ලෝක කුසලාන වාර්තාවක් තියපු නුවරින් ආපු ක්‍රිකට් හපනා | Page 2 | සිළුමිණ

ලෝක කුසලාන වාර්තාවක් තියපු නුවරින් ආපු ක්‍රිකට් හපනා

 ඕ ලෙවල් A නමයයි - ඒ ලෙවල් A තුනයි අරන්

ෂැංග්‍රිලා බෝම්බයෙන් නූලෙන් බේරුණු

ක්‍රිකට් ක්‍රීඩාවට අවතිර්ණ වූ සියල්ලෝම කුඩා කල සිට පිත්තක් හෝ පන්දුවක් නිරන්තරයෙන් ම අතැතිව සිටි සියල්ලටම වඩා ඊට ඇලුම් කළ අයය. ඔහු ද එසේය. “අම්මා මට පාඩම් කියලා දෙනකොටත් මම පුංචි බැට් එකක් අතේ තියාගෙන ඉන්නවලු, එතකොට අම්මා මට බණිනවාලු බැට් එක පැත්තකින් තියලා පාඩම් කරන්න කියලා..“ එසේ කියමින් අප සමඟ කතාබහට එක් වූයේ වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලාභියා (ලකුණු 191) බවට පත් වූ යොවුන් ක්‍රිකට් ක්‍රීඩක හසිත බෝයගොඩ ය.

ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වූ ක්‍රීඩකයන් බොහෝ දෙනකු අධ්‍යාපනයට දක්ෂ වුවත් අධ්‍යාපන කටයුතු නිසි ලෙස අවසන් කිරීමට ඒ බොහෝ දෙනකුට නොහැකි විය. ඒ ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවට මුල් තැන දුන් නිසාය. එහෙත් හසිත එසේ නොවීය. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වන අතරතුර අධ්‍යාපන කටයුතුවල ද නියැළෙන්නේය.

වර්ෂ 1998 දෙසැම්බර් 21 මහනුවර දී උපත ලැබූ හසිත සිප් සතර ලබන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ ද එතැනිනි.

“මම සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9ක් ගත්තා. වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට A සාමාර්ථ 3ක් ගත්තා. ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා කළමනාකරණය පිළිබඳ උපාධිය හදාරනවා. දැන් මම අවසන් වසරේ ඉන්නේ. මම හැමදාම උත්සාහ ගත්තා ක්‍රිකට් හා අධ්‍යාපනය සමබරව කරගෙන යන්න. පාසල් කාලෙදි ඒකට පාසලෙන් සහයෝගය ලැබුණා වගේම දැන් මම නියෝජනය කරන NCC ක්ලබ් එකෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඊට අමතරව මගේ අධ්‍යයන කටයුතු සහ ක්‍රීඩා කටයුතු සමබරව කරගෙන යෑමට කොළඹ විශ්වවිද්‍යාලයත් සහයෝගය දැක්වුවා. විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ සංජීව ජයසිංහ මහතා මට ගොඩක් උදවු කළා.“

හසිතට උසස් පෙළ විභාගය සඳහා ගණිත හෝ විද්‍යා විෂයන් තෝරා ගැනීමට හැකියාව තිබියදීත් ඔහු තෝරා ගන්නේ වාණිජ විෂයන්ය. ඊට හේතුව ක්‍රිකට් ක්‍රීඩාවටත් මුල් තැන දීමටය. ඔහුගේ ආදරණීය පියා සංජය බෝයගොඩ සහ මව සුපිපි බෝයගොඩ යන දෙදෙනාම විශේෂඥ වෛද්‍යවරුන්ය. හසිතගේ නැඟණිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උසස් අධ්‍යාපනය ලබන්නීය. බාල සහෝදරයා උසස් පෙළ හදාරන්නේ ගණිත අංශයෙනි. මවත් පියාත් විශේෂඥ වෛද්‍යවරුන් වන නිසා එවැනි සිහිනයක් ඔහුටත් තිබුණා දැයි අපගේ පැනයට හසිත පිළිතුරු දුන්නේ සිනාමුසුවය.

“ඇත්තටම කිවුවොත් මට ඉගෙන ගන්නවට වඩා ඕන වුණේ ක්‍රිකට් ගහන්නයි. අම්මයි අප්පච්චියි කිවුවා විද්‍යා හෝ ගණිත විෂයන්ගෙන් උසස් පෙළ කරන්න කියලා. මම මගේ කැමැත්ත කිවුවා. මගේ ප්‍රශ්නෙත් කිවුවා. ඊට පස්සේ කිවුවා කැමති දේ කරන්න කියලා, නිදහස දුන්නා. මම හිතුවා වෛද්‍ය පීඨයට ගියොත් හෝ ගණිත අංශයෙන් උසස් පෙළ කළොත් ක්‍රිකට් ගහන්න බැරි වෙයි කියලා. ඒ විෂයන් අමාරු නිසා වැඩිපුර පාඩම් කරන්න ඕනෙනේ. හොඳට ඉගෙන ගත්තේ නැත්නම් අම්මගෙයි අප්පච්චිගෙයි හිත් රිදෙනවා. ඒ නිසා මම කොමස් කළා. ක්‍රිකට් නිසා මවුපියන්ගේ සිහිනය වූ වෛද්‍ය පීඨ සිහිනය මගහැර ගත්තත් මම දැන් මේ දෙක හොඳින් කරගෙන යනවා. මගේ හැමදාම හීනය වුණේ ක්‍රිකට් ගහන එකයි.“

හසිත පාසලේ ද කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. පාසලේ 13 පහළ සිට 19 න් පහළ දක්වා වේගවත් පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ ඔහු ඒ අතරතුර කිහිප වරක්ම පාසල් ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයත්වය ද දැරීය.

“මම ඉස්කෝලේ කාලේ ආසාවෙන් හිටියා චනු ගීත් සම්මුගනාදන් කියන අපේ පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා එක්ක ප්‍රති පිතිකරු විදිහට පිටියට යන්න. මම කෝච්ට කිවුවා මට අවස්ථාවක් දෙන්න පුළුවන්ද කියලා. සර් මට ඒ අවස්ථාව දුන්නා. ඔහු එක්ක ක්‍රීඩා කරන්න හරි ලේසියි වගේම හොඳ ලකුණු මට්ටමකට යන්නත් පුළුවන්. කොහොම හරි ඒ ආසාවත් ඉෂ්ට කර ගත්තා. ඔහුගෙන් පස්සේ තමයි මම කණ්ඩායමේ නායකයා වුණේ. මම මේ වෙද්දී 19න් පහළ කණ්ඩායම එක්ක සංචාර 7කට සහභාගි වෙලා තියෙනවා. මුලින්ම ගියේ 2016 අවුරුද්දේ දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්ක තිබුණු තරගයට. එතකොට නායකත්වය දැරුවේ අවිශ්ක ප්‍රනාන්දු. එදා නොදැවී ලකුණු 78ක් ගත්තා. ඊට අමතරව ඔස්ට්‍රේලියා, මැලේසියාව, නවසීලන්තය වගේ රටවලටත් ගියා. මම A ටීම් එකට තේරුණේ 2019 අවුරුද්දේ...”

අප මුලින් සඳහන් කළ පරිදි හසිත බෝයගොඩ යනු ලෝක වාර්තාවක් තබන්නට සමත් වූ පිතිකරුවෙකි. ඒ 2018 වසරේදී 19න් පහළ ලෝක කුසලානය නියෝජනය කරමිනි. එහිදී ඔහු ප්‍රතිවාදී පන්දු යවන්නන්ට හිසරදයක් වූ පිතිකරුවෙකි.

“2018 අවුරුද්ද මට විශේෂ අවුරුද්දක්. ඒ ලෝක කුසලාන තරගයේ මුල් තරග දෙක මට ක්‍රීඩා කරන්න ලැබුණේ නැහැ. ඒ නිසා මම හිතා ගත්තා තව තරගයක් ලැබුණොත් හොඳටම ක්‍රීඩා කරනවා කියලා. ඊට පස්සේ ලැබුණු මැච් එකට පිටියට ගියේ කොහොම හරි ලකුණු ගන්නවා කියලා හිතාගෙනමයි. ඒත් වාර්තාවක් තියන්න නම් හිතුවෙවත් නැහැ. ඒත් දන්නෙම නැතුව නොදැවී ලකුණු 191ක් ගත්තා. එදා නම් පුදුම සතුටක් මට දැනුණේ. ඒ හැඟීම කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරගය තිබුණේ නවසීලන්තයේ. මගේ අම්මයි අප්පච්චියි එයාලගේ රැකියාව එක්ක ගොඩක් කාර්ය බහුල වුණත් පාසල් ක්‍රිකට් තරග නරඹන්න අනිවාර්යයෙන්ම ආවා. මම කොළඹ ආවට පස්සෙත් පුළුවන් විදිහට හැම තරගයක්ම බලන්න අම්මයි අප්පච්චියි ආවා. අප්පච්චි නම් ගොඩක් වෙලාවට එනවා. අප්පච්චි ක්‍රිකට්වලට හරිම කැමතියි. මම ක්‍රිකට් ගහනවට අප්පච්චි හරිම කැමතියි. මම හිතන්නේ අප්පච්චි නිසා වෙන්න ඇති මමත් මේ තරම් ක්‍රිකට්වලට කැමති වුණේ.“

වේගවත් පිති හරඹයකට හිමිකම් කියන හසිත මුලින්ම ක්‍රීඩා කළේ මැද පෙළ පිතිකරුවෙක් ලෙසිනි. පසුව ඔහු මුල් පෙළ පිතිකරණය සඳහා යොමු කිරීමට ඔහුගේ පුහුණුකරු කටයුතු කළේය.

“මැද පෙළ සෙල්ලම් කරනකොට පුහුණුකරු රෝයි ඩයස් සර් මගෙන් ඇහුවා හසිත ඕපන් කරමුද කියලා . මමත් හරි කැමතියි ඕපනින් ගහන්න. ඒ නිසා හා කිවුවා. 2017 වර්ෂයේ ඉඳලා ඕපනින් ගැහුවා. ක්ලබ් මැච්වලත් මම ඕපන් ගහන්නේ...‘

බොහෝ දක්ෂ ක්‍රීඩකයන් ආබාධවලට ලක් වීම නිසා ජාතික කණ්ඩායම තුළත් දැක ගත හැකි වූයේ ටික කාලයකි. මේ වන විට හසිත ද සිටින්නේ ආබාධ තත්ත්වයෙනි. ජාතික කණ්ඩායමට එක්වීමට මාන බලමින් සිටින ඔහු ඒ පිළිබඳ පැවසුවේ මෙවැන්නකි.

“මම ආබාධයට ලක් වෙලා ටික කාලයක් වෙනවා. කොන්දේ ආබාධයක් තියෙන්නේ, ඒක පුදුමාකාර වේදනාවක්. මම මීට කලින් ආබාධවලට ලක් වෙලා තියෙනවා. අතේ ඇඟිලි කැපිලා තියෙනවා. නමුත් ඒවා දවස් කිහිපයකින් සුව වුණා. කොන්දේ ආබාධයට ලක් වෙලා දැන් මාස 7ක් විතර වෙනවා. පසුගිය ක්ලබ් සීසන් එකට ක්‍රීඩා කරන්නත් බැරි වුණා. මේ වෙද්දි දිනපතා ප්‍රතිකාර ලබමින් මම සුව අතට හැරෙමින් ඉන්නවා. වෛද්‍යවරුන් කියන්නේ විවේක සුවයෙන් ඉන්න, කොහොම හරි සුවය ලබයි කියලා විශ්වාසයක් තියෙනවා. මම සෑහෙන්න බය වුණා මේ ආබාධය නිසා මගේ ක්‍රිකට් ගමන මෙතැනින් නතර වෙයි කියලා. එහෙම වුණොත් මගේ හීනය මෙතැනින් නතර වෙනවා. ඒක එහෙම නොවෙන්න වග බලා ගන්න ඕන. ඒ නිසා වෛද්‍යවරුන් කියන විදිහට ප්‍රතිකාර ලබමින් පුංචි පුංචි ව්‍යායාම් කරමින් ඉන්නවා. ක්ලබ් සීසන් එක තමයි මගේ ඊළඟ අරමුණ. ඒකේ හොඳින් ක්‍රීඩා කරලා ලකුණු අතරට එන්න ඕනේ.”

ලෝක වාර්තාවක් තැබූ හසිත ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වීමට මෙතරම් ප්‍රමාද ඇයි දැයි විමසූ විට හසිත මෙසේ කීවේය.

“මම හිතන්නේ හැම දෙයක්ම ලැබෙන්නේ හොඳම කාලෙට කියලා. ඒ වගේම මගේ දක්ෂතා තවත් ඔප මට්ටම් කර ගන්න ඕනේ. ඒක තියෙන්නේ මගේ අතේ. මම මේ මහන්සි වෙන්නේ ඒකට තමයි. හොඳින් ක්‍රීඩා කළොත් අවස්ථාවක් ලැබෙයි. අවස්ථාවක් ලැබුණොත් ඒක රැක ගන්න එකත් මගේ අතේ තියෙන්නේ. කාටවත් දොස් කියලා වැඩක් නැහැ. ප්‍රතිඵල ලබන්න නම් මගේ කැපවීම සහ මහන්සිය තියෙන්නම ඕනේ."ඒ ඔහුගේ අවංක වචන ය.

අනුකරණය හෝ අනුගමනය කරන ක්‍රිකට් ක්‍රීඩකයා කවුද යන පැනයට ඔහුගේ පිළිතුර වූයේ ‘කුමාර් සංගක්කාර ’ය.්‍ “මම කැමතිම ක්‍රීඩකයා කුමාර් සංගක්කාර නෙමෙයි. නමුත් පුද්ගලයකු හැටියට ගත්තොත් ඔහු අගය කළ හැකි පුද්ගලයෙක්. හැම පැත්තෙන්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා“

ක්‍රිකට් ගැන කතාබහ අවසන් කිරීමෙන් පසු හසිත අප හා පැවසුවේ තවමත් ඔහුගේ සිත සසල කරන 2021 අප්‍රේල් 21 වැනිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳවයි.

“ඒ දවස්වල මම කොළඹ හිටියේ. අපිට ටුවර් එකක් තිබ්බා. දවස් දෙක තුනක ලෝයල් ටෙස්ට් එකක් තිබ්බා. ඒ නිසා අම්මයි, අප්පච්චියි, නංගියි මල්ලියි කොළඹ ආවා. මම උදේ ජිම් ගිහින් කට්ටියම එක්ක ෂැන්ග්‍රිලා හෝටලයට ගියා කෑම ගන්න. ඒ අතරේ මම පොඩ්ඩක් එළියට ගියා. ඒ එද්දී තමයි බ්ලාස්ට් එක වෙලා තිබුණේ. නංගිගේ අත කැඩිලා, හැමෝගෙම ඇඟේ බොම්බ් බ්ලාස්ට් එකේ කෑලී. එයාලා ලොකු කම්පනයකට ලක් වෙලා හිටියේ. මගේ පවුලම එතන හිටපු නිසා මට කිසිම දෙයක් හිතා ගන්න බැරි වුණා. අදත් ඒ සිදුවීම මතක් වෙද්දි මම ලොකු කම්පනයකට ලක් වෙනවා. මම ඉක්මනින් කට්ටිය හොස්පිට්ල් අරන් ගියා. එතන හිටපු හැමෝම වගේ එදා මමත් අසරණ වුණා. ඒක පුදුමාකාර සිදුවීමක්. මගේ පවුලේ හැමෝගෙම ජීවිත බේරුණු නිසා මට සතුටුයි. නමුත් ඒ සිදුවීම නිසා සිදු වුණු ජීවිත හානි සහ අවාසනාවන්ත සිදුවීම ගැන තවමත් මගේ හිතේ තියෙන්නේ ලොකු දුකක් කම්පාවක්.”

ඒ හසිතගේ සංවේදී සිතයි. ඔහුගේ ආබාධ තත්ත්වය සුව වී ජාතික ක්‍රිකට් කණ්ඩායමට වාසනාව ගෙන එන ක්‍රීඩකයකු වීමේ සිහිනය කඩිනමින් සැබෑ වේවා යැයි අපිදු සුබ පතමු.

 

Comments