මගේ වෘත්තීය සාර්ථකත්වයට හේතුව හරි වෙලාවට හරි තීරණ ගැනීමයි | Page 4 | සිළුමිණ

මගේ වෘත්තීය සාර්ථකත්වයට හේතුව හරි වෙලාවට හරි තීරණ ගැනීමයි

People's Insurance PLC හි ප්‍රධාන විධායක නිලධාරිනී, ජීවනී කාරියවසම්

මට ඕන වුණේ හැම තිස්සෙම රජයට සම්බන්ධිත ආයතනයක වැඩ කරන්න. පවුල් සමාගමක ඉන්න මට එච්චර කැමැත්තක් නෑ

පවුලක් විදියට එකට සතුටෙන් ඉඳීම තමයි ගොඩක්ම වැදගත් වෙන්නෙ. අපේ  ගෙවල්වල අපි දැකපු තත්ත්ව වුණත් එහෙමයි. මම ආදර්ශයට ගත්තෙ මගේ ගෙදර මම දැකපු විදිය

මම අඩුම තරමෙ ඉන්ෂුවරන්ස් කියන්නෙ මොකද්ද කියලවත් දැනගෙන හිටියෙ නෑ. නමුත් මට ඉන්ටර්විව් එකට මුහුණ දුන්නු විදියයි, සාමාන්‍ය දැනීම, ගණිතය ගැන තිබුණු විභායයි නිසා ඒ ක්ෂේත්‍රය ගැන කැමැත්තක් ඇති වුණා

ගෙදර ජීවිතේ ලස්සනට හොඳට ගෙවනවා නම් තමයි සතුටෙන් ඉන්න සේවකයෙක් ආයතනයකට ලැබෙන්නෙ

වෛද්‍යවරියක් වීමට සිහින මැවූ ඇය අද සේවය කරන්නේ ඊට හාත්පසින් ම වෙනස් ක්ෂේත්‍රයක ය. විද්‍යා විෂයයන් සඳහා විශ්වවිද්‍යාලයේ වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යාව වී සහාය කථිකාචාර්යවරියක ව සේවය කරමින් සිටියදී ඇය, පුවත්පතේ තිබුණු දැන්වීමකට අනුව පුහුණු කළමනාකරණ තනතුරකට ඉල්ලුම් කරන්නී ය. සම්මුඛ පරීක්ෂණයේ ස්වභාවයත්, විභාගයෙන් වැඩි ලකුණු ගත් පස්දෙනා අතරට එක්වීම නිසාත් එකී ක්ෂේත්‍රයට ආශාවක් ඇති කරගන්නා ඇය තමන් කිසිවක් ම නොදන්නා විෂය  ක්ෂේත්‍රයකට පා තබන්නේ කිසිදු චකිතයකින් තොරව ය. නොදන්නා ක්ෂේත්‍රයකට එසේ පැමිණිය ද අද ඇය ඒ ක්ෂේත්‍රයේ ඉහළම තනතුරක් හොබවන්නී ය. නමින් ජීවනී කාරියවසම් වෙන ඇය වත්මනෙහි People's Insurance PLC හි ප්‍රධාන විධායක නිලධාරිනියයි. සිය පවුල තම ජීවිතයේ අංක එක කරගත් ඇය අවශ්‍ය වෙලාවේ ඔවුන්ට දැක්වූ අසීමිත රැකවරණය හා ආදරය නිසාම ලැබුණු සැනසීමේ භාග්‍ය ගැන මේ සාකච්ඡාවේදී නිරන්තරයෙන් මතු කළාය. සිය වෘත්තිය ජීවිතයේ සාර්ථකත්වයට හේතුව අවැසි තැන සිය පවුල වෙනුවෙන් අඩියක් පසුපසට තබා අවශ්‍ය යුතුකම් හා වගකීම් නිසි පරිදි ඉටු කිරීමට තමා ගත් නිවැරැදි තීරණය බැව් මේ සංලාපය ඔස්සේ අවධාරණය කරන්නී ය.

 

lසම්පූර්ණ නම

ජීවනී කාරියවසම්

lඋපන් දිනය

ජූලි 4

lගම් පළාත

මම කොළඹ තමයි හැදුණේ වැඩුණේ. තාත්තගේ ගම නම් ගාල්ල

lඅම්මා තාත්තාගේ නම් සහ වෘත්තීන්

අම්මාගේ නම හේමා එදිරිසිංහ, ඇය නියෝජ්‍ය විදුහල්පතිනියක්. තාත්තා ඇල්බට් කාරියවසම්, ඔහු පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙක්.

lසහෝදර සහෝදරියන්

අපි ඔක්කොම හය දෙනයි. අක්කලා දෙන්නයි, අයියලා දෙන්නයි, මල්ලියි තමයි මට ඉන්නෙ.

lපාසල් යන්නේ

මම පහ වසර වෙනකම් සිරිමාවෝ බාලිකාවට ගියා. ඊට පස්සෙ ශිෂ්‍යත්වෙන් දේවි බාලිකාවට ඇතුළත් වුණා හය වසරේ ඉඳන්.

lපාසලේ බාහිර වැඩ කළා ද?

මම ගොඩක් ක්‍රීඩා කටයුතු කළා. දුර පැනීම්, උස පැනීම් ආදී ක්‍රීඩා වගේම පාසලේ ක්‍රීඩා නායකයා වෙලා හිටියෙත් මම. ඒ වගේම ශිෂ්‍ය නායිකාවක් විදියටත් මම වැඩ කළා.

lඋසස් පෙළට මොනවද කළේ?

විද්‍යා විෂයයන් තමයි කළේ. ඒ කාලෙ ශිෂ්‍ය නායිකාවක් විදියට මම ගොඩක් කාර්යබහුල වුණු නිසාත් බාහිර වැඩ නිසාත් මට එකපාර වෛද්‍ය විද්‍යාලයට හෝ විශ්වවිද්‍යාලයට යන්න ලකුණු ගන්න බැරි වුණා. මම ලැහැස්ති වුණා දෙවන වර උසස් පෙළට පෙනී ඉන්න. මොකද අම්මලට ඕන වුණේ මාව වෛද්‍යවරියක් කරන්න.

l88- 89 කලබල කාලය කොහොමද ඔබට බලපෑවෙ?

ඇත්තටම අවුරුද්දක් විතර නැති වුණා. විභාග ප්‍රතිඵල එන්න පරක්කු වුණා. ඒ කාලයේ මම ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ (NIBM) පරිගණක ඩිප්ලෝමාවක් කරන්න පටන් ගත්තා System Desgning ගැන.

lමේ අතරෙ විශ්වවිද්‍යාලෙ යන්න අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරගන්න ඔබට ලැබෙනවා?

මාව කොළඹ විශ්වවිද්‍යාලයට තේරිලා තිබුණා, විද්‍යා විෂයයන් හදාරන්න. අම්මා කිව්වෙ උපාධියක් තියෙන එක ඉදිරියට යන්න ලොකු වැදගත්කමක් කියලා. ඒ නිසා මම වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි වුණත් විද්‍යා උපාධිය කරන්න පටන් ගත්තා. ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ ඩිප්ලෝමා එක ඉවර කළ ගමන් මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. අන්තිමට මට පළමු පෙළ ඉහළ සාමාර්ථයක් ගන්න පුළුවන් වුණා. ඒ වගේම උද්භිද විද්‍යාව විෂයයට වැඩිම ලකුණු ගත්තෙත් මම. හැබැයි මට ඒ විෂයයන්වලට විශේෂවේදී උපාධියක් කරන්න ආසාවක් තිබුණෙ නෑ. මම සාමාන්‍ය උපාධියක් කළේ. ඒකට හේතුව මට අවශ්‍ය වුණා, කළමනාකරණ පැත්තට යන්න.

lඋපාධිය අවසන් කළාට පස්සෙ මොකද කළේ?

මට සත්ව විද්‍යාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලෙ සහය කථිකාචාර්ය ධුරයක් ලැබුණා. එහෙම ඉද්දි මම පත්තරේ බලලා පුහුණු කළමනාකරණ තනතුරුවලට අයැදුම් කළා. මට පළවැනි ඉන්ටර්විව් එක ආවෙ ජාතික රක්ෂණ සංස්ථාවෙ.

lඔබ විද්‍යා විෂයයන් කරලා, ඒවා උගන්වමින් සිටියදී තමයි රක්ෂණ ක්ෂේත්‍රයට එන්න හදන්නෙ. වෙනස් ම විෂයය පරාසයක්. දන්නෙ නැති විෂයයකට එන්න හදද්දි බය හිතුණෙ නැද්ද?

මම අඩුම තරමෙ ඉන්ෂුවරන්ස් කියන්නෙ මොකද්ද කියලවත් දැනගෙන හිටියෙ නෑ. නමුත් මට ඉන්ටර්විව් එකට මුහුණ දුන්නු විදියයි, සාමාන්‍ය දැනීම, ගණිතය ගැන තිබුණු විභාගයයි නිසා මට ඒ ක්ෂේත්‍රය ගැන කැමැත්තක් ඇති වුණා. ඒකෙන් වැඩිම ලකුණු ගත්ත පස්දෙනා තමයි තෝරා ගත්තෙ. පළවැනි ඉන්ටර්විව් එක, ඒකෙන් පාස් වෙලා ඉක්මනට ලියුම ආව එක... මේවා නිසා මට මේ රැකියාව කරන්න ආසාවක් ආවා. එතැනින් තමයි මම මේ ක්ෂේත්‍රයට පය තැබුවෙ. එදා මම ගත්ත තීරණය හරි. විද්‍යා හා පරිගණක විෂයයන් කළ මම වෙනම ක්ෂේත්‍රයක තමයි වැඩ කරන්න පටන් ගත්තේ.

lමොනවද අභියෝග?

ඒක ඒ කාලෙ ආණ්ඩුවෙ ආයතනයක්. එතන හිටිය ගොඩක් අය කැමැති වුණේ නෑ පුහුණු කළමනාකරුවන් ගන්නවට. හැබැයි පාලානාධිකාරියේ ගොඩක් අය අපට උදව් කළා. එ් කාලෙ සාමාන්‍යාධිකාරී විදියට හිටියෙ නිමල් පෙරේරා මහත්මයා. එයාලා අපට දැනුම වැඩිදියුණු කරගන්න අවස්ථා දුන්නා. වගකීම් පැවරුවා. ගොඩක් උදව් කළා. සම්පූර්ණ වගකීම මටයි තව පුහුණු කළමනාකරුවෙකුටයි දුන්නා. අපිට ගොඩක් සේවාදායකයන් එක්ක කතා කරන්න අවස්ථාව ලැබුණා. ඒ කාලෙ ගෘහ සේවිකාවන් විදියට යන කාන්තාවන් එක්ක අපට වැඩ කරන්න වුණා. ඒ අය විවිධ කරදරවලට මුහුණ දුන්නම ඒ අය වෙනුවෙන් ප්‍රතිපත්තියක් ( policy) අපි හැදුවා.

lසේවාදායකයන් හමු වෙන එක, ඔවුන්ගේ අවශ්‍යතා පූර්ණය කරන එක ඔබ කැමැත්තෙන් ද කළේ?

ඔව්, මම ගොඩක් කැමැති වුණා. මට එතකොට තමයි තේරුණේ මිනිස්සු එක්ක කතා කරන රැකියාවක් තමයි මට ගැළපෙන්නෙ සහ මම ආස කියලා. මම මිනිස්සු එක්ක ගැවසෙන්න ආස කෙනෙක් කියලා මටම තේරුණා. ඒකාකාරී වෘත්තිය ජීවිතයකට වඩා මේ ජීවිතේ සතුටක් කියලා මට හිතුණා.

lරක්ෂණ ක්ෂේත්‍රයට අදාළ සුදුසුකම් සම්පූර්ණ කර ගන්න ඔබ යොමු වුණාද?

ඔව්, මම හිතුවා මේ ක්ෂේත්‍රයට අදාළ විභාග කරන්න ඕන කියලා. ඇත්තටම නිමල් පෙරේරා මහත්මයා තමයි අපිට කිව්වෙ විභාග ටික කරන්න පටන් ගන්න කියලා. ඒ කාලෙ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරිනුත් අපිව දිරි ගැන්වුවා. ඒ වගේම ඒ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය වියදම් එහෙමත් ආයතනයෙන් ලබා දුන්නා. එයාලට ඕන වුණේ ආයතනය දියුණු කරන්න සුදුසුකම් සහිත අය නිර්මාණය කරගැනීමට. මම විෂයයන් 3ක් කරලා ඉවර කළා. හැබැයි මගේ පුතා ලැබෙන්න ඉද්දි මම ඒ දේවල්වලින් ඈත් වෙලා ඒ සඳහා මූලිකත්වය දුන්නා. අනික් අය ඔක්කොම විභාගෙ සම්පූර්ණ කළා.

lඒ කැප කිරීමෙන් ඔබ වෘත්තීය ජීවිතේ පසුපසට ගියා කියලා හිතුණෙ නැද්ද?

ඇත්තටම නෑ. මම හිතුවෙ මගේ පුතා අඩුම වශයෙන් පහ වසරට යනකම් මම එයා එක්කම ඉන්න ඕන කියලා; එයාට මූලිකත්වය දෙන්න ඕන කියලා. මමයි ඒ තීරණය ගත්තෙ. ඒක මම ගත්ත හොඳම තීරණයක්.

lඔබේ කැපවීම නිසා පවුලේ දියුණුවක් සිදු වුණාද?

මගේ සැමියා එයාට අවුරුදු 29 වෙද්දි ප්‍රධාන විධායක නිලධාරියෙක් වුණු කෙනෙක්. මට තීරණය කරන්න වුණා, කාටද ඉදිරියට යන්න වැඩියෙන් ඉඩ දෙන්නෙ කියලා. මම අඩියක් පසුපසට තියලා මගේ සැමියාට ඉදිරියට යන්න ඉඩ දෙන්න තීරණය කළා. පවුලක් විදියට එකට සතුටෙන් ඉඳීම තමයි ගොඩක්ම වැදගත් වෙන්නෙ. අපේ ගෙවල්වල අපි දැකපු තත්ත්ව වුණත් එහෙමයි. මම ආදර්ශයට ගත්තෙ මගේ ගෙදර මම දැකපු විදිය. මගේ පුතා ගොඩක් දක්ෂ හොඳ ළමයෙක්. මම තමයි ගෙදර ඉඳන් එයාට විද්‍යාව හා ගණිතය ඉගැන්නුවෙ. පුතා ඉගෙනීමේ කටයුතු වගේම ක්‍රීඩා කටයුතුත් හොඳටම කළා. ඉතින් මම හිතන්නේ මම ඒ තීරණය ගත්ත නිසා තමයි අද මගේ පුතා හොඳ තැනක ඉන්නෙ; ඒ වගේම අපේ පවුල සාර්ථක වුණෙත්.

lපුතා ලොකු වුණාට පස්සෙ ඔබ යළිත් කාර්යබහුල වෘත්තිකාවක බවට පත් වෙනවද?

ජාතික රක්ෂණ ආයතනය පෞද්ගලීකරණය කළ එකට මම එච්චර කැමැති වුණේ නෑ. මට ඕන වුණේ හැම තිස්සෙම රජයට සම්බන්ධිත ආයතනයක වැඩ කරන්න. පවුල් සමාගමක ඉන්න මට එච්චර කැමැත්තක් නෑ. අපේ සාමාන්‍යාධිකාරී ගියා HNB බැංකුවෙන් අලුතෙන් පටන් ගන්න ඉන්ෂුවරන්ස් ආයතනයට. එයා මගෙන් ඇහුවා මේ ආයතනය පටන් ගන්න උදව් කරන්න එන්න පුළුවන්ද කියලා. සම්මුඛ පරීක්ෂණයෙන් පස්සෙ මාව තාක්ෂණ අංශයේ ප්‍රධානියා විදියට බඳවා ගත්තා.

lකාන්තාවක් වීම නිසා අභියෝග වැඩි වුණාද?

සමහර පිරිමි බොස්ලා කාන්තාවකට මේ දේවල් කරන්න පුළුවන්ද කියලා හිතන අවස්ථාවලට මුහුණ දීලා තියෙනවා. දරුවගෙ ප්‍රශ්නයක් එයිද, ඒක නිසා නිවාඩු ගනියිද නැත්නම් ගර්භනී වුණොත් මොකද කරන්නෙ මේ වගේ දේවල් හිතන අය ඉන්නවා. මම එක ආයතනයකින් තව එකකට එද්දි මගේ බොස් කෙනෙක් අහලා තිබුණා, එයාට මේ තරම්ම වගකීමක් දෙද්දි කාන්තාවක් විදියට ආවේණික ගැටලුවකට මුහුණ දෙන්න වුණොත් මොකද කරන්නෙ කියලා. ආයතනය පැත්තෙන් බැලුවහම මාස 4ක නිවාඩුවක් කියන්නෙ විශාල කාලයක්. සමහර පිරිමි අය හිතනවා පිරිමියෙක් වගේ කාන්තාවකට රැකියාව සම්බන්ධව සම්පූර්ණ දායකත්වය දෙන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි හැමෝම නොවෙයි.

lදක්ෂතාවට හා කැපවීමට ස්ත්‍රී පුරුෂ භාවය බලපානවද?

එහෙම නෑ. එක එක අයගේ විදිය අනුවයි ඒක තීරණය වෙන්නේ. ඒක තනි පුද්ගලයන් විදියට බලපාන දෙයක්. මට බොහොම කැපවීම් කරන පිරිමි හා ගැහැනු දෙකොට්ඨාසයම හමුවෙලා තියෙනවා. ඒක පුද්ගල ආකල්ප මත තීරණය වෙන එකක්.

lකාන්තාවක් වීම නිසා පසුපසට වෙන්නට වුණු අවස්ථාවලට මුහුණ දීලා තියෙනවාද?

මට එහෙම නෑ. හැබැයි මම එහෙම වුණු අය ගැන අහලා තියෙනවා. මගේ වාසනාවට මට හමුවුණු ආයතන ප්‍රධානීන් සියල්ලන්ම වගේ මාව අගය කරන ප්‍රධානීන්. මම HNB ගියාම කළමනාකරණ අධ්‍යක්ෂවරයා වුණු මංජුල සිල්වා මහත්මයා මාව ගොඩක් අගය කළා. ඒවගේම මගේ හැකියාවන් වර්ධනය කරන්න මාව ගොඩක් පුහුණුවීම්වලට යැව්වා. එයා මගේ විභාග ටික කොහොමහරි මට කියලා කෙරෙව්වා. මගේ ඊළඟ වෘත්තීය අදියරට මාව යොමු කරන්න එතුමා ගොඩක් උදව් කළා. එයා කිව්වා ගෙදර ඉඳන් හරි කමක් නෑ, වැඩේ හරියට, වෙලාවට කරන්න කියලා. පවුල වැදගත්. ඒකත් එක්ක වෘත්තීය ජීවිතෙත් හරියට කරන්න කියන උපදේශය හා මඟ පෙන්වීම මට ලැබුණා. මොකද ගෙදර ජීවිතේ ලස්සනට හොඳට ගෙවනවා නම් තමයි සතුටෙන් ඉන්න සේවකයෙක් ආයතනයකට ලැබෙන්නෙ.

lමේ සියල්ල අතරෙ ඔබ කැනඩාවට යනවා. ඔබේ වෘත්තීය ජීවිතේ හොඳම අවදියකදි ඔබ රටෙන් පිට වෙන්නෙ

ඒ කාලෙ යුද්දෙ දරුණුවට යන දවස්. ඒ නිසා අපි කැනඩාවට ස්ථීර පදිංචියට ඉල්ලුම් කළා. පුතා ගැනත් බය හිතුණා. ඉස්කෝල වහනවා, පාරවල් එකපාර වහනවා, බෝම්බ පිපිරෙනවා. ඉතින් අපි හිතුවා රටෙන් යන්න. අපි කැනඩා ඉද්දි යුද්දෙත් ඉවර වුණා. ඉතින් අපි ආයෙත් ලංකාවට ආවා.

lලංකාවට ඇවිත් ආයෙත් රක්ෂණ ක්ෂේත්‍රයටම ද ඇතුළත් වෙන්නේ?

මට නිමල් පෙරේරා මහත්මයාම ඊමේල් පණිවිඩයක් එවලා තිබුණා People's Insurance PLC කියලා නව ආයතනයක් පටන් ගන්නවා, ලංකාවට එනවා නම් එකතු වෙන්න කියලා. මම ඒකට කැමැති වුණා. මේ ආයතනයට එන්නෙ එහෙමයි.

lතමන්ගෙ සේවකයන් එක්ක ඔබේ ගනුදෙනුව කොහොමද?

මම හිතන්නෙ සහ විශ්වාස කරන්නෙ ඒ අය එක්ක යාළු වෙලා ඉන්න ඕන කියලා. පවුල් සංස්කෘතියෙ හිටියොත් එක්කෙනෙක් අතින් මග හැරුණු දෙයක් වුණත් අනෙක් කෙනෙක් හරි කරනවා. මට අයිති එකක් නොවෙයි කියලා කවුරුත් මග හරින්නෙ නෑ. අවබෝධයෙන්, හා එකමුතුවෙන් එකිනෙකාට උදව් කරමින් හැමෝම සතුටෙන් ගොඩක් වැඩ කරනවා.

lකාන්තා ප්‍රධානියෙක් වීම ඔවුන් එක්ක වැඩ කිරීමට පහසුවක්ද; නැත්නම් ප්‍රශ්න ඇතිවෙන සුළු ද?

කාන්තා ප්‍රධානියෙක් කියන එකේදී රැකවරණයක්, අවබෝධයක් තමන්ට තියෙනවා කියන හැඟීම සහ ආදරය සේවයකයන් අතර තියෙනවා. අම්මා කෙනෙක් දිහා බලන හැඟීමෙන් ඒ අය මම දිහා බලනවා. කොහොමත් අපිට ඉන්නෙ ගොඩක් පාසලෙන් ඉවත් වුණු විගස ආයතනයට බැඳුණු දරුවන්. ඒ අය හරි පැවතුම් තියෙන, වැදගත්කමෙන් යුතු කාන්තා ප්‍රධානියෙක්ට තියෙන බැඳීම වැඩියි කියලයි හිතෙන්නෙ. මටත් ඒක තියෙනවා, මම දන්නවා ඒ අයගේ සිතිවිලි සහ ඕනෑ එපාකම්. ඒක අපි දෙගොල්ලන්ටම ඒ නිසා පහසුවක්.

lවත්මන් ප්‍රධානීන් ගෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද?

ඇත්තටම මම ඒක මතක් කරන්නම ඕන. මගේ ප්‍රධානියා ඩී. පී. කුමාරගේ මහත්මයා, ඉතා හොඳ සවන් දෙන්නෙක් සහ අපිට ඉදිරියට යන්න උදව් කළ කෙනෙක්. පවුල සහ රැකියාව දෙකම හොඳට කරගෙන යන්න මට පුදුමාකාර සහයෝගයක් දුන්නා. මම හිතුවෙ හැම තිස්සෙම මගේ පුතා තමයි මගේ එක කියලා. මට ඒ මගේ පවුලේ අවශ්‍යතා වගේම අනෙක් සියල්ල හොඳට සමබරව කරගෙන යන්න ඒ අය උදව් කළා. ආයතනයේ සභාපති ඉසුරු බාලපටබැඳි මහත්මයාත් කාන්තාවන් ඉදිරියට යා යුතුයි කියලා විශ්වාස කරමින් ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙන කෙනෙක්. මට මේ වගකීම බාර දීමත් එහි කොටසක්. මගේ ජීවිතේ මට ඉතා හොඳ ප්‍රධානීන් ලැබුණා. ඒක මගේ වාසනාවක්.

lසාර්ථකත්වයට හේතුව කියලා හිතන්නෙ මොකද්ද?

හරි වෙලාවට හරි තීරණය ගැනීම වැදගත්. වෘත්තීය ජීවිතේ ගැනම විතරක් හිතලා දරුවා සේවිකාවන් ළඟ තියලා, පවුලේ වගකීම් පැහැර හැරීම මම හිතන්නෙ එච්චර හොඳ නෑ. මම අපේ ගෙදර සංස්කෘතිය විදියට තමයි මගේ ගෙදර සංස්කෘතිය හැදෙන්න ඕන කියලා හිතුවෙ. අම්මා කළ දේම මමත් කළා. හෘදයාංගම බැඳීම් ජීවිතයට ඕන. මට ඒකෙන් සැනසීමක් ලැබුණා. තමන්ගෙ පවුලෙ ප්‍රශ්න තියෙනවා නම් කලබල වුණු, දරුණු පුද්ගලයෙක් තමයි රැකියා ස්ථානයට එන්නෙ. ඒ නිසා තමන්ගෙ පවුල කියන කාරණාව හරියට සමබර කරගෙන යුතුකම් වගකීම් ඉටු කරමින් තමයි මම මේ ගමන ආවෙ. අද ඒක මට ලොකු සතුටක්.

lකවුද ඔබේ ජීවන සහකරු? මොන කාලෙද විවාහ වෙන්නෙ?

මම අවුරුදු 27 දී විවාහ වුණේ. ප්‍රේම සම්බන්ධයකින් පස්සෙ අපි විවාහ වුණේ. ඔහුගේ නම චමින්ද හේවාමල්ලික. අපිට එක පුතෙක් ඉන්නෙ. පුතාගෙ නම රෙහාන්. එයා උපදින්නෙ 1999දි. දැන් කැනඩාවෙ තමයි පදිංචි.

lපොත් කියවන්න කැමැතියිද?

මම ගොඩක් කියවන්නෙ කළමනාකරණයට අදාළ පොත්

lසංචාරය කරන්න කැමැති කොහේද?

අපි තුන්දෙනා සිංගප්පූරුවෙදි හමු වෙලා විවිධ රටවල ඇවිදින්න යනවා. මට ඇත්තටම මගේ සැමියා ඉන්න තැනට යන්න පුළුවන්. ඒත් සැමියා කියන්නෙ මට පවුලෙ වගකීම් අඩු වුණු වෙලාවෙ, පුතාත් ස්වාධීන නිසා මගේ වෘත්තීය ජීවිතේ ආස තැනට යන්න කියලා. මම ආස තැනට ආවට පස්සේ මගෙ ක්‍රමය හා අත්හදාබැලීම් කරමින් ආයතනය දියුණු කරලා ඒකෙන් සතුටක් ලබන්න කියලයි ඔහු කියන්නෙ. ඒකෙන් මොකද මම අවශ්‍ය වෙලාවෙ පසුපසට ගිහින් මගේ වෘත්තීය ජීවිතේ යම් නැවතීමක් කළ නිසා.

Comments