ ගැන කතා කළේය.
තමාගේ අවශ්‍යතා ගැන හොඳින් අවබෝධ කරගෙන සිටි ප්‍රිගෝෂින් පොදු අරමුණු වෙනුවෙන් තම උපරිමය කළ හැකි දක්ෂ ව්‍යාපාරිකයකු බවත්, එය සැබැවින්ම ඛේදවාචකයක් බවත් කී පුටින්, ගුවන් අනතුරින් මියගිය අයගේ පවුල්වල අයට ශෝකය ප්‍රකාශ කිරීමට ද අමතක කළේ නැත. ‘මම ප්‍රිගෝෂින් දන්නේ දීර්ඝ කාලයක සිටයි. අනූව දශකයේ මුල ඉඳලයි. ඔහු දුෂ්කර ගමනක යෙදුණු, ඒ වගේම ජීවිත කාලය පුරා බරපතළ වැරැදි කළ මිනිසෙක්.‘
වැග්නර් කුලී හමුදා ප්‍රධානියාගේ මරණය ඝාතනයක් බවට අනුමාන කිරීමට ද, එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට ද බොහෝ පාර්ශ්ව ඉදිරිපත් වී ඇත්තේ දෙදෙනා අතර පැවැති විරසකය හුවා දක්වමිනි. ඇතැම් විදෙස් වාර්තාවලට අනුව සඳහන් වන්නේ ප්‍රිගෝෂින්ගේ ජෙට් යානය ගුවන් මිසයිලයක් මඟින් බිම හෙළූ බවය. එහෙත් අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එවැන්නක් සිදුවූ බවට මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවය. අසාර්ථක මොස්කව් කැරැල්ලෙන් පසුව මාස දෙකක් පුරා නිදහසේ සැරි සැරූ ප්‍රිගෝෂින් සැබැවින්ම එම ජෙට් යානයේ සිටියේදැයි යන්න ගැනත් සැක සංකා මතු වී තිබේ. එසේ වන්නේ ඔහු තමාට එල්ල විය හැකි ප්‍රහාරවලින් ආරක්ෂා වීමට තමාගේ නම යටතේ වෙනත් පුද්ගලයන් ගුවන් සංචාර සඳහා යැවීමට කටයුතු කරන උපායශීලි මිනිසකු වන බැවිනි. ඔහුට ගුවන් ගමන් බලපත්‍ර කිහිපයක්ම ඇතැයි ද විශ්වාස කෙරේ.