ඇහැට ඇඟිල්ලෙන් ඇන ක්‍රිකට් ලොක්කන් සල්ලං කළ අපේ කෙල්ලෝ | Page 2 | සිළුමිණ

ඇහැට ඇඟිල්ලෙන් ඇන ක්‍රිකට් ලොක්කන් සල්ලං කළ අපේ කෙල්ලෝ

- මෙතෙක් කාලයක් ක්‍රීඩිකාවන්ට ගෙවූ තරග මුදල අමෙරිකානු ඩොලර් 250 සිට 750 දක්වා ඉහළට
- තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන්ට පමණක් නොව සංචිතයේ අතිරේක ක්‍රීඩිකාවන්ටත් තරග මුදලින් 25% ක දීමනාවක්
- මේ ශක්තිමත්ව ඵල දරා තිබෙන්නේ මීට දශක තුනකට පමණ පෙර ග්වේන් හේරත් එක්ව ඔසවා තැබූ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවයි
- දිනන සෑම තරගයකටම ක්‍රීඩිකාවකට ඩොලර් 250ක බෝනස් මුදලක්

ර්තමානය වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කාන්තාවන්ගේ ක්‍රිකට් සහ පිරිමින්ගේ ක්‍රිකට් අතර ඇත්තේ අහසට පොළොව මෙන් දුරස් බවකි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නොම්මර එකේ ක්‍රීඩකයන් ෆෝබ්ස් සඟරාවට අනුව ලොව ධනවත්ම පුද්ගලයන් අතරට ඇතුළත් වූවද, ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට නම් තවමත් එතරම් මුදලක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයා ගැනීමට වාසනාවක් නැත. සැබෑව නම් 1975දී ලෝක කුසලාන තරගමාලාව පිරිමින් වෙනුවෙන් පැවැත් වූයේ කාන්තා ලෝක කුසලාන තරගාවලියක් පවත්වා වසර දෙකකට පසුවය. එහෙත් අදටත් ජනප්‍රියත්වය අතිනුත් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ඇත්තේ පිරිමින්ට වඩා පහළින්ය. ශ්‍රී ලංකාවේ තත්ත්වයත් ඊට දෙවැනි නැත. 

එවැනි තත්ත්වයක් තුළ චමරි අතපත්තුගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග දෙකම ජයග්‍රහණය කිරීම අගය කළ යුතු කාරණාවකි. ඔවුන් පළමු තරගයේදී පරාජයට පත් කළේ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමය. දෙවැනි තරගයේදී බංග්ලාදේශය පරාජයට පත් කළේය. මේ ජයග්‍රහණ දෙකම මෙරට කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ වෙනසකට බලපෑම් කළ සිදුවීම් බව ඉඳුරාම පැවසිය හැකිය. එසේ කියන්නේ මෙතෙක් කාලයක් මෙරට කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එතරම් සැලකිල්ලක් නොදැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඊයේ පෙරේදා ක්‍රීඩිකාවන්ගේ තරග දීමනාව තුන් ගුණයකින් ඉහළ දැමීමට කටයුතු කිරීම නිසාය. ඒ, විස්සයි20 ක්‍රීඩාවට පමණක් නොව එක්දින ක්‍රීඩාවට ද බලපාන පරිදිය. ඒ අනුව මෙතෙක් කාලයක් ක්‍රීඩිකාවන්ට ගෙවූ තරග මුදල අමෙරිකානු ඩොලර් 250 සිට 750 දක්වා වැඩි කර තිබේ. මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රිකට් විධායක කමිටුව මේ පියවර ගෙන ඇති අතර, එය පසුගිය ජනවාරි මස පළමු වැනිදා සිට බල පැවැත්වෙන පරිදි සිදු කිරීමට ද තීරණය වී ඇත. මීට අමතරව දිනන සෑම තරගයකටම ක්‍රීඩිකාවකට ඩොලර් 250ක බෝනස් මුදලක් ද පිරි නැමීමට කටයුතු කර ඇත. තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන්ට පමණක් නොව සංචිතයේ අතිරේක ක්‍රීඩිකාවන්ටත් එම තරග මුදලින් 25% ක දීමනාවක් ලබා දීමටත් පියවර ගෙන ඇත. ක්‍රීඩකයන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ලැබෙන වරප්‍රසාදයක් නැති බැවින් ප්‍රමාද වී හෝ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධියට මෙවැනි පියවරක් ගැනීම ක්‍රිකට් විධායක කමිටුව පැසසුමට ලක් කළ යුතු කාරණාවකි.

චමරි ප්‍රමුඛ වත්මන් කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී පෙරළිකාර දස්කම් දැක්වීම හා ඔවුන්ගේ තරග මුදල තුන් ගුණයකින් වැඩි කිරීමට ක්‍රිකට් විධායක කමිටුව පියවර ගැනීම ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව පෝෂණය කිරීමට නොයෙකුත් කම්කටොලු මැද පුදුමාකාර කැපවීමකින් කටයුතු කළ පැරැණි ක්‍රීඩිකාවන්ගේ හා කළමනාකාරීත්වයේ සතුටට හේතු වනු නිසැකය. මෙරට වත්මන් කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රය පැමිණි ගමන් මඟ හෙළිපෙහෙළි කරනු ලැබුවේ ඔවුන් විසිනි. විශේෂයෙන් එහි ගෞරවය හිමි විය යුත්තේ අනූව දශකයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟාසිටුවීමට අපමණ කැපවීමක් සිදු කළ ග්වේන් හේරත්ටය.

එවකට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් කවුන්සිලය (IWCC) යටතේ ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව පාලනය වූ යුගයේදී අනූව දශකය අගභාගයේ ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය ලබා ගැනීමට අපමණ වෙහෙසක් ගනු ලැබුවේ ඇය විසිනි. එවකට මෙරට කාන්තා ක්‍රිකට් පාලනය වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ නිර්මාතෘවරිය හා සභාපතිනිය ද ඇය වූ අතර, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රය වර්තමානයේ ලබා ඇති යම්කිසි ප්‍රගතියක් වේ නම් ඇය ද එහි කොටස්කාරිනියකි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 1997 වසරේ ඉන්දියාවේදී පළමු වරට කාන්තා ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වූයේ ග්වේන් හේරත්ගේ ඒ උත්සාහය ඵල දැරීමෙනි. ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නෙදර්ලන්තය සමඟ තරග 3ක එක් දින තරගාවලියකට ද ක්‍රීඩා කළ අතර, එය මෙරට කාන්තා ක්‍රිකට් පිල ජාත්‍යන්තර එක්දින තරග වරම් දිනා ක්‍රීඩා කළ පළමු අවස්ථාව ද විය. තරගාවලිය 2-1කින් පරාජය වීම වෙනම කාරණාවකි. ජයග්‍රහණය වන්නේ ජාත්‍යන්තර එක් දින තරග වරම් උදා කර ගැනීමය. ජාත්‍යන්තර තරග බිමේදී පළමුවරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායකත්වය දැරීමේ ගෞරවය දිනා ගැනීමට සමත් වූයේ විශිෂ්ට පිතිකාරිනියක වැනේසා බෝවන් (වැනේසා ද සිල්වා) පසුකාලීනව කාන්තා කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙසත් කටයුතු කළ අතර, වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරියකි. ඇගේ නායකත්වයෙන් පළමුවරට කාන්තා ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට වසන්ති නානායක්කාර, හිරුකා ප්‍රනාන්දු, ගංගා ද සිල්වා, රසාංජලි සිල්වා, චමනි සෙනෙවිරත්න, ගයත්‍රි කාරියවසම්, දෝන ඉන්ද්‍රලතා, තිලකා ගුණරත්න, රෝස් ප්‍රනාන්දු, කල්පනා ලියනාරච්චි, රමනී පෙරේරා, සුදර්ශනී සිවනන්දම් සහ තනූජා ඒකනායක ක්‍රීඩා කළහ. පුහුණුකරු වූයේ හිටපු කඩුලු රකින ක්‍රීඩක ගයි ද අල්විස් ය. සත්කාරක ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිතව තිබූ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමා තිබු අතර, බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පැවැති දෙවැනි තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. එම තරගාවලියේදී එක් ජයග්‍රහණයකින් පමණක් සෑහීමකට පත් වූවද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා පිල මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ජාත්‍යන්තර ප්‍රවේශයට දිරිය සම්පන්න බවක් එක් කළේය.

කාන්තා ක්‍රිකට් සංගමය යටතේ තිබූ මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව 2006 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර වූයේ ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් කවුන්සිලය අයිසීසීය සමඟ එක් වීමෙන් වසරකට පසුවය. මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධියට එය හේතුවක් වනු ඇතැයි එවකට ඇය ප්‍රකාශ කර තිබිණි. අයිසීසීයේ ද දැඩි ගෞරවයට පාත්‍ර වූ ග්වේන් හේරත්, මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එක්වීමට සති දෙකකට පෙර තනතුරෙන් ඉල්ලා අස්වූ අතර, කාන්තා ක්‍රිකට් සංගමය ද විසුරුවා හැරියාය. විශේෂයෙන් දැඩි ආර්ථික දුෂ්කරතා මැද කාන්තා ක්‍රිකට් පිල පවත්වා ගෙන යෑමට ඇයට සිදුවී තිබූ බැවින් ක්‍රීඩිකාවන්ට ප්‍රමාණවත් අයුරින් දීමනා ගෙවීමට ද කාන්තා ක්‍රිකට් සංගමයට එතරම් හැකියාවක් නොතිබිණි. ඒ වන විට මුළු තරගාවලියටම හෝ විදෙස් සංචාරයකට ක්‍රීඩිකාවන්ට ගෙවනු ලැබුවේ ඩොලර් 100 බැගිනි. ක්‍රිකට් ආයතනයට ඒකාබද්ධ වීමෙන් පසු ක්‍රීඩිකාවන්ගේ මූල්‍ය වටිනාකම ද ඉහළ යනු ඇතැයි ඇය විශ්වාසය පළ කර තිබිණි. එහෙත් එම තත්ත්වය ඇය අපේක්ෂා කළ පරිදි ඉක්මනින් උදා වූයේ නැත.

වසර 2006දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එක් වූ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට පසුකාලීනව තරග දීමනාව ඩොලර් 150ක් දක්වා වැඩි වූ බවත්, එය ඩොලර් 250 බවට පත් වූයේ 2016 වසරේ සිට බවත් කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයෙන් වාර්තා විය. එසේ නම් ඊයේ පෙරේදා එම මුදල තුන් ගුණයකින් වැඩි කර ඇත්තේ වසර 6කට පසුවය. 

"ඒ කාලේ අපි අතින් වියදම් කරගෙනයි සමහර සංචාරවලට ගියේ. ඒ වගේ තත්ත්වයක හිටියේ. ග්වේන් හේරත් මහත්මියගේ උත්සාහයෙන් තමයි අපිට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියට යන්න අවස්ථාව ලැබුණේ. ක්‍රිකට් ආයතනය ක්‍රීඩිකාවන් ගිවිසුම්ගත කිරීමට පියවර ගත්තට පස්සේ තමයි තරමක් වෙනස් වුණේ. ඒත් කාලෙන් කාලෙට ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙනස් වෙද්දී කාන්තා ක්‍රිකට්වලට ලැබෙන වරප්‍රසාදත් අඩු වැඩි වශයෙන් වෙනස් වුණා. අපිට හරියටම ක්‍රිකට් ආයතනයේ ගිවිසුම් ලැබෙන්න පටන් ගත්තේ 2013 වසරෙන් පසුවයි. 2013 ඉන්දියාවේ පැවැති එවර ලෝක කුසලාන තරගාවලියේදිත් අපි අද කණ්ඩායම කළා වගේ ලොකු පෙරළියක් කළා. අපි මූලික වටයේදී සත්කාරක ඉන්දියාව පරද්දලා තරගාවලියෙන් ඉවතට තල්ලු කළා. ඒ වෙද්දිත් ප්‍රබල කණ්ඩායමක් බවට පත්ව සිටි එංගලන්තයත් පරාජයට පත් කළා. චමරි අතපත්තු, යසෝධා මෙන්ඩිස්, දීපිකා රසාංගිකා, ශෂිකලා සිරිවර්ධන, ඉෂානි ලොකුසූරිය, ශ්‍රීපාලී වීරක්කොඩි, චමනි සෙනෙවිරත්න, සඳමාලි දොලවත්ත, දිලානි මනෝදරා, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර අපි හැමෝම කණ්ඩායම් හැඟීමෙන් එක වගේ සෙල්ලම් කළා."එවකට කාන්තා ක්‍රිකට් පිලේ හිටපු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක ලියුම්කරු සමඟ එසේ කීවාය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලෝක කුසලාන තරගාවලියක සුපිරි වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාස ගත විය.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එක්වීමෙන් මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව යහපත් මෙන්ම අයහපත් සිදුවීම්වලට ද මුහුණ පෑ බව නොකියාම බැරිය. විශේෂයෙන් ඇතැම් පුහුණුකරුවන් සහ පරිපාලකයන් ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන තත්ත්වයක් මතු වීමත්, එමඟින් ක්‍රීඩිකාවන්ට එල්ල වූ මානසික පීඩනයත් ක්‍රීඩාවට දැඩිව බලපෑවේය. අවසානයේදි එම සිදුවීම හෙළිදරවු විය. ජාතික කණ්ඩායමට එක්වීමට නම් පුහුණුකරුවන්ට, කළමනාකරුවන්ට සහ පරිපාලන නිලධාරීන්ට ලිංගික අල්ලස් ලබා දිය යුතුව ඇතැයි ඇතැම් ක්‍රීඩිකාවන්ගෙන් අනාවරණය විය. එම සිදුවීම් එක් රැයකින් සිදු වූවක් නොවීය. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රිකට් ආයතනයට එක්වීමෙන් පසු ක්‍රම ක්‍රමයෙන් එවැනි සිදුවීම් රහසේම සිදු වූ බවට ද තොරතුරු වාර්තා විය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ හිටපු ඇතැම් පුහුණුකරුවන්ගේ අයුතු යෝජනාවලට අවනත නොවීමත් තේරීම් කමිටුවට ඔවුන් සිදු කළ බලපෑම් විවේචනය කිරීමත් නිසා තමා ඇතුළු දස්කම් අතර සිටි බොහෝ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවෙන් ඉවත් වීමට සිදු වූ බව එවකට හිටපු විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩිකා චමනී සෙනෙවිරත්න පසුකාලීනව මේ ලියුම්කරු සමඟ කියා සිටියේ ඇය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා පිල නියෝජනය කිරීමට රටින් පිට වී වසර කිහිපයකට පසුවය. ඇය කීවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ හිටපු පුහුණුකරුවන් කිහිපදෙනකුගේ එවැනි අයුතු යෝජනා නිසා ඇය සහ තවත් විශිෂ්ට ක්‍රීඩිකාවන් කිහිප දෙනකුටම මේ ඉරණම අත් වූ බවය. 

මේ වන විට එම තත්ත්වය බොහෝ දුරට වෙනස් වී ඇති අතර, යොවුන් ක්‍රීඩිකාවන් ජාතික මට්ටම දක්වා සේන්දු වීමේ ප්‍රවණතාව ද ඉහළ යමින් පවතී. එය මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ප්‍රගතියට ප්‍රබල සාධකයක් ද වේ. විශේෂයෙන් විශ්මි ගුණරත්න, හර්සිතා මාධවී, කවීෂා දිල්හාරි වැනි යොවුන් ක්‍රීඩිකාවන් ද, චමරි අතපත්තු, ඉනෝකා රණවීර, ඕෂධී රණසිංහ, සුගන්ධිකා කුමාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනි හා අමා කාංචනා වැනි ප්‍රවීණ ක්‍රීඩිකාවන් ද එක සේ දස්කම් දක්වමින් ශ්‍රී ලංකා කාන්තා පිල ශක්තිමත් කරමින් සිටිති. ශ්‍රී ලංකා කාන්තා පිලට දස්කම් සපිරි ක්‍රීඩිකාවන් සපයන නැඟී එන කණ්ඩායමේ සංචිතයත් දස්කම් ඇති ක්‍රීඩිකාවන්ගෙන් සමන්විතය. ඊට පහළින් අවුරුදු 19න් පහළ බාලිකාවන්ගේ සංචිතයක් ද වේ. එහි සිටින්නේ ද ජාතික මට්ටමේ දස්කම් පෙන්වන යොවුන් ක්‍රීඩිකාවන් පිරිසකි. මේ වන විට ජාතික කණ්ඩායම නියෝජනය කරන 17 හැවිරිදි විශ්මි ගුණරත්න ද ඒ අතර සිටී. ඇය අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ නායිකාව ද වන්නීය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරග දෙකම ජය ගනිමින් ඉතිහාසයේ පළමු වතාවට කාන්තා ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම ආසන්නයටම පැමිණි ශ්‍රී ලංකා කාන්තා පිල තුන්වැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් වූවද, අවසන් පූර්ව තරගයකට එක්වී ඉතිහාස ගතවීමට තවත් අවස්ථාවක් ඉතිරිව තිබේ. ඉරිදා එම තරගය පැවැත්වෙන්නේ නවසීලන්තය සමඟිනි. පළමු තරග දෙකම පරාජයට පත්ව දැඩි පසුබෑමකට ලක්වී සිටින නවසීලන්ත පිල පරාජය කිරීමට අවශ්‍ය හැකියාව මෙන්ම මානසික ඒකාග්‍රතාව ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතර සම සමව තිබේ. මෙතෙක් දැක්වූ සාර්ථකත්වය මෙරට කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ මීළඟ පරපුරට වැඩි දස්කම් දැක්වීමට විශාල පන්නරයක් ගෙන දෙනු ඇත. එය සාර්ථක වන්නේ ඒ සඳහා පසුබිම සකස් කිරීමට ක්‍රිකට් ආයතනය ගන්නා පියවර මතය. මේ වන විට ශක්තිමත්ව ඵල දරා තිබෙන්නේ මීට දශක තුනකට පමණ පෙර ග්වේන් හේරත්ලා එක්ව ඔසවා තැබූ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවය. දැන් උදාවී ඇත්තේ අස්වනු නෙළන කාලයයි.

Comments