
කෙටි කලක් රෝගාතුරව සිටි ප්‍රවීණ ලේඛක ජයකොඩි සෙනෙවිරත්නයන් ඉකුත් 21 දා සවස අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු සැප්තැම්බර් 24 වැනිදා සෙනසුරාදා සවස කිරි දිවැලදී සිදු කෙරිණි. සිය දිවිසැරිය නිමාකරන විට ඔහුගේ වයස අවුරුදු අසුතුනකි.
ආදර ගඟ ගලන දැස නවකතාව ලියමින් ඇරඹි ඔහුගේ කතා කලාව අවසන් වෙන්නේ 2022 දී ලියූ රෝස්මරි පර්ල් හෙවත් මුතු නවකතාවෙනි. ඒ අතර “සිත්තරකුට පෙම් බැඳි, දෙමස්සිනෝ, මිහිදුම් සළු, නෙරළු උයන, කොලනිය, නොමිනිස්සු, සුදු හාමිනේ, කුමාරිහාමි, නොමැරෙන මිනිස්සු, ඇතුළු නවකතා අසුවකට වැඩි ප්‍රමාණයක් සහ ළමා කෘති 60කට වැඩි ගණනක් ලියූ ඔහු 1984 දී කුමාරිහාමි නවකතාව වෙනුවෙන් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.
අදින් අවුරුදු පහළොවකට පමණ පෙර ඔහු මට හමුවිය. ඒ අංක 9 නුගහේන වත්ත, කිරිඳිවැල පිහිටි ඔහුගේ නිවසේදීය. රුවින් නොදැක සිටියද ඊටත් පෙර සිට මා ඔහු ගැන දැන සිටියෙමි. ඒ දැන සිටියේ ජයකොඩි සෙනෙවිරත්න නම් වූ ලේඛකයා ගැනය. ඔහු ලියූ පොත පත කියවීමෙන් ලැබූ ආස්වාදය අද ද එලෙසය. මා එසේ ඔහු ගැන ලියන්නේ අද ද ඔහු ලියූ පොත පත කියවූ, කියවන පාඨකයෝ බොහෝ ප්‍රමාණයක් සිටින බැවිනි.
ජයකොඩි සෙනෙවිරත්න පොතක් ලියන්නේ ආවාට ගියාට නොවේ. ඔහු තමන් ලියන්නට යන කෘතිය ගැන, මාතෘකාව ගැන මෙන්ම ඊට අදාළ චරිත ගැන ද හොඳ අධ්‍යයනයක් කරනු ලබයි. ලේඛකයකු සතු විය යුතු එම ගුණය ඔහු ඉගෙන ගත්තේ බාල වියේ පටන්මය.
පාසැල් වියේ සිටම ලේඛනයට දක්ෂතාවක් දැක්වූ ජයකොඩි සෙනෙවිරත්න ලිවීම අරඹන්නේ රැකියාවද කරන අතරතුරය. රජයේ සෞඛ්‍ය පරීක්ෂකයකු ලෙස මාතර තිහගොඩ ප්‍රෙද්ශයේ සේවය කළ ඔහු ලියූ මුල්ම නවකතාව වන්නේ ආදර ගඟ ගලන දෑසය. එතැන් සිට ඔහු නවකතා ගණනාවක් ලීවේය. ඊට අමතරව ඔහු පුවත්පත්වලට ද කතා ලීවේය. ඔහු ලීවීම අරඹන්නේ සිළුමිණ පුවත්පතිනි. ඒ සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කතුවරයා වුයේ එස්. සුබසිංහයන්ගේ ආරාධනාවටය.
“සිළුමිණට නවකතාවක් ලියන එක පොඩි පහේ වැඩක් නොවෙයි. මම බොහෝ ම ආශාවෙන් මාස දෙක තුනක් ඇතුළත නවකතාවක් ලිව්වා. ඒ කතාවේ නම ‘රමණී’. දවසක් මම සුබසිංහ මහත්තයට කතාව ගිහිල්ලා බාර දුන්නා. ‘අපි මේක කියවලා බලලා කියන්නම්’ කියලා එතුමා මට කිව්වා. සති කිහිපයක් ගෙවිලා ගියා. කිසි ම තොරතුරක් නැහැ. අහන්නත් බැහැ නේ... දවසක් මම පත්තරයක් ගන්න ‘වීනස්’ පොත් සාප්පුවට ගියා. එතන ලොකු පෝස්ටරයක් ගහලා තිබුණා, ලොකු අකුරෙන් ලියලා තිබුණා ජයකොඩි සෙනෙවිරත්න ලියූ නවකතාව ලබන සතියේ සිට ‘සිළුමිණ’ පුවත්පතේ කොටස් වශයෙන් පළ වෙනවා කියලා. ඊළඟ සතියේ ඉඳලා කියපු විදිහට ම කතාව පළ වුණා. නමුත් පත්තරය දුටුවා ම මට කනගාටුවක් ඇති වුණා. මොක ද: මම ලියපු කතාව නොවෙයි පළ වී තිබුණේ. මගේ කතාවේ පිටු හැත්තෑදෙකක් යන තුරු එහෙන් මෙහෙන් ගත් කොටස් තමයි පත්තරේ පළ වී තිබුණේ. මම ලියපු රසවත් දේ ඒ කතාවේ නැහැ. මම ‘සිළුමිණ’ කන්තෝරුවට ගියා. සුබසිංහ මහත්තයා කාමරේ හිටියා. මම එබිලා බැලුවා. ඔහු මාව දැකලා කිව්වා මම හිතුවා ජයකොඩි එයි කියලා. මං ඇහුවා ‘මගේ කතාව නොවෙයි නේ අර ගිහින් තියෙන්නේ?’ කියලා. සුබසිංහ මහත්තයා බොහෝම සන්සුන්ව කියනවා.‘ජයකොඩි, පත්තරවල කොටස් වශයෙන් කතා ලියද්දි ගැම්මක් තියෙන්න ඕන. අපි හැත්තෑ දෙවන පිටුවෙන් පටන් ගත්තේ. එතැනින් පස්සේ දිගට ම යන්නේ ජයකොඩිගේ කතාව. කපන්නේ නැහැ’ කියලා කිව්වා. සුබසිංහ මහත්තයා මගේ කතාව දීලා තිබුණේ උපකර්තෘ කෙනෙකු වු පර්සි ජයමාන්න මහත්තයට. මම ඒ බව දැනගත්තේ පසුව. කතාව දිගටම පළ වුණා. ‘රමණි’ නවකතාවේ කොටස් විසිපහක් විතර පළවෙන කොට සිළුමිණෙන් ලියුමක් එනවා තවත් නවකතාවක් ලියන්න කියලා“
අතීතයේ දිනෙක ජයකොඩි සෙනෙවිරත්න පැවැසුවේය.
රමණි නවකතාවට පසු ඔහු සිළුමිණට ලියූ දෙවන කතාව වන්නේ පරවුණු මල් ය. සිළුමිණට කොටස් වශයෙන් නවකතා ලියන්නට පෙර සිටම ඔහු ලේක්හවුස් නිවසින් පිට වූ නවයුගය පුවත්පතට කෙටිකතා ලීවේය.
ඔහු අපූරු ලේඛකයෙකි. ඔහු හැම විටෙම ලීවේ මේ මහපොළොව මත පය ගසා ජීවත් වන ගැහැනුන් පිරිමින් ගැනය. ඔහු නිකම් කතා ලීවේ නැත. ඔහුගේ හැම කතාවකින් අාදරය සෙනෙහස පිරී තිබිණි. දුකට පත් ගැහැනුන්, අසරණ වූ දරුවන් ජීවතය ගොඩනඟා ගන්නා අයුරු ගැන ඔහු අපට කීවේය.
කලක් තිස්සේ ජීවිතයේ අත්දැකීම් අහුලා ගනිමින්, ඒ අත්දැකීම් ඇසුරෙන් ලියූ කතා අපූරුය. නවකතාකරුවෙක් කෙටිකතාකරුවෙක් ලෙසින් බොහෝ දෙනා හඳුනන ජයකොඩි සෙනෙවිරත්න චිත්‍රපට කතා ලියන්නකු බව ඇතැමෙක් නොදන්නවා ඇත. 1970 අවුරුද්දේ පුවත්පතක තිබූ දැන්වීමක් දැක රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ තිර රචනය පිළිබඳ පාඨමාලාවක් ද හැදෑරූ ඔහු එම පාඨමාලාවේදී ලියූ දරුවෝ නම් තිර රචනය හොඳම තිර රචනය විය. එයින් කෙටි චිත්‍රපටයක් නිමවුණ අතර පසුව චිත්‍රපට සංස්ථාවෙන් ඇරඹි තිර රචනා පුස්තකාලයට බාර දුන් ‘මිහිඳුම් සළු‘ සුනිල් ආරියරත්නයන් විසින් චිත්‍රපටයකට නඟන ලදී.
දයාවංශ ජයකොඩි සමාගම හා ජයකොඩි සෙනෙවිරත්න අතර තිබුණේ නොබිඳෙන බැඳීමකි. වසර හැත්තෑවකට වැඩි කාලයක් තිස්සේ ඔහු ලියූ පොතපත ප්‍රකාශයට පත් කෙරුණේ ඒ හරහාය. කිසිම දිනෙක තමන්ගේ පොතට විචාරයක් ලියන්න යැයි කාටත් නොකියූ මේ ලේඛකයා කිසිම විටෙක ප්‍රසිද්ධිය සොයා ගිය අයකු නොවේ. මෑත කාලයේ එනම් 2021 වසරේ සිළුමිණෙන් කතා කර කෙටිකතාවක් ලියමුදැයි අසුවෙමු.
“අනේ පුතේ දැන් ලියන්න අදහස් නෑනේ. මේ කොරෝනා කාලේ අත්දැකීම් අඩුයිනේ.“ ඔහු එසේ කීව ද සති කිහිපයකින් හුරුබුහුටි පැහැදිලි අත් අකුරෙන් ලියා සිළුමිණට කතාවක් තැපෑලෙන් එව්වේය. “ සිළුමිණට මං මේ ලියන්නේ අවුරුදු විසි ගණනකට පස්සේ“ එහි වෙනත් කොළයක සඳහන් කර තිබුණි. ඉන්පසුව ද කිහිපවිටක් ඔහු සිළුමිණට කෙටිකතා ලිව්වේය.
ඔහුගේ ජීවිතය හරි පිළිවෙළය. ඒ පිළිවෙළ දැකිය හැක්කේ ඔහු ලියන කියන දේ තුළිනි.
ඔහුගේ අලුත්ම නවකතාව මේ වසරේ මැද භාගයේදී නිතුත් කෙරිණි. ඒ “රෝස්මරි පර්ල් හෙවත් මුතු“ නවකතාවය. “මේ මගේ අවසන් නවකතාව“ ඔහු කිහිපවරක්ම එසේ කීවේය.
කුමන හේතුවක් නිසා ඔහු එසේ කියුවාදැයි නොදනිමි. සැබෑව නම් ආදර ගඟ ගලන දෑසින් ඇරඹි ඔහුගේ නවකතා; රෝස්මරි පර්ලි ගෙන් අවසන් වීම නම් සැබැවින්ම දුකකි.