පුතාගේ බලාපොරොත්තුව ලෝකයේ හොඳම පන්දු රකින්නා වීමයි | Page 2 | සිළුමිණ

පුතාගේ බලාපොරොත්තුව ලෝකයේ හොඳම පන්දු රකින්නා වීමයි

ර්ෂ 1998 නොවැම්බර් මස 23 වැනිදා ගාල්ලේදී අරුණි රේණුකා හා ජයතිස්ස බණ්ඩාර දාව කුලුඳුලේ උපන් පුතුට ඔවුහු අශේන් බණ්ඩාර යන නම තැබූහ. එකම පුතු ලෙස මවුපියන්ගේ අසීමිත ආදරය ලබමින් දවසින් දවස උස් මහත් වූ අශේන් කුඩා කල සිටම හීන පොදි බදිමින් ජීවත් වූ කොලු ගැටයෙකි. බහ තෝරන වියේදීම ඔහු ක්‍රිකට් පිත්තත් පන්දුවත් අතට ගන්නේ කවදා හෝ ලෝකයක් ඉදිරියේ තම නම බැබළෙනු ඇතැයි සිතා නොවන්නට ඇත. එහෙත් දැනුම් තේරුම් ඇති වයසට ආ දා සිට ඔහු ක්‍රිකට් පිටිය සිහිනයක් පමණක් කර ගත්තේ නැත. එය සැබෑවක් කර ගැනීමට වෙර දැරුවේය.

“අපේ පවුලේ එකම පුතා අශේන්. එයාට ඉන්නේ නංගිලා තුන්දෙනෙක්. ලොකු දුව අමන්දි ටාන්‍යා, දෙවැනියා අමායා නෙත්මි හා බාලයා දිනිති ස්නේහා. අයියට වැඩිපුර දේවල් කරනකොට කෙල්ලෝ තුන්දෙනාට හරි ඊර්ෂ්‍යාවයි. නංගිලා අයියා එක්ක විහිළුවටත් රණ්ඩු කරනවා. ඒ වුණාට අශේන් නංගිලාට හරිම ආදරෙයි. නංගිලා මොනාද ඉල්ලන්නේ ගෙනත් දෙනවා. අඩුපාඩු හොයලා බලනවා. අශේන් පුතා අහිංසක හරිම කීකරු දරුවෙක්. ඉස්සරට වඩා එයා සල්ලි වැඩිපුර හම්බ කළත් නැති බැරි අයට උදවු කරන්න උත්සාහ කරනවා මිසක් නිකරුණේ නාස්ති කරන්නේ නැහැ. ඉලන්දාරි වයසේ ඉන්න නිසා යාළුවෝ එක්ක ගිහින් නාස්ති වෙන්න පුළුවන් නිසා මමයි එයාගේ තාත්තයි එයා ගැන නිතරම හොයලා බලනවා..“ 

ඒ අශේන්ගේ ආදරණීය මව අරුණි රේණුකා ය. හැම මවුපියෝම එසේය. ඕනෑවටත් වඩා දරුවන් ගැන සොයා බලති; වෙහෙසෙති; කැප වෙති. අශේන්ගේ මවුපියෝ ද ඔහුට ඔහුගේ සිහිනයේ හිඳින්නට නිදහස දුන්හ. එනිසාම ඔහු තටු සලා ඔහුගේ මායිම් පසු කර ගියේය. ඒ නිසාම වයස අවුරුදු තුනේදී පමණ ඇතිවූ ක්‍රිකට් උමතුව ජාතික කණ්ඩායමට ඇතුළත් වෙනතුරුම අශේන් අත හැරියේ නැත.

“ජාතික කණ්ඩායමේ ඉන්න හැම දරුවෙක්ම පුංචි කාලේ ක්‍රිකට් උණ හැදුණු අය ද කියන්න මම දන්නේ නැහැ. ඒ වුණාට අශේන්ට නම් තිබ්බේ ක්‍රිකට් උණක්ම තමයි. එයාට අවුරුදු තුනක් වෙද්දී බෝල, බැට් ඕනේ කිව්වා. නිදා ගන්න යන්නෙත් බැට් එක අතේ තියාගෙන. ගෙදරට කවුරු ආවත් කියනවා බෝල් කරන්න කියලා,එයාට සෙල්ලම් කරන්න කියලා. නෑදෑයන්ට කෝල් කරලා කියනවා එයත් එක්ක ක්‍රිකට් ගහන්න එන්න කියලා. එහෙම ඉන්නකොට තමයි මගේ අම්මා, එයාගේ ආච්චි බැරිම තැන අශේන්ව ගාල්ලේ ක්‍රිකට් ඇකඩමියට දැම්මේ. හය වසර වෙනකල් සුමංගලෝදයට ගියා. පස්සෙ ගාල්ල ඇලෝසියස් විද්‍යාලයට ගියා. අපි ඇල්පිටිය හිටියේ. පුතා ආච්චි එක්ක ගාල්ලේ හිටියා. ක්‍රිකට් මැච්වලට පුහුණුවීම්වලට පුතාව එක්කගෙන ගියේ ආච්චි. අන්තිමට ආච්චිට තනියම බලාගන්න බැරි නිසා අපිත් ගාල්ලේ ආවා. ආච්චි එක්ක එයා දඹුල්ලෙත් හිටියා...“

අශේන්ගේ සිහිනය වූයේ කවදා හෝ ලෝකයක් හෙල්ලූ ලෝකයේම හොඳම පන්දු රකින්නා වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ‘ජොන්ටි රෝඩ්ස්’ ලෙස දක්ෂතා දක්වන්නටය. ලොවක් ආදරය කළ ජොන්ටි, එක්දින පිටියේ පන්දු 100ක් රැක ගත් එකම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා ය. පිටියේ උඩ ඕනෑම තැනක් හුරු ඔහු සිය කණ්ඩායම අසීරූ අවස්ථාවලට මුහුණදුන් හැම විටම පාහේ ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු ගැනීමේ ඉඩ අහුරමින් විශාල මෙහෙවරක් කළ ක්‍රීඩකයෙකි. දැන් ලංකාවේ ‘පොඩි ජොන්ටි රෝඩ්ස්’, අශේන් බණ්ඩාර ය.

“ජොන්ට් පන්දු රකිනවා වගේ ටී ෂර්ට් එක හදාගෙන කකුල් එහෙට මෙහෙට කරලා අශේන් පුංචි කාලේ එයා වගේ වෙන්න හැදුවා. මටත් ලොකු වුණාම ජොන්ටි වගේ වෙන්න ඕන කියනවා. ජොන්ටිව දන්නේ එයා තාත්තා එක්ක වාඩි වෙලා මැච් බලපු නිසා. ජාතික කණ්ඩායමට එකතු වුණාට පස්සේ පහුගිය මැච් එකක පුතා හොඳම පන්දු රකින්නා වුණා.”

අශේන්ගේ මව පැවසුවේ දැඩි සතුටකිනි. ආසියානු කුසලානය ශ්‍රී ලංකාව සතු කර ගැනීමට ඉමහත් සටනක් දුන් මොහොතක කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීම වෙනුවෙන් අශේන් අගනා උත්සාහයක් ගත්තේය. ඒ වෙනුවෙන් ඔහුට ඩොලර් 3,000ක් හිමි විය.

“පුතා ඉස්කෝලේ 15න් පහළ ඉඳලා 19න් පහළ දක්වා ක්‍රීඩා කළා. පුහුණුකරු නිතරම කිව්වේ මෙයා නම් උඩට ගිහින් නතර වෙන්නේ කියලා. ඒ වගේම එයා හොඳින් ක්‍රීඩා කළා, කැපවීම් කළා. ඒ ප්‍රතිඵල දැන් අත්විඳිනවා. මමයි පුතාගේ තාත්තයි නංගිලායි අශේන් නිසා ගොඩක් සතුටු වෙනවා. ජීවිතේ කියන්නේ සල්ලි නෙමෙයි, පුතා ක්‍රිකට් ගහන්නේ සල්ලිම නිසා නෙමෙයි. අපිටත් ලොකුවට ආර්ථික ප්‍රශ්න නොතිබුණා නෙවෙයි. ඒත් පුතාට අවශ්‍ය සියලු දේ අපි හැකි උපරිමයෙන් කළා.“

ක්‍රිකට්වලින් මුලින්ම ඉපැයූ මුදල්වලින් ඔහු කුමක් කළේ දැයි අපි අශේන්ගේ මවගෙන් විමසුවෙමු.

“පුතාට අවුරුදු 15යි මුලින්ම ටුවර් එකක් යද්දී. ඒ මැච්වලින් එයාට රුපියල් 150,000ක් හම්බුණා. “අම්මේ ආ ඔයාට” කියලා ඒ සල්ලි මගෙ අතට දුන්නා. දැන් නම් මගේ අතට සල්ලි දෙන්නේ නැහැ.එයා එකතු කරනවා. අවශ්‍ය දේවල් කරනවා. අපි ගැන හොයලා බලලා අවශ්‍ය දේවල්වලට වියදම් කරනවා. කොහේ ගියත් එද්දී ගෙදර එද්දි හැමෝටම මොනව හරි ගේනවා..."

එවැනි සකසුරුවමක් ඇති යෞවනයකු වන අශේන් දැන් පෙම්වතෙකි. ඒ ගැන ද අපි මවගෙන් විමසුවෙමු.

“එයා උසස් පෙළ කරන්න ඉන්න කාලේ ගැහැනු ළමයෙකුට ආදරේ කළා. මම ඒ දරුවගේ ගෙදරට ගිහින් ඒ සම්බන්ධය නතර කරන්න කිව්වා. එහෙම කළේ ඒ වෙලාවේ ආදරේ පස්සේ ගිහින් එයා ක්‍රිකට්වලින් ඈත් වෙයි කියලා. පුතා හරියට ඇඬුවා, අවසානයේ එයා හිත හදා ගත්තා. ඒ වගේම මේ මෑතකදී මගෙන් ඇහුවා ඒ ළමයට උදව්වක් කරන්නද කියලා. මම කිව්වා කැමති දෙයක් කරන්න කියලා. දැන් නම් කළුතර පැත්තේ ඉන්න ගැහැනු ළමයෙකුට ආදරේ කරනවා. ඒ සම්බන්ධය පටන් අරන් අවුරුදු 7ක් වෙනවා. අපි ඒ සම්බන්ධයට කැමති වුණා. දැන් පුතාට වයස 25ක් නිසා විවාහ වෙන්න කියලා අපි කිව්වා. ඒත් පුතා කියනවා තව ටිකක් ක්‍රිකට් ගහලා විවාහ වෙනවා කියලා.“ 

අශේන්ගේ පෙම්වතිය හා අශේන්ගේ සහෝදරියන් ද ගජ මිතුරියන් බව ද මව පැවසූවාය. බොහෝ පවුල්වල පිරිමි දරුවන්ට පියාට වඩා ළෙන්ගතු මවටය. අශේන්ගේ පියා, ජයතිස්ස බණ්ඩාර අප සමඟ කතාවට මුල පිරුවේ ඒ ගැන ද සිහි කරමිනි.

“අශේන් වගේම දුවලත් වැඩිපුර කිට්ටු අම්මටයි. මම ටිකක් සැර කරන නිසා හැමදේම කියන්නේ අම්මට තමයි. අශේන් පුංචි කාලේ ඉඳලා එයාට ඕන දේ කියන්නේ අම්මට. ක්‍රිකට් ගහන්න බැට්, බෝල, පා ආවරණ හැමදේම ගෙනත් දෙන්න කියලා කිව්වා. අපි කොහොමහරි එයාට ඕන දේවල් අරන් දුන්නා වගේම පුතත් එයාගේ අරමුණට ගියා. දැන් අපි ඔක්කොම ගාල්ලේ ගෙදර වහලා කොළඹ පිළියන්දල ගෙයක් කුලියට අරගෙන ඉන්නේ පුතා නිසාම. එයා ගොඩක් කල් කොළඹ ආවා ගියා පුහුණු වීම් හා තරගවලට. සල්ලි තියෙන නිසා ජීවිතේ වරද්දා ගනියි කියලා හිතලා අපි එයා වෙනුවෙන් කොළඹ ආවා. කොහේ ගියත් ගෙදර දුවගෙන එනවා අම්මට කියලා බත් ටික කවාගන්න. පාර්ටි එකකට ගියත් යන්නේ එද්දී කෑම තියන්න කියලා. පුතා නිසා මම පිටරට සේවය කරන්නත් ගියා. එයාට අපේ ආර්ථික ප්‍රශ්න පෙන්නුවේ නැහැ, එහෙම වුණොත් ක්‍රීඩාව නතර වෙයි කියලා. මමත් එයාට ඉඩ දුන්නේ එයා දක්ෂ නිසයි. මුලින්ම ටුවර් එකක් යද්දී පුතාගේ වයස අවුරුදු 13යි. ඉන්දියාවේ සංචාරයකට ගියේ. ඒ සංචාරයේදී 19න් පහළ හොඳම පන්දු රකින්නා වුණා. අපේ පරම්පරාවෙම ක්‍රිකට් ගහන්නෙ අශේන් විතරයි. ඒ ගැන නම් මට හරි ආඩම්බරයක් දැනෙනවා.”

එය නිහතමානී ආඩම්බරයකි. ඒ හදවත තුළ ඇත්තේ අශේන් ගැන දැඩි සෙනෙහසකි; විශ්වාසයකි.

“අපි සල්ලි කාරයෝ නෙමෙයි, ඒ වගේම දේශපාලන හයියකුත් අපිට නැහැ, පෞද්ගලික දැන හැඳුනුම්කම් නැහැ. පුතා මේ ගමන ආවේ එයාගේ කැපවීමෙන්. පුහුණුකරුවන් නිසි මඟ පෙන්නුවා. පුතාව මුලින්ම ජාතික කණ්ඩායමට තෙරුණේ 2021 මාර්තු මාසේ. බටහිර ඉන්දීය කොදෙව්වන් එක්ක ටෙස්ට් මැච් එකකට. එදත් පුතා හොඳට ක්‍රීඩා කළා.."

අශේන් බණ්ඩාර යනු ලංකාවේ පාසල් ක්‍රිකට් තුළ මෙන්ම අදටත් හොඳම පන්දු රැකීමක නිරත වෙන දක්ෂ පන්දු රකින්නෙකි. ආසියානු කුසලානය සඳහා ඔහු ඉදිරිපත් වී සිටියේ අතිරේක ක්‍රීඩකයකු ලෙසය. අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට ආවද ඔහු සිය රාජකාරිය අකුරටම ඉටු කළේය. කණ්ඩායම පරාජය පෙනෙන මොහොතේ ඔහුගේ විශිෂ්ට පන්දු රැකීම කණ්ඩායම ජය මාවතට රැගෙන ගියේය.

“අතිරේක ක්‍රීඩකයෙක් විදිහට හිටපු නිසා පුතා සෙල්ලම් කරයි කියලා අපි හිතුවේ නැහැ. එයාට අවස්ථාව හිමි වුණාම අපි හරියට සතුටු වුණා. හැමදාම වගේ එදත් ලැබුණු අවස්ථාවෙන් පුතා හොඳින්ම ප්‍රයෝජන ගත්තා. ඒ නිසා තමයි හොඳම පන්දු රකින්නා වුණේ. පුතාගේ ඊළඟ බලාපොරොත්තුව ජොන්ටි වගේ ලෝකයේ හොඳම පන්දු රකින්නා වෙන්න, එදා එයාට ඇමෙරිකානු ඩොලර් 3,000 ක් හම්බුණා. ඒක එයාට ලොකු සතුටක් වුණා. අපිට කොළඹ ගෙයක් නැති නිසා පුතාට කොළඹින් ගෙයක් අරන් දෙන්න ඕනේ. මුලින්ම මම පුතාට බයික් එකක් අරන් දුන්නා. එයා අපිට ඩිමෝ බට්ටෙක් අරන් දුන්නා. දැන් එයාට හයිබ්‍රිඩ් කාර් එකක් තියෙනවා. ගෙයක් විතරයි අඩු.“

අශේන්ගේ ඒ සිහිනය ද සැබෑ වෙන දවස් වැඩි ඈතක නොවනු ඇත. මේ දක්ෂ ‍යෞවනයාට ඇත්තේ එතරම් පැහැබර අනාගතයකි.

Comments