විහඟනාගේ හදවතට පණ දී සමුගත් ජීවක දියණිය | Page 2 | සිළුමිණ

විහඟනාගේ හදවතට පණ දී සමුගත් ජීවක දියණිය

- ශල්‍ය කර්මය සාර්ථක වුවද, එය දරා ගැනීමට සුදුසු කායික ශක්තියක් ඇයට තිබුණේ නැහැ
- ඇයගේ එකම සහෝදරයාත් ස්නායු විශේෂඥ වෛද්‍යවරයෙක්. ඉන්දීය විශේෂඥ වෛද්‍යවරු ගෙන්වා ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික වියදමින් 
- විදේශ රටවල මේ ශල්‍ය කර්මය කිරීමට හැකියාව තිබුණත් ඇයට අවශ්‍ය වූයේ මෙය ලංකාවේදී සිදු කරන්නටයි
- 19 වතාවක් අවයව ලැබුණත් ඒවා සාර්ථක වී නැහැ

ය දිල්මා නාමිනි පල්ලියගුරුගේය. ලංකා වෛද්‍ය ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් එක් අයකුට එකම අවස්ථාවකදී හදවත හා පෙණහලු දෙකම එක්වර බද්ධ කිරීමේ සුවිශාල සැත්කමක් සඳහා මුහුණ දුන්නේ ඇය ය. පසුගිය 25 වැනිදා ජීවිතයත් මරණයත් අතර දෝලනාත්මක වන ඒ බිහිසුණු ශල්‍ය කර්මයට මුහුණ දුන් ඇය ලංකාවේ සිටින අති සීමිත නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් අතරින් කෙනෙකි. ඇයට ජීවත් වන්නට වරම් දී සිය හදවත හා පෙණහලු දෙකම මේ වෛද්‍යවරියට ලබා දී ජීවිතයෙන් සමුගත් විහඟනා ආරියසිංහ දියණිය උතුම් පුණ්‍ය කර්මයකට දායක වූව ද, ඒ පිහිටෙන් සිය ජීවිතය ගත කරන්නට දිල්මා නාමිනි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියට හැකිවූයේ මසකට ආසන්න කාලයකි. අති දක්ෂ ලෙස සිය වෘත්තීය ජීවිතය හැසිරවූ අවුරුදු 50 ක් වයසැති මේ විශේෂඥ වෛද්‍යවරිය සිය ජීවිතයෙන් සමු ගත්තේ පසුගිය 28 වැනිදා ය. ඇයට වැලඳී තිබුණු මේ රෝගය සුව වන්නට වරම් අහිමි වුව ද ඇය වෛද්‍ය ඉතිහාසයේ රන් පිටුවක් පෙරළුෑ තවත් කාන්තාවක්ම විය. 

විශේෂඥ වෛද්‍ය දිල්මාට සිටියේ එක් සහෝදරයකු පමණි. ඔහු දිලුම් පල්ලියගුරුගේය. ඔහුද කුරුණැගල ශික්ෂණ රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙකි. 1973 මාර්තු 19 වැනි දින උපන් ඇය හැදුණේ වැඩුණේ ද මාතරය. මාතර සුජාතා විදුහලෙන් ඉගෙන ගත් ඇයගේ මව මාතර සුජාතා විදුහලේම ගුරුවරියකි. උසස් පෙළ අධ්‍යාපන කටයුතු කරන අවදියේදි ඇයගේ පියා ඔවුන් අතරින් වෙන්වූයේ ඔහුගේ හදවත් බද්ධයකට ඉන්දියාවේ රෝහලකට ගොස් සිටියදීය. එතැන් සිට මවගේ රැකවල් මැද සිය ස‍ෙහ­ා්දරයත් සමඟ වෛද්‍ය අධ්‍යාපනය දක්වා තරණය කළ මේ අක්ක මලෝ කරාපිටිය වෛද්‍ය විද්‍යාලයෙන්ම සමත්ව වෛද්‍යවරු බවට පත් වුහ. දිල්මාගේ සොහොයුරු ස්නායු රෝග විශේෂඥවරයෙකු ලෙස පත් වෙද්දී ඇය බොහෝ දෙනෙක් නොයනා නිර්වින්දන විශේෂඥ වෛද්‍ය වෘත්තියට යොමු විය.

2005 වසරේදී ඇය නිර්වින්දන ස්නායු පශ්චාද් උපාධිය සමත්ව සායනික පුහුණුව සඳහා පෙනී සිටියාය. ඇයට සිය රෝග ලක්ෂණ ඉස්මතු වන්නේ 2009 වසරේදීය. ඒ වන විට ඇයට මේ සම්බන්ධ රෝග ලක්ෂණ ටිකෙන් ටික ඉස්මතු වන්නට විය. හදවතේ සිට පෙණහලු දක්වා රුධිරය ගමන් කරන කිරීටක ධමනියේ අභ්‍යන්තරයේ ඇතිවන පීඩනය වැඩි වීමෙන් ඇති වු මෙවන් රෝග තත්ත්ව ඇති වන්නේ ඉතා කලාතුරකිනි. මීට හේතුවක් වෛද්‍ය විද්‍යාවේ තවමත් සොයා ගෙන නැත. මුල් අවදියේ මේ රෝග තත්ත්වය ඖෂධවලින් පාලනය කළ ද, අවසාන ප්‍රතිකාරය වී ඇත්තේ හදවත හා පෙණහලු බද්ධ කිරීම පමණි. මෙය හදවත හා පෙණහලු අතර තිබෙන රෝගී තත්ත්වයක් නිසා කල්යාමේදි මේ රෝගයෙන්ම පෙණහලු හා හදවත නරක අතට පෙරළීම සිදුවන බව වෛද්‍යවරු පවසති.

දිල්මා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය මුලින්ම මේ රෝගය දැනගත් පසු රෝගය පාලනය කර‍ෙගන ඇත්තේ ඖෂධ මඟිනි. මේ වන ඇය රාගම ශික්ෂණ රෝහලේ පුහුණුවද පසුව කොළඹ මහ රෝහලේද පුහුණුව ලැබූයේ රෝගයට ප්‍රතිකාර නොකඩවා ලබා ගනිමිනි. 2012 වසරේදී පශ්චාද් උපාධි පුහුණුවේ දෙවැනි අදියර ද ඇය සමත් විය. අනතුරුව ඇය තවත් වසර දෙකක පුහුණුව ද ලැබූවාය. අනතුරුව ඇය කන්තලේ, තිස්සමහාරාම, අනුරාධපුර ආදි දුෂ්කර පළාත්වල ද පුහුණුව ලැබූයේ දරුණුවට නොතිබුණ ද, මේ අසනීප තත්ත්වය ඖෂධ මඟින් පාලනය කරමිනි. ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක ඇයගේ වෛද්‍යවරයා විය. ඇයට විදේශ පුහුණු සඳහා යාමට තිබුණු විවිධ අවස්ථාද මේ වන විට කල්ගත වෙමින් තිබුණද, ඇය 2013 වසරේදී විදෙස් පුහුණුව සඳහා එංගලන්තය බලා පිටත් විය. එංගලන්තයේදි මෙම නිර්වින්දන විශේෂඥ පුහුණුව අවසන් කරන අයට ලොව විශාල ඉල්ලුමක් පවතියි. ඇය ඒ කාලයේ එංගලන්තයේදී මෙම හදවත් පෙණහලු බද්ධයට ලියාපදිංචිව සිට ඇත. මේ ශල්‍ය කර්මය ඇයට එංගලන්තයේම පහසුවෙන් සිදුකර ගැනීමට අවස්ථාව තිබුණි. මේ වන විට ඇයගේ සහෝදරයාද එංගලන්තයේ විශේෂඥ වෛද්‍ය පුහුණුව ලබමින් සිටි අතර ඔවුන් සියල්ල අවවාද කර ඇත්තේ එරට නැවති මේ ශල්‍ය කර්මය සිදුකර ඇයට එහිම රැකියාව කරන ලෙසයි. නමුත් තමන් ඉගෙන ගත් රටට සේවය කරීමේ දැඩි අදිටන ඇයට විය. මේ නිසා අවදානම පසෙක ලා ඇය 2015 දී නැවත ලංකාවට පැමිණියාය. ඇය බොහෝ සෙයින් වෛද්‍ය විද්‍යාව ගැන විශ්වාස කළා සේම කෙදිනක හෝ මේ සඳහා ප්‍රතිකාර සොයා ගන්නා බවට ඇය තුළ විශ්වාසයක් විය. ඇය මෙරට වෛද්‍යවරු සමඟ ද පවසා ඇත්තේ ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය නොවන බවත්, තාක්ෂණයේ දියුණුව හේතුවෙන් ඉදිරියේදී තවත් ප්‍රතිකාර ක්‍රම සොයා ගැනීමට ඉඩ ඇති බවත්ය.

කෙමෙන් රෝගී තත්ත්වත් සමඟ කාලය ගතවද්දී ඇය අසනීප තත්ත්වය නොසලකා රට පුරා සිය රාජකාරිය ඉටු කරන්නට විය. අසනීප තත්ත්වය ඇය නොසිතූ පරිදි උග්‍ර වූයේ 2018 වසර වන විටය. ඒ වන විට ඇයට අවුරුදු 46 ක් විය. මේ හේතුවෙන් 2019 වසරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් වෛද්‍ය හේතු මත කළුබෝවිල රෝහලේ අතිරේක නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියක ලෙස ඇයට පත්වීමක් දුන්නාය. ලංකාවේ නිර්වින්දන වෛද්‍යවරු සිටින්නේ 100 කටත් අඩු සංඛ්‍යාවකි. මේ නිසා ලොව ඕනෑම තැනක මෙවන් වෛද්‍යවරුන්ට ඇත්තේ විශාල ඉල්ලුමකි. ඇය මේ වන විට සිටියේ ඔක්සිජන් මත යැපෙමිනි. ඇය ශල්‍යාගාරයට ගියේද, සියලු ගමන් බිමන් ගියේද විශේෂ ඔක්සිජන් සිලින්ඩරයක් බෑගයක තබාගෙනය. එයින් කුඩා බට දෙකකින් ඇයට ඔක්සිජන් ලැබෙන්නට විය. මේ වන විටත් ශල්‍ය කර්මයකට මෙරට සුදානම් වුවද ඒ අවස්ථාව හිමිවන තෙක් ඇය සිටියේ ඖෂධ මාත්‍රාව දිනෙන් දින වැඩි කරමිනි. ඒ වන විට රාජගිරියේ නැවැති සිටි ඇයගේ වාහනයේද ඔක්සිජන් සිලින්ඩරයක් විය. මේ වන විට ඇයට රෝග ලක්ෂණ පහළ වි වසර 15 ක් පමණ විය. 

ලංකාවේ මේ වන විට මෙවැනි බරපතළ ශල්‍ය කර්ම සිදු කර තිබුණේ නැති හෙයින් ශල්‍ය කර්මයට අවශ්‍ය දේ අලුතින් සුදානම් විය. වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා ධනාත්මක ප්‍රතිචාර දැක්වූ අතර ජාතික රෝහල් අධ්‍යක්ෂ හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කැඳවා මේ සඳහා පියවර ගැනීමට කටයුතු කළ අතර ඇයගේ ශල්‍ය කර්මය වෙනුවෙන්ම ශල්‍යගාරයක් සකස් කරන්නට ප්‍රතිපාදන වෙන් කෙරීය. ඒ 2020 වසරේ සිටමය. ජාතික රෝහලේ මීමැස්මොර රෝගීන් සඳහා වෙන්වූ ගොඩනැඟිල්ලේ අවයව බද්ධ කරන ස්ථානය මේ සඳහා නැවත අලුත්වැඩියා කිරීම යුහුසුලුව සිදු විය.

වාර්තා වන අන්දමට මේ විශේෂඥ වෛද්‍යවරියගේ ශල්‍ය කර්මය වෙනුවෙන් ක්ෂේත්‍රයේ අය අතරද කඹ ඇදිල්ලක් තිබී ඇති බව වාර්තා වෙයි. හෘද රෝග ශල්‍ය වෛද්‍යවරු, උරස් රෝග ශල්‍ය වෛද්‍යවරු, නිර්වින්දන වෛද්‍යවරු ඇතුළු පිරිසකගේ කණ්ඩායමක් මේ සඳහා අවශ්‍ය වුවද, ආකල්පමය දුර්වලතා නිසා මේ පිරිස් එක් රැස් කර ගැනීම දිනෙන් දින අඩපණ වන්නට විය. සමහරු ශල්‍ය කර්මයේ අවදානම නිසා එය සිදු කරන්නට මන්දගාමී වූ බව වාර්තා වෙයි. මේ සම්බන්ධ අදහස් දක්වන වෛද්‍යවරු පවසන්නේ මේ කඹ ඇදිල්ල ශල්‍ය කර්මය සිදු කිරීම සම්බන්ධ එකඟතාවයකට ඒම මාස 6 ක් ප්‍රමාද වූ බවය. අවසානයේ රෝහල් බලධාරීන්ට සිදු වූයේ මේ සඳහා අංක එක ජනප්‍රියත්වයක් උසුලන ඉන්දියාවේ චෙන්නායි වල MGM Healthcare හි විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ පිහිට පතන්නටය. මේ සඳහා ලංකාවෙන් විශේෂඥ වෛද්‍ය හඳගල, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කුමුදුණි රණතුංග ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ.

ඇය ඇඳ මතට වැටෙන්නට වූයේ රෝගයේ දරුණු බව නිසාය. වාහනය පදවමින් යන ඇයට හිටි හැටියේ ක්ලාන්ත ගතිය දැනෙන්නට විය. ඒ විටින් විට හදවත අකර්මණ්‍ය වීම නිසාවෙනි. අවස්ථා දෙක තුනකදී ඇය වැටෙන්නට ද ගොස් බේරුණි. මේ හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත ඇය රෝහල්ගත වන්නට සිදු විය. ඒ හරියටම මීට වසරකට පෙරය. මේ නිසා වසරක් යන තෙක් ඇය හෘද රෝග අංශයේ ඇඳක් මත විය.

මේ වන විට ශල්‍යාගාර හා විශේෂඥ වෛද්‍ය ප්‍රශ්නය විසඳුවද තවත් මාස 6 ක් ඇයට බලා සිටින්නට සිදු වූයේ තමන්ට සුදුසු පරිත්‍යාගශිලියකු හමුවන තුරුය. 19 වතාවක් ඇයට පරිත්‍යාගශීලින් හමුවුවද අවසන් මොහොතේ ඒ සියල්ල අකාරුණිකව අහිමිව ගියේ හදවත් දන් දෙන්නාගේ පෙණහලු ආශ්‍රිතව පවතින ගැටලු සහගත තත්ත්වයන් නිසාය. වෛද්‍යවරු පවසන්නේ මොළය මැරුණු රෝගියෙකු මැෂිමකට යොමු ව දින තුනක් පමණ යද්දී ඔහුගේ හදවත, පෙණහලුවලට විෂබීජ ඇතුළු වන බවය. එමනිසා පෙණහලු බද්ධයකට යන්නේ නම් මොළය මැරුණු රෝගියෙකුගෙන් එය පැය 48 ක් ඇතුළත ලබාගත යුතු වෙයි. දිල්මා වෛද්‍යවරිය අවස්ථා ගණනාවකදීම ඉතා බැගෑපත්ව සිය නිර්වින්දන වෛද්‍යවරියන්ගේ වෙබ් අඩිවියේ ද පළ කළේ හැකි ඉක්මනින් පරිත්‍යාගශීලියකු සොයා දෙන ලෙසය. මන්ද ඕනෑම රෝහලක කෙනෙකුගේ මොළය මැරුණු බවට මුල්ම තීරණය ලබා දෙන්නේ ඇය වැනිම වූ සිය සහෝදර නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් වීම නිසාය.

දිනෙන් දින ඇයගේ ශල්‍ය කර්මය ප්‍රමාද වෙද්දී ඇය ඉන්දීය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විමසා සිටියේ ඉන්දියාවේ මේ තත්ත්වය කෙසේද යන්නය. එරට වෛද්‍යවරු ඇයට පවසා ඇත්තේ ඉන්දියාවට පැමිණියහොත් පැය 24 ක් වැනි කෙටි කාලයක් තුළ එය ඉක්මනින් කළ හැකි බවයි. ඇයගේ මව, වෛද්‍ය සහෝදරයා මෙන්ම හිතවත් වෛද්‍යවරු පවා උපදෙස් දී ඇත්තේ ඉන්දියාවට ගොස් මේ ශල්‍ය කර්මයට මුහුණ දෙන ලෙසයි.

“මම අවුරුදු 50 ක් ජීවත් වුණේ මේ රටේ. ශල්‍ය කර්මයට මුහුණ දුන්නත් තව අවුරුදු 10 ක් සේවය කළ හැකියි. මැරුණත් මම මේ ශල්‍ය කර්මයට මුහුණ දෙන්නේ මේ රටේදීයි. මේ ශල්‍ය කර්මයට මුහුණ දුන් පළමුවැනි ලෙඩා මම වෙන්න ඕන. ලංකාවේ මේක කරන්න පුළුවන් කියලා මට පෙන්වන්න ඕන.” ඒ ඇයගේ තීරණය විය.

ඇයගේ 50 වැනි උපන්දිනය සැමරුවේද මාර්තු 19 වැනි දින රෝහලේදීය. පසුගිය 25දා කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන්ගේ විශේෂ කැපවීම මත මොළය මියගිය විහඟනා ආරියසිංහ දියණියගේ හදවත හා පෙණහලු ඇයට ලැබුණේ ඔවුන් අවධානයෙන් සිටි නිසාය. මේ ශල්‍ය කර්මයට ඇය මුහුණ දුන්නේ ඉතා හොඳ කල්පනාවෙනි. ඇය තුළ ශල්‍ය කර්මය සාර්ථක වන බවට සියයට සියයක දැඩි විශ්වාසයක් විය. ඇය සිය හිතවත් වෛද්‍යවරුන්ට පවසා ඇත්තේ ශල්‍ය කර්මයෙන් පසු ඇය බලන්නට සුදුසු අවස්ථාව ද දුරකතන පණිවිඩයක් මඟින් දැනුම් දෙන බවයි.

ශල්‍ය කර්මය සාර්ථක වී ඇය බලාපොරොත්තු වූ ආකාරයෙන්ම වෛද්‍ය ඉතිහාසයේ අලුත් පිටුවක් පෙර­‍ෙළන්නට විය. එහෙත් ජීවිතයේ අනියත බව පසක් කරමින් විහඟනා සේම විශේෂඥ වෛද්‍ය දිල්මා ද සමුගත්තේ අකාලයේය.

ඇයගේ ශල්‍ය කර්මය සාර්ථක වුවද මෙවැනි බරපතළ ශල්‍ය කර්මයට මානසිකව මුහුණ දෙන්නට ශක්තියක් තිබූ ඇයට ඒ සඳහා අවශ්‍ය කායික ශක්තිය තිබුණේ නැත. වෛද්‍යවරු පවසන්නේ ඊට හේතුව වී ඇත්තේ වසරක්ම ඇය රෝහල් සයනයක එකතැන සිටිම නිසා බවකි. මේ නිසාවෙන් ඇයගේ සිරුරේ මස් පිඩු දැඩි ලෙස දුර්වල විය. දිගටම ඔක්සිජන් මත යැපීමට ඇයට සිදු විණ‍ි. ඔක්සිජන් යන්ත්‍රය ඉවත් කර වෛද්‍ය උපදෙස් මත දැඩි ලෙස භෞතික ව්‍යායාම් සඳහා ඇයව යොමු විය. මේ සඳහා ඉන්දිය විශේෂඥ වෛද්‍යවරු සේම අපේ වෛද්‍යවරු ඇතුළු ජාතික රෝහල් කාර්ය මණ්ඩලය විශාල කැපවීමක් සිදු කළහ. ඉදහිට කතා කළ ද ශල්‍ය කර්මයෙන් පසු පෙර මෙන් ඇය තුළ සුවයක් තිබී නැත. මෙවැනි රෝගීන්ට නිතරම සිදුවන අවාසනාවන්ත තත්ත්වයක් වූ විෂබීජයක් සිරුරට ඇතුළු වීමෙන් අවාසානාවන්තව විහඟනා සේම එම හදවතින්ම දිල්මා ද මෙලොවින් සමුගත්තාය. වෛද්‍යවරු පවසන්නේ මෙවැනි ශල්‍ය කර්මයකින් රෝගියකු සාර්ථකව නැඟී සිටීමට නම් ඔහු හෝ ඇය සිය ශක්තියෙන් නැඟී සිටිය යුතු බවයි.

ඉන්දීය විශේෂඥ වෛද්‍යවරු මෙරටට ගෙන්වා නවාතැන් දීමේ සිට මේ සියලු වියදම් දරා ඇත්තේ ඇයගේ සහෝදරායා විසින් පෞද්ගලික වියදමිනි. නමුත් මේ ඉන්දිය වෛද්‍යවරු ඇය වෙනුවෙන් යම් සහනදායි වැඩ පිළිවෙළක්ද අනුගමනය කර ඇති අතර ඒ ඇයගේ විශිෂ්ට සේවාවට දක්වන කෘතගුණ දැක්වීමක් වශයෙනි. කොළඹ ජාතික රෝහලද ඇයට දැක්වූ දායකත්වය අති විශිෂ්ටය. නිර්වින්දන වෛද්‍යවරුන්ට ලොව ඇත්තේ විශාල ඉල්ලුමකි. මේ වන විට ලංකාවේ බොහෝ නිර්වින්දන වෛද්‍යවරු රට හැර ගොස් ඇත. මේ නිසාවෙන් අප සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමේ අවදානම බොහෝය. එවන් අවදානමක් පවතින වකවානුවක මේ නිර්වින්දන වෛද්‍යවරියගේ ජීවිතය ගොඩගැන්මට වෙහෙස වූ සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රධාන සෞඛ්‍ය බලධාරීහු, කොළඹ ජාතික රෝහල් පාලනාධිකාරිය ඇතුළු පිරිස ගත් වෙහෙස අගය කළ යුතුමය.


Comments