ළමා වියේ සොඳුරු මතක මවන ‘කුරුලු’ | සිළුමිණ

ළමා වියේ සොඳුරු මතක මවන ‘කුරුලු’

කෘතිය- කුරුලු
කර්තෘ- මනුජා ලියනගේ
ප්‍රකාශක-සූරිය ප්‍රකාශකයෝ

මිල- රුපියල් 650 ⁄ පිටු ගණන- 64
විමසීම්- 071 053 90 65

බොහෝ දෙනකුගේ ජීවිතයේ සුන්දරම අවදිය කුමක් දැයි ඇසුවහොත් සුලබ පිළිතුර ‘ළමා විය’ වනවාට කිසිදු සැකයක් නැත. ඒ ළමා විය තරම් සරල, අව්‍යාජ සහ සුන්දර අවදියක් ජීවිතයේ කිසිදු වයසකදී යළි අත්විඳින්නට නොලැබෙන නිසාය. “සෑම වැඩිහිටියකු තුළම ළමයකු ජීවත් වේ” යන මනෝ විද්‍යාත්මක කියමන සනාථ කරමින් අපි කවුරුත් යළි යළිත් ළමා වියේ විඳි විචිත්‍ර අත්දැකීම් තුළ සැරි සරන්නට කැමති වන්නෙමු. ළමා විය ගැන කියවෙන නිර්මාණ කියැවීමෙන් කවර වයසක පසුවන අයකුට පවා කිසියම් රස වින්දනයක් ලැබිය හැක්කේ එබැවිනි. ‘කුරුලු’ හෙවත් ‘කුරුලුගේ කතා’ එවැනි රස වින්දනයකට ඇරයුම් කරන කෘතියකි.

කෘතිය පිළිබඳ හැඳින්වීමක් කරමින් එහි කතුවරිය මනුජා ලියනගේ පවසන්නේ ඇය අකුරු අහුලා කියවීමට පටන් ගත් කාලයේ සිට තවමත් සුව නොවූ එකම උණ නම් පොත් කියවීමට ඇති ආශාව බවය. කියවීම විනෝදාංශයක් කරගත් ඇය සිය ලිවීමේ හැකියාව මුවහත් කරගනිමින් ‘කුරුලු’ට පණ දී ඇත. පළමු වරට සිය අත්දැකීම් මුහුණු පොත තුළ පෙළ ගැස්වූ මනුජා ලියනගේ, ඒවාට ලැබුණු ප්‍රතිචාරවලින් ලද දිරියෙන් කුරුලු කෘතියක් ලෙස ප්‍රකාශයට පත් කරන්නේ කතා තිස් තුනකින් යුතු අපූරු නිර්මාණයක් ලෙසටය.

මෙහි එන කතා ඉතා සරලය; ඒවා ලියා ඇති බස ද ඉතා සරලය. එහෙත් ඒ හැම සිදුවීමක්ම අප බොහෝ දෙනකු අත්විඳ ඇති ඒවාය. කුඩා වියේදී කුස්සියේ සීනි බෝතලයට වග කියා ඇති ‘සීනි හොරුන්’ අප අතර නැතිවා නොවේ. දෙසැම්බර් 24 මැදියම් රැයේ පිනි මුවන් බැඳි අශ්ව කරත්තයෙන් නත්තල් සීයා එනතුරු පෙර මඟ බැලූ සුන්දරම බාල කාලයක් අප බොහෝ දෙනකුට ඇත. එහෙත් කොතෙක් නිදි වරා බලා සිටියද නත්තල් සීයා හැමදාමත් ආවේ කුඩා අප නින්දට වැටුණු විටය. එහෙත් ඊළඟ නත්තලේදීත් අප නත්තල් සීයා තෑගි රැගෙන එනතුරු බලා සිටියා නොවේද? ‘කුරුලු’ පිටු අතර ඇති ‘නත්තල්’ කතාව අපට සිහි ගන්වන්නේ ඒ සුන්දර අතීතයයි.

ළමා ලෝකය තව තවත් සුන්දර කිරීමට මෙන්ම අරුත්බර කිරීමට ළමා නිර්මාණවලට ඇත්තේ අපූරු හැකියාවකි. ළමා විය පසු කර සමාජය නම් විසල් විෂම ලෝකයට ඇතුළු වන දරුවා සංවේදී, සහකම්පනයෙන් යුතු අයකු ලෙස නිර්මාණය කිරීමට සාහිත්‍යකරුවාට ද විශාල වගකීමක් ඇත. ළමා සාහිත්‍යකරණය යනු අතිශයින් දුෂ්කර වූ, ඒ නිසාම සීරුවෙන් කළ යුතු, විශේෂ සාහිත්‍යය වූත් අධ්‍යාපනික වූත් කාර්යක් බව ප්‍රවීණ ලේඛක, සාහිත්‍යවේදී ඩබ්ලියු. ඒ. අබේසිංහයන් පවසා ඇත. ‘කුරුලු’ කෘතිය සොබාදහම සහ වැඩිහිටියන් ඇසුරේ ජීවත් වන දරුවන්ගේ සිතුම් පැතුම් අවදි කරමින් ළමා චින්තනයේ ස්වභාවය විශද කිරීම සඳහා නිර්මාණය වූවක් බව කෘතිය පිළිබඳ විවරණය කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කල්‍යානි විජේසුන්දර පවසන්නීය. දරුවන් ඉගෙන ගන්නේ අත්දැකීම්වලින් සහ සමාජයෙන් බව නිදසුන් සහිතව ප්‍රකට කරන මේ කෘතිය, දරුවකු සහ වැඩිහිටියකු අතර සන්නිවේදනය නිර්වචනය කිරීම සහ ගොඩනැඟීම අපූර්ව ආකාරයෙන් සිදු කර ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙය කතුවරියගේ කුලුඳුල් කෘතිය වුවත් විවිධ තේමා අනුව වෙනස් ආරකින් රචනා කර තිබීම සම්බන්ධයෙන් අංකුර ලේඛිකාවක ලෙස ඇය දක්වා ඇති කුසලතාව ඇගයිය යුතුය. මිහිසර ඉලංගරත්න සහ සංජීව ඉලංගරත්නගේ මනහර සිතුවම් කෘතියට ආලෝකයක් එක් කර ඇති අතර, මෙහි ඩිජිටල් සිතුවම්කරණය කවිදු කනිෂ්ක ගෙනි. දරුවන්ට ප්‍රිය උපද වන සුන්දර පිටවැස්ම ගයාන් රාජපක්ෂගේ නිර්මාණයකි.

 සුරේකා ඉලංකෝන්

Comments