වෙද මහත්තයා! | සිළුමිණ

වෙද මහත්තයා!

වෙද මහතාට එම ගම් තුළානෙහි මහත් පිළිගැනීමක් තිබිණි. ආසන්න නගර කිහිපයක ද ඔහුගේ කීර්ති නාමය පැතිර තිබිණි. ඔහු නිහඬ හා ගැඹුරු තැනැත්තෙකි. සර්ප දෂ්ටනයකට, ඇට බිඳුමකට, ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයක ක්‍රියාකාරිත්වයට අදාළ ඕනෑම රෝගයකට වෙද මහතා ළඟ නිශ්චිත ප්‍රතිකර්ම තිබිණි. ඔහු රෝගියකුගේ තත්ත්වය නිරීක්ෂණය කරන්නේ නාඩි, හුස්ම, ඇස්වල ස්වාභාවය හා සමෙහි තත්ත්වය සැලැකිල්ලට ගනිමින්ය. රෝගියා බෙහෙත් ඔරුවක ගිල්වා කරන ප්‍රතිකාර ක්‍රමය ද රෝගියාට දූම අල්වා කරන ප්‍රතිකාර ක්‍රමය ද වෙද මහතා ළඟ තිබිණි.

සියල්ල එසේ තිබිය දී ඔහුගේ බිරිය දිනකට තුන් වරක්වත් සිය සැමියාට බැණ වැදුණාය. නොමිලේ වෙදකම් කිරීම, කුඹුරු වැඩට හවුල් නොවීම, සෝමාරිකමට කල් යැවීම හා පවුලට දරුවකු නොමැතිකම පිළිබඳ චෝදනා වෙද මහතාට එල්ල වී තිබිණි. ඒ බිරිය වෙතින් මිස පොදු සමාජය වෙතින් නොවේ.

කෙසේ වුව වෙද මහතාට සිය පරම්පරාවෙන් උරුම වූ විශාල බූදලයක් තිබිණි. ඒවා ජීවත් වීම සඳහා හොඳටම ප්‍රමාණවත්ය. විශාල පොල් වත්තේ අස්වැන්න බිරිය ලබාගෙන එය මුදල් බවට පරිවර්තනය කර ගත්තාය. වී - කුඹුරුවල අස්වැන්න අවුරුද්ද පුරාවට විකිණීම ද බිරිය භාරගෙන තිබිණි. වෙද මහතාගේ මුළු අවධානය යොමු වී තිබුණේ වෙදකම වෙතය.

බිරිය ඉතා කඩිසර අතර වෙද මහතාට වඩා අවුරුදු දොළහකින් බාලය. ඇය වනාහී විශාල නිතඹක් හිමි හැඩකාර ගැහැනියකි. වරදකට තිබුණේ කිසිදු උගත්කමක් නැතිකම හා කටකමසිරියාවක් නැතිව සැමියාට බැණ වැදීමය. ඒ හැරෙන්නට ඇය ගමේ මදාවියකු වූ උක්කුවා සමඟ රහස් සබඳතාවක් පවත්වන බව ද වාර්තා වී තිබිණි. බිරිය පවුලට දරුවකු නැතිකමේ වරද ද සැමියා පිට පවරා තිබිණි. ඇතැම් විට ඇය සිය සැමියාට බැණ වැදුණේ වෙදකමට පැමිණ සිටින අමුත්තන් ඉදිරිපිටදීමය.

"හෙට ගොයම් කැපිල්ල, කෝ දැන් කයිය හරිද?"

"මං මේ ලෙඩෙක් ගොඩදාන්ඩ දඟලනවා පේන්නෙ නැද්ද?"

"ලෙඩ්ඩු ගොඩ දැම්මට අපට සල්ලි හම්බු වෙනවද?"

"සල්ලිවලට වඩා ජීවිතේ වටිනවා යෝධියේ!"

"අනේ මෙහෙම කාලකන්නි මිනිහෙක්!"

වෙද මහතාගේ බිරිය ඔහුට බැණ වැදීම සඳහා විශේෂණ කිහිපයක් යොදා ගනී. කාලකන්නියා, නපුංසකයා, නිකමා, ගොබ්බයා, මෝඩයා, නාකියා ඉන් ප්‍රධානය. ගැහැනිය කුමන විවේචන ඉදිරිපත් කළත් ගම්මු ඒවා විශ්වාස නොකළහ. කීවත් - නැතත් වෙද මහතාගේ කුඹුරු වැඩට නොවරදවාම සහභාගී වන්නට පිරිසක් ද උන්හ. ඒ ඔහුට කරන ගෞරවයක් වශයෙනි.

යෝජිත විවාහ යෝජනාවකින් තමන්ගේ ජීවිතයට සම්බන්ධ වූ මේ ගැහැනිය ගැන ප්‍රසාදයක් වෙද මහතා තුළ නොතිබිණි. එහෙත් සාම්ප්‍රදායක ගැමි ජීවිතයකට හුරු වී සිටි ඔහු ගැහැනියට තරවටු කළේ නැත. ඇය ප්‍රතික්ෂේප කළේ ද නැත. සිය බිරිය අනියම් සබඳතාවක් පවත්වන බව නිට්ටාවටම දැනගත් ඔහු ඇය සමඟ එකම කාමරයක නිදා ගැනීම නවතා තම ආම්පන්න හා පොත්පත් රැගෙන ඉස්තේප්පු කාමරයට පල්ලම් බැස්සේය. ඒ ගැන දුකක් ඔහුට නොතිබිණි.

"කාමරෙන් ගියෙ මගෙන් පළිගන්ඩ වෙන්ඩ ඇති!"

"එහෙම දෙයක් නෑ! තමන් තමන්ගෙ පාඩුවෙ‍ වැඩ ටික කරගෙන යනවා!"

"එතකොට මේ ගෙදර ලොක්කා මමද?"

"ඔව්! දැනට එහෙම හිතාගන්න එක හොඳයි!"

බිරිය තව ටිකක් උඩ ගිය අතර සැමියාට කෑම බෙදා තැබීම අත් හැරියාය. වෙද මහතා කුස්සියට ගොස් කෑම බෙදාගෙන කෑවේය. බිරිය ඊළඟට කෑම පිසීමේ ප්‍රමාණය අඩු කළාය. වෙද මහතාට ඉතිරි වූයේ දංකුඩ පමණි. ඔහු මේ තත්ත්වය හොඳින් වටහාගෙන තනිව කෑම සපයා ගන්නට වැඩපිළිවෙළක් යොදා ගත්තේය. වරෙක ඔහු හන්දියට ගොස් කෑම මිලට ගත්තේය. තව වරෙක රෝගීන්ගේ නිවෙස්වලින් බඩ-කට පුරා සප්පායම් වූයේය. තවත් වරෙක ඖෂධීය කොළ කැඳ පානයක් සකස් කර ගත්තේය. වෙද මහතා බිරියට පහර දුන්නේ නැත. ඇයට බැණ වැදුණේ ද නැත. එලෙසම බිරියට යටත් වූයේ ද නැත.

එක්තරා දිනයක ගස් වෙළෙන්දෝ කිහිප දෙනෙක් පැමිණ වෙද මහතාගේ වත්තේ වටිනා ගස් කිහිපයක් කපන්නට සැරසුණහ. මේ බව දුටු වෙද මහතා ඔවුන්ට බැණ වැදී පළවා හැරියේය. බිරියට බොහෝ සේ කේන්ති ගොස් තිබූ අතර ඇය සිය සැමියාට අභියෝග කරන්නට පටන් ගත්තාය.

"මං තමන්ගෙ කසාද ගෑනි මටත් මේවයෙ අයිතියක් තියෙනවා!"

"අයිතියක් ඇති. ඒත් ගස් කපන්ට දෙන්ඩ බෑ!"

"ගස් කපන්ඩ දෙන්ඩ බැරි නම් සල්ලි දෙන්ඩ වෙයි!"

"සත පහක් දෙන්නෙ නෑ!"

"එහෙම නම් මං ගෙදර යනවා!"

වෙද මහතා කාලයකට පසු හඬ නඟා සිනාසුණේ ය. හොඳටම සිනාසුණේය. එම හිනාවේ රැඳී තිබුණේ සමච්චලයකි. බිරිය තවත් කෝප වූ අතර කාමරයට වැදී හඬන්නට පටන් ගත්තාය. මේ අතර ප්‍රසිද්ධ ඇමැතිවරයකු ඇට බිඳුමකට ලක් වී වෙද මහතා වෙත රැගෙන ආවේය. බටහිර වෙදකමට අනුව කකුල කපා දැමිය යුතු විය. ඉන් එහා විසඳුමක් නැත.

රෝගී පාදය පරීක්ෂා කළ වෙද මහතා කියා සිටියේ සති තුනක ප්‍රතිකාරවලින් පසු කකුල යථා තත්ත්වයට ගත හැකි බවය. ප්‍රතිකාර ආරම්භ විය. සති තුනක ඇවෑමෙන් හැබෑවටම කකුල සුවපත් විය. එය ඇමැති කකුලකි. ඒ අනුව බොහෝ දේවල් වෙද මහතා වෙත ගලා එන්නට විය. රුපියල් ලක්ෂ දහයක තෑග්ගක්, ගමන් බිමන් සඳහා නූතන පන්නයේ යතුරු පැදියක් හා තවත් දේවල් ඒ අතර විය. පත්තරවල වෙද මහතාගේ ඡායාරූප පළවිය. රජයේ වියදමින් ඔහු පිළිබඳ උපහාර උත්සවයක් පැවැත්විණි.

උත්සවය නිමවා ගෙදරට ගොඩ වූ වෙද මහතාට සිය බිරියගේ අමුත්තක් දක්නට ලැබිණි. ඇය හොඳින් සැරසී සිය සැමියා පිළිගන්නට පෙරමඟ බලා සිටි අපූරු බිරියකි.

"දැන් ඔයා ඉස්තෝප්පු කාමරේ නිදාගන්ඩ එපා!"

"මං තීරණයක් අරන් ඉවරයි. ටවුමෙ කඩකෑල්ලක් අරන් එතන වෙදකම පටන් ගන්නවා. හැබැයි තොට ඒ පැත්තෙ එන්ඩ බෑ!"

වෙද මහතා තෝ! යන වචනය කිසි දිනෙක තම බිරිය උදෙසා පාවිච්චි කර නැත. බිරියට ක්ලාන්ත ගතියක් දැනී තිබිණි. එහෙත් වෙද මහතා සිය අදහස් වෙනස් කළේ නැත.

Comments