"චූටි මැණිකෙ ආන් මහත්තය ඇවිත්!"
"මොන මහත්තයෙක්ද?"
"මහත්තයෙක් කීවට අර මනමාලයා!"
"උඹ ගිහින් කියාපන් මට සනීප නැත කියාල, පලයන්!" ගෙදර වැඩට සිටි රුබේරු කොලුවා බිමට සිනාසෙමින් ගොස් එම පණිවිඩය ලොකු මැණිකේට කිව්වේය. ලොකු මැණිකේ හොඳටම කෝප වූ අතර සිය දියණියගේ කාමරයට කඩා වැදී බණින්නට පටන් ගත්තාය.
"මොකද උඹට වෙලා තියෙන්නෙ! අර ළමයත් එක්ක වචන දෙකක් කතා කරල වරෙන්!"
"අද මට බෑ ඌට වෙන දවසක එන්ට කියන්ට!"
"ඔහොම කතා කරන්ට එපා ළමයෝ!"
"මං ඌට කැමැති නෑ!"
මේ චූටි මැණිකේ බලන්නට පැමිණි අටවන මනමාලයාය. මීට පෙර පැමිණි සියලු මනමාලයන් සේම ඔහු ද කටයුත්තට ඉහළින්ම කැමැතිය. පරහකට ඇත්තේ මනමාලිය ඉදිරියට පැමිණ කතා නොකිරීමය. මනමාලයා ඇය දුටුවේ මේ කටයුතු ආරම්භ කරන්නට පැමිණි මුල්ම දවසේ පමණි. දැන් එම සිද්ධියට මාස එකහමාරක් ගෙවී ඇත. දෙපාර්ශ්වයම මංගල්‍යයට කැමැති අතර නැකැත් බැලීම ද සිදු වී ඇත. ව්‍යාපාරිකයකු වන මනමාලයා සිය මෝටර් රථයෙන් දින දෙකක්ම මනමාලියගේ නිවෙසට පැමිණිය ද ඇය ඔහුට මුහුණ දුන්නේ නැත. අදත් හිස් අතින් යන්නට සිදුවේ යැයි සැකයක් මනමාලයා තුළ වැඩෙයි.
"නැන්දම්මා, මං කාමරේට ගිහින් එයාට කතා කරන්ට ද?"
"කමක් නෑ ළමයො යන්ට! ඔය තෑගිත් අරන් යන්ට!"
"එයාට කේන්ති යයි ද දන්නෙ නෑ!?"
"ගෑනුන්ට බයවෙලා පවුල් කන්ට බෑ ළමයො!"
(මනමාලයා හිතට ගැම්මක් ගත්තේය. ඒ අතර ඇයට කතා කළ යුතු ආකාරය ගැන වචන ගළපා ගත්තේය. ඔහු සෙමෙන් සෙමෙන් කාමරය දෙසට ගොස් දොරෙන් එබිකම් කළේය. ඇය කිසිම වෙනසක් නැතිව පොතක් කියවමින් සිටියාය. මනමාල මහත්තයා රැල් බුරුල් හැරියේය. එහෙත් චූටි මැණිකේ හැරී බැලුවේ නැත.
"ඔයා වැඩක් වගේ!?"
"ඇයි පේන්නේ නැද්ද?"
"මාත් එක්ක තරහෙන්ද?"
"අපි යාළුවෙලා හිටියද?"
"නෑ යාළු වෙන්ඩනෙ යන්නෙ!"
"ඒකද ගෑනුන්ගෙ කාමරවලට රිංගන්නෙ?"
"මං අම්මගෙන් අහලයි ආවෙ!"
"මේක අම්මගෙ නෙමෙයි දුවගෙ කාමරේ, ඒක තේරුම් ගත්තොත් හොඳයි!"
මනමාල මහත්තයා උත්තරයක් නොදීම තෑගි පාර්සලය මේසය මතින් තැබුවේය. චූටි මැණිකේ ඒ දෙස බැලුවේ නැත. මනමාලයා සිය අනාගත බිරිය දෙස ටික වේලාවක් බලා සිට ඉස්තෝප්පුවට පල්ලම් බැස්සේය. ඔහු හාන්සි පුටුවකට බර දී මනමාලියගේ නිවෙසේ විශාල මිදුල දෙස බලා සිටියේය. එහි දකුණු පැත්තේ ඇති ගරාජයෙහි බෙඩ්ෆෝඩ් වර්ගයේ පරණ ලොරියක් ද, පර්ජෝ වර්ගයේ කාරයක් ද නවතා තිබේ. කාරයේ සීට් කවර අළු පැහැයෙන් යුතු අතර ඒවා ඉතා පිරිසුදුය. මෝටර් රථයට ගාම්භීර පෙනුමක් ඇත.
විජේතුංග මුදලාලිට දියණියෝ දෙදෙනෙක් වෙති. වැඩිමහල් දියණිය ගුරුවරියක වූ අතර මාතර ව්‍යාපාරිකයකු හා විවාහ දිවියට පිවිස සාර්ථක ජීවිතයක් ගත කරයි. ඇයට දැන් චූටි පුතෙක් ද සිටී. බාල දියණිය චූටි මැණිකේය. ඇයට බින්න විවාහයක් කර දීම මුදලාලිගේ අදහස වී ඇත. මේ සඳහා ඉදිරිපත් වූ සියලු යෝජනාවලට දෙපාර්ශ්වය සතුටු වුව චූටි මැණිකේ සතුටු වූයේ නැත. දැන් ඇයගේ වයස අවුරුදු තිස් දෙකක් වන අතර දිනෙන් දින ඇගේ හිතුවක්කාරකම වැඩි වෙයි.
අට වැනි මනමාලයා දවාලට ද සප්පායම් වී යන්නට ගියේය. ඔහු නිවෙසේ රැඳී සිටින තාක් චූටි මැණිකේ කාමරයෙන් එළියට ආවේ නැත. එදින රාත්‍රියේ ගෙදර වැඩිමහල්ලන් අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි. එය තීරණාත්මක සාකච්ඡාවකි.
"හාමිනේ, මේ කටයුත්ත තීන්දුයි, මේක කොහොමටත් කෙරෙන්ට ඕනෑ!"
"කෝ ඉතින් මේ ළමයා තවම හිත හදාගෙන නැහැනෙ!"
"එයාගෙ හිත හැදෙනකොට නාකි වෙලා තියෙයි!"
"හිතුවක්කාර ළමය නෙවැ තව ටිකක් බලමු!"
විජේතුංග මුදලාලි තීන්දු වෙනස් කරන මිනිහෙක් නොවේ. ඔහු ද හිතුවක්කාරයෙකි. පසුදාම අට වැනි මනමාලයාගේ නිවෙසට ගිය මුදලාලි මංගල්‍යය ගැන දින තීන්දු කරගෙන ඒවා නැකැත්කරුවන් වෙත ලබා දුන්නේ කටයුතු කඩිනම් කිරීම සඳහාය. චූටි මැණිකේ වෙනදාට වඩා සතුටින් සිටින බව දැකගන්නට ලැබිණි. ඇය ගෙදර වැඩට සිටි රුබේරු කොලුවා සමඟ විහිළුවක් කියා සිනාසෙන අයුරු ද දැක ගන්නට ලැබිණි. අට වැනි මනමාලයාගේ මවුපියෝ ඊළඟ සතියේ නැකැත් පත්‍ර ගෙනැවිත් භාර දුන්හ. ඊට අනුව තව සති තුනකින් මංගල්‍යය පැවැත්විය යුතුය. ගෙවල් පිළිසකර කිරීම, මඟුල් කීම, නැකැත් චාරිත්‍ර ඉටුකිරීම ලහි ලහියේ සිදු වෙයි. චූටි මැණිකේ ද ඒ තරමටම සතුටින් සිටියාය.
"මුදලාලි මහත්තයා අපේ ළමය දැන් හොඳටම හොඳයිනෙ!"
"ඒකනෙ හාමිනේ මං කිව්වෙ! කසාදෙන් පස්සෙ තවත් හොඳ වෙයි."
කාලය වේගයෙන් ඇදී ගියේය. මංගල්‍යයට තවත් ඇත්තේ දින පහක කාලයකි. විජේතුංග මුදලාලි සියල්ල දෙස බලා සතුටු විය. ඔහු එක් දිනෙක රාත්‍රියේ නින්දට ගියේ හෙට උදෑසනම තම මෝටර් රථය සෝදා පොලිෂ් කිරීමට හිතාගෙනය. උදෑසන අවදි වූ මුදලාලි රුබේරුට කතා කළේය. ඔහු නැත. මුදලාලි රුබේරුගේ කාමරයට ගියේ ඔහුට බැණ වැදීමට සිතාගෙනය. එහෙත් කාමරය හිස්ය. එය හොඳට අස්පස් කර තිබේ. මුදලාලි සිය බිරිය සොයා ගියේය. ඇය කුස්සියේ මුල්ලක තබාගත් හිරමය මත ඉඳගෙන බර කල්පනාවකය.
"හාමිනේ රුබේරුව නෑ!"
"රුබේරුව විතරක් නෙමෙයි තමන්ගෙ දෝණියන්දත් නෑ!"
විජේතුංග මුදලාලිට සිහිපත් වූයේ රුබේරු චූටි මැණිකේට වඩා අවුරුදු දෙළහකින් බාල බව පමණි.