පාට දෙකේ යතුරු කැරැල්ල | සිළුමිණ

පාට දෙකේ යතුරු කැරැල්ල

ගේ අත්තම්මාගේ මව උඩරට කුල කාන්තාවකි. ආච්චි අම්මා ද උඩරට කුල සිරිත්වලට හැදී වැඩුණු කාන්තාවකි. ඇයට කොළඹ පදිංචියට එන්න යැයි අපි පෙරැත්ත කළ නමුදු ඇය සතු දේපළ, වස්තූන් හා මහගෙදර අතහැර ඒමට ඇය කොහෙත්ම කැමැත්තක් දැක්වූයේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස පාසල් කාලයේ සිට විශ්වවිද්‍යාලයට යමින් සිටින මේ වන තෙක් නිවාඩුවක් ලද සැණින් ඇය බැලීමට අපි නුවර බලා පිටත් වන්නෙමු. නිතරම ඔසරිය ඇඳ සිටින ඇය ඉතා තේජවන්ත ගැහැනියකි. 

මහගෙදර විසිත්ත කාමරයේ එල්ලා ඇති, අත්තම්මාගේ මවගේ විශාල සේයාරුව නිතරම මා සමඟ උජාරුවට සිනාසෙන බව මට හැඟෙයි. බැලූ බැල්මට ඇය මගේ අත්තම්මාටත් වඩා තේජාන්විත කාන්තාවක් බව පෙනේ. අපේ පියාගේ ආශාවක ප්‍රතිඵලයක් ලෙස අත්තම්මාගේ මව විසූ කාමරය දැන් පුංචි කෞතුකාගාරයක් වී ඇත. නමුදු එවකට පාසල් යන ළමුන් වූ අපට එම කාමරයට යෑමට අවසර තිබුණේ නැත. බොහෝ රහස් ගබඩාවක් එම කාමරය සඟවාගෙන සිටින බව නම් මට වැටහී තිබුණි. එය නැරඹීමේ නොතිත් ආශාවෙන් පෙළුණු මම, එම කාමරයට ඇතුළු වීමට නොයෙක් වර උත්සාහ ගත් නමුදු එය විශාල ඉබ්බකින් අගුළු ලා තිබුණි. එහි යතුර අත්තම්මා ඉණේ බැඳගෙන සිටින හවඩියේ අමුණාගෙන සිටියි. රාත්‍රි නින්දට යන විට පවා ඇය එම යතුර කොට්ටය යට තබා ගෙන නින්දට යයි. ඒ ගැන මම මගේ පියාගෙන් ප්‍රශ්න කළ නමුදු ඔහුගෙන් ද මට සෑහීමට පත් විය හැකි පිළිතුරක් නොලැබුණි. එම නිසාම ඒ ගැන මගේ කුතුහලය දිනෙන් දින වර්ධනය වීමට පටන් ගත්තේය.

දිනක් අත්තම්මාට හෘදයාබාධයක් වැලඳීම නිසා මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇයව ඇතුළත් කරන ලදි. කඩිමුඩියේ මෙන් නුවර පැමිණි තාත්තාත් අම්මාත් ආච්චි අම්මාගේ හදිසි තත්ත්වය නිසා ඉතා කාර්ය බහුල වෙමින් සිටියෝය. අම්මාත් තාත්තාත් ආච්චි අම්මාව බැලීමට තුන් වතාවක් රෝහල කරා යන විට, ගෙදර සිටියේ මමත් නංගිත් මෙහෙකාරියන් දෙදෙනාත් රියදුරාත් පමණි. අත්තම්මා රෝහල්ගත කර දෙවැනි දවසේදී ඇයගේ කාමරය අස්පස් කර දමන්න යැයි අම්මා මට කීවාය. මම 'හා' යැයි කියූ නමුදු වලව්වේ විශාල පුස්තකාලයේ අතරමං වීම නිසා එය මට මඟ හැරුණි. මා හට ගේදොර අස්පස් කිරීම වහකදුරු බව දන්නා අම්මා නොයෙක් වර දොස් පරොස් නැඟුවාය. ඇයගේ කන්දොස්ගිරියාවෙන් බේරීමට ඕනෑ නිසාම 'අද නම් අත්තම්මාගේ කාමරය අස් කරමි..' කියා මම මටම ප්‍රතිඥාවක් දීගෙන තිබුණි. එහෙත් අවාසනාවකට මෙන් මවත් පියාත් රෝහල කරා පිට වූ සැණින් වලව්වේ විශාල පුස්තකාලය වෙත මගේ දෙපා ඇදී යයි. එය මා විසින් කරන ලද්දක් නොව කවුරුන් හෝ මගේ දෙපා මෙහෙය වන්නාක් බඳුය. ඉන් පසු පොත් කියවා කාමරය අස් කිරීමට සිතුවද කවුරුන් හෝ කාලය ගිල දමා තිබුණි.

අත්තම්මා යන්ත්‍රයකින් හුස්ම ගන්නා බැවින් නැවත ගෙදර පැමිණේවි ද යන සැකයක් සහ තුනී දුකක් අප සිත්වල සැරි සැරූවද ඒ සිතුවිලි වචනවලට නොපෙරළන්නට අපි කවුරුත් පරිස්සම් වූයෙමු. මා ඇය ගැන වඩාත් සංවේදී වූ දවසක අම්මා කියූ පරිද්දෙන්ම, මම අත්තම්මාගේ කාමරය අස් කිරීමට පටන්ගත්තෙමි. ඇයගේ උඩු වියන් බැඳ තිබූ ඇඳේ ඇතිරිලි මාරු කරන මොහොතේ ඇගේ කොට්ට උරය ඇතුළට වන්නට තිබී යතුරක් මට හමුවිය.

“අර රහස් කාමරයේ යතුර“

මට ඉබේටම කියවිණි. කාමරය අස් කිරීම පසෙකින් තබා මම වහා ගියේ රහස් කාමරය වෙතය. අගුළු ලා තිබූ යතුරු කටට මේ යතුර මනාව ගැළපුණි. මම වහාම නංගිට කතා කළෙමි. අම්මා සහ තාත්තා පැමිණෙනවා නම් වහාම මට කියන්න යැයි කියා ඔත්තු බැලීමට මම ඇයව පෝටිකෝව වෙත පිටත් කළෙමි.

ජනෙල් පියන් වසා තිබූ රහස් කාමරයේ දොරගුළු විවෘත කළ මම කාමරය තුළ වූ විදුලි බුබුළ දැල්වූයෙමි. කාලයක් විවෘත නොකිරීම නිසා කාමරය ඇතුළත වූ සැර පුස් ගඳ මාගේ ඉහ මොළ ඇතුළට රිංගා කිවිසුම් වැලක් නිර්මාණය කළේය. දකුණත් බාහුවෙන් නාස්පුඩු පිසදා ගත් මම ඉක්මන් වන්නට තීරණය කළෙමි. ගරා වැටුණු වියන් ඇඳක් හා අත්තම්මාගේ මවගේ සහ සිය පවුලේ පින්තූර හැරුණු කොට එම කාමරයේ ඇති දෙයක් නොතිබුණි. තරමක් විශාල ඒ කාමරයේ කොනකට වන්නට පොත් රාක්කයකි. පොත් රාක්කයක් කියා කීවාට එය කුඩා පුස්තකාලයක හැඩයෙන් දිස් විය. එම කුඩා පුස්තකාලය මම තව තවත් ළංව නිරීක්ෂණය කළෙමි. එය වලව්වේ තිබෙන විශාල පුස්තකාලයේ කොටසක් බව මට ඒත්තු ගැන්විණි. එහි වම් පසට වන්නට කුඩා දොරටුවක් ද විය. මම යතුරු කැරැල්ලේ අනෙක් යතුරු එහි කටට ඔබ්බවා එම දොර විවෘත කිරීමේ උත්සාහයක නිරත වීමි. කුඩා දොර විවෘත විය. මාගේ අනුමානය නිවැරදිය. වලව්වේ විශාල පුස්තකාලයට එම කුඩා ද්වාරය විවෘත වී තිබුණි. මිනිසකුගේ උසට සරිලන ලෙස එම දොර නිර්මාණය කර නොතිබුණි. මෙම කුඩා බිංගෙයක් වන් ද්වාරයෙන් විශාල පුස්තකාලයට යෑමට නම් සැබෑ මනුෂ්‍යයෙකු දණ ගාමින් යා යුතුය. මට මතක් වූයේ අපි කුඩා කළ නැරඹූ "ඇලිස් ඉන් වොන්ඩලෑන්ඩ්" සුරංගනා කතාවයි. දොරෙන් එපිට තිබෙන පුස්තකාලයේ නිරන්තරයෙන් කල් ගෙවන මට එහි බැලිය යුතු තව අරුමයක් නොවුණි. මම කුඩා දොර වසා දමා නැවත කාමරය දෙසට හැරුණෙමි.

හිස් කාමරයක මොනවා හංගන්න කියලද අත්තම්මා මෙච්චර මේ යතුරු කැරැල්ල පරෙස්සම් කළේ?

කාමරයට ඇතුළු වන විට හිතේ තිබූ තදබල කුතුහලය හීනව යමින් දැන් එය ශූන්‍ය බවට පත් වී ඇත.

බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති විශාල පොතක්, පොත් රාක්කය මත දුටු මම විගස එම පොත අතට ගත්තෙමි. එහි කවරය දූවිලිවලින් වැසී තිබුණි. අතින් දූවිලි තට්ටුව පිසදාන්නට නොහැකි තරමටම එහි දූලි තට්ටු පදිංචිව සිටියහ. මට යාන්තමට පෙනුණේ එංගලන්තයේ කොඩිය සහ ඉංග්‍රීසි ඇඳුමින් සැරසී සිටි යුවතියකි. පළමුව පොතේ කවරය පිරිසුදු කිරීමට මම රෙදි කැබැල්ලක් හෝ තිබේ දැයි වටාපිටාව වෙත ඇස් රැඳෙව්වෙමි. වහලට අඟල් දෙකක් පමණ හිඩැසක් තිබෙන රාක්කයේ වම්පස උඩම තට්ටුවට වන්නට දූවිලිවලින් වැසී ගිය රෙදි කඩකි. එය ගන්නට නම් මිටි මම තෙවැනි රාක්ක තට්ටුවටවත් නැඟිය යුතු වේ. පොත පසෙකින් තබා තෙවැනි රාක්ක තට්ටුවට නැඟ ගත් මම, ඇඟිලි තුඩුවලින් තවත් ඉස්සී රෙදිකඩ ගැනීමේ තනි සටනක යෙදුනෙමි. රාක්කය පසුපසට තල්ලු වීම නිසා රාක්කයෙන් දඩස් බඩස් හඬක් මතු විය.

රාක්කයේ අවසානය.... මේක මගෙ ඇඟට කඩාගෙන වැටුණා කියන්නෙ මගෙත් අවසානය...

මම තද කොට ඇස් වසා ගත්තෙමි.

රාක්කය බඹර චක්‍රයක් ලෙස කැරකෙන්නට ගත්තේය. මම දෝතින් රාක්කය බදාගෙනම නැවතත් සුරංගනා කතාවක, බියෙන් හා කුතුහලයෙන් අතරමං වීමි. බඹරයක් මෙන් හිස කරකවාගෙන රාක්කය නතර විය. ඒ නතර වී තිබුණේ කාමරයේ තිබූ කුඩා පුස්තකාලය පිටුපස තිබෙන කුටියක බව මට වටහා ගැනීමට විනාඩි කිහිපයක් ගත විය. හිස නැවත යථා තත්ත්වයට පත් වූ විගස මම රාක්කයෙන් බැස්සෙමි. අවට බැලුවෙමි. මම හෙවූ කුතුහලයෙන් පිරුණු ලෝකය මෙයද? මම ඇස් ඉක්මන් කළෙමි.

මුලින්ම මාගේ ඇස ගැටුණේ බිත්තියේ එල්ලී තිබෙන බ්‍රිතාන්‍ය හා ශ්‍රී ලංකා කොඩි ද්විත්වය ය. එම කොඩි දෙක ඔබ්බට වන්නට හොඳට දැක හුරු පුරුදු මුහුණකි. මම මඳක් කල්පනා කළෙමි.

"ඔව් මගේ මතකය හරි නම් ඉතිහාස පොතක තිබූ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙක් වෙන්න ඕන." මම සිතුවෙමි. මම තවත් කිට්ටු වී එම පින්තූරය දෙස බැලුවෙමි. පින්තුරය යටින් මෙලෙස සඳහන් කර තිබුණි.

Sir William Gregory

K.C.M.G

Formerly member of Parliament and Sometime governor of Ceylon.

වර්ෂය ලෙස 1875 නම් කර තිබුණි.

මගේ අනුමානය හරිය. එම පින්තූරයට අනෙක් පසට වන්නට අත්තම්මාගේ මවගේ අතින් ග්‍රෙගරි ආණ්ඩුකාරතුමා අල්ලාගෙන සිටින අමුතු... අලංකාර... ආදරණීය.. ඡායාරූපයකි. බිත්තිය පුරාම එම ආණ්ඩුකාරවරයා, අත්තම්මාගෙ මව සහ තවත් බ්‍රිතාන්‍ය හා ශ්‍රී ලාංකිකයන්ගේ සමූහ පින්තූර රාශියකින් පිරී තිබුණි. වහලය උසටම වන්නට තිබෙන ඇයගේ විශාල පොත් රාක්කය ඉංග්‍රීසි පොත්වලින්ම පිරී තිබුණි. පොත් අතපත ගා පෞරාණික භාණ්ඩ පරීක්ෂා කළ මට කාලය යනවා දැනුණේ නැත. දෙතුන් වතාවක උත්සාහයක් මත, රාක්කයේම නැඟ ගත් මම නැවත අනෙක් පස ඇති කාමරයටම පැමිණියෙමි.

මවත් පියාත් පැමිණීමට කාලය හරි බව ඉවෙන් මෙන් දැන සිටි නිසා මම රහස් කාමරය වසා අගුළු දැමුවෙමි. අනෙක් දවසේ මවත් පියාත් රෝහලට යනතෙක් කුරුමානම් අල්ලමින් සිටි මම නැවත රහස් කාමරයට රිංගා ගත්තේ ඔත්තු බැලීමට නංගී පෝටිකෝව වෙත යැවීමෙන් පසුවය.

පෙර පරිදිම රහස් කාමරයේ, කුඩා පුස්තකාලයේ රාක්කය මත එල්ලී කුඩා තල්ලුවක් දුන් විගස ඒ බඹර චක්‍ර පුස්තකාල යානාව මා රහස් ගබඩාව මත රැඳෙව්වේය.

එදින විශාල පෙට්ටගමක් මට ඇස ගැටුණි. යතුරු ලා නොතිබුණු පෙට්ටගම මම විවෘත කළෙමි. කාලාන්තරයක් වසා තැබීම නිසා එය විවෘත කිරීමත් සමඟම නාසයට දරාගැනීමට නොහැකි සැර මුසු ගඳක් හැමුවේය.. එහි ඇතුළත තිබී වටිනා ටයි පටි, ටයි පින්, ඉංග්‍රීසි සම්භවයක් ඇති නොයෙකුත් පලඳනාවන් සහ මැක්‍රම් යෙදූ ගවුම් මට හමුවිය. ඒ ඇඳුම් අතරට සිරව තිබූ දින පොතක් විය.

හිතට නැඟුණු කුතුහලය නිසාම එම දින පොත රැගෙන පුස්තකාල රාක්ක යානාවෙන් බැස රහස් කාමරය ද අගුළු ලා මම මගේ කාමරයට පැමිණියෙමි.

එක්දාස් අටසිය ගණන්වල සිදුවීම් රැසක් ලියා තිබෙන අයුරු දුටු මම දින පොත කියවීමට පටන් ගත්තේ නොඉවසිල්ලෙනි. 

“හෙන්රි, ඔයා නැතිව ගෙවෙන දවස් මට ඉතා දිගය“

ඇය ඇගේ දිනපොත පටන් ගෙන තිබුණේ එලෙසිනි.

පිටුවෙන් පිටුව කියවූ මම ගල් ගැසුණි.

අහෝ දෙවියනි! ඇය ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාෙගේ පෙම්වතිය....

දිනක් නුවර පෙරහැර නැරඹීමට ඇය පැමිණි අවස්ථාවක 'විලියම් හෙන්රි ග්‍රෙගරි' ආණ්ඩුකාරවරයා ඇයට මුණගැසුණු බවත්, ඉන්පසුව ඔහු නිතරම ඇය බැලීමට පැමිණි බවත්, ඔහු ඇයගේ සිත්ගත් කඩවසම් තරුණයා බවත් ඔහුගේ ආදරය කිසි දිනෙක ඇයට අමතක කර දමන්නට බැරි බවත් ඇය ලියා තිබුණි.

ඔහුගේ ආණ්ඩුකාර ධුරය අවසන් වූ පසුව නැවත එංගලන්තය බලා ගිය ඔහු නිතරම ඇයව බැලීමට නොයෙක් වර ලංකාවට ආ නමුදු, ජීවිතයේ අවසන් කාලයේ රෝග පීඩාවලින් පෙළීම නිසා ඇයව බැලීමට නොපැමිණි බව ද එහි සඳහන් විය.

ආදරණීය හෙන්රි,

ආදරය යනු ආදරය ම වේ...

සිතියමකට කවදාවත්ම බෑ...

බැඳුණු හිත් දෙකක් වෙන් කරන්න..

1920 අවුරුද්දේ අප්‍රේල් 10 දා

ඔබේ මරණය ගැන මට සැළ වුණි.

දැන් රෝද පුටුවක සිටින මම,

එදා ඔබ සමඟම මියැදුණි...

අවසාන පිටුවේ ඇය එසේ ලියා තිබුණි.

මගේ දෑස් තෙත් වී තිබුණේ කුමන මොහොතේ දැයි නිශ්චිත නිගමනයක් මට නොතිබුණි.

අත්තම්මාගේ මවගේ සැමියා හෙවත් අපේ අත්තම්මාගේ පියා ගැන අපි කවදාවත් අසා නැත. අත්තම්මාගේ මවට තිබුණේ තලෙළු හමක් වුවද අත්තම්මාට තිබුණේ සුදෝ සුදුවට බබළන අලංකාර හමකි. මගේ තාත්තගේ රූපය... දැන් මට ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාට හුරු බව සිතෙයි. මම වහා ඉක්මන් වූයෙමි. දුවගෙන ගොස් අත්තම්මාගේ අල්මාරිය ඇද ඇයගේ උප්පැන්න සහතිකය සොයා ගතිමි. එහි පියාගේ නම "විලියම් හෙන්රි ග්‍රෙගරි" ලෙසින් සඳහන් වී තිබුණි.

එතකොට මගේ පියාට, මට සහ මගේ නංගිට නිල් පැහැයට හුරු ඇස් දෙකක් හා මෙතරම් සුදු හමක් ලැබුණේ ඔහුගෙන්ද??? මම අන්දමන්ද වී සිටියෙමි. තාත්තගේ උප්පැන්නයේ ඔහුගේ සීයා ලෙස “හෙන්රි“ කියා සඳහන්ව තිබුණේ මේ ගෞරවාන්විත මිනිසා ගැනද?

හිතට හී සර වදින්නාක් මෙන් ශෝකාකූල හැඟීමක් මා සිත වෙළා ගනිමින් සිටී.

“රහසක් නම් රහසක් ම වී තිබිය යුතුය...."

ඒ පෞරාණික දින පොත මහත් ආදරයෙන් සහ භක්තියෙන් පෙට්ටගමටම දමා වසා, නැවත එම ශෝකානුකූල පුස්තක යානාවෙන් බැස ගත් මම එළියට පැමිණියෙමි.

හිතකට නැඟෙන කුතුහලය සෑම විටම තෘප්තිකර හැඟීමකින් නිම වනවා යැයි සිතා සිටි මම එය මනසින් වහාම සංශෝධනය කළෙමි. එය තවත් පාඩමකි. ජීවිතය පුරා ලද හැකි අත්දැකීම් ගොන්නට එකතු වන තවත් එක දුක්මුසු පාඩමකි. කුතුහලය ශූන්‍ය බවිනුත් පහළටම කඩා වැටී ඇත. දැන් එය මා සිතූ සුරංගනා කතාවකට පරස්පර, තවත් සාමාන්‍ය කතාවක් පමණි. යළිත් සුසුම් පොදක් වා තලයට මුසු කළෙමි. එහෙත් අභ්‍යන්තරය ලිහිල් වන බවක් නම් නොදැනුණි. වහාම අත්තම්මාගේ කාමරය වෙත ගිය මම මාරු කරන ලද නව කොට්ට උරය ඇතුළත යතුර රඳවා තවත් මොහොතකුදු එහි නොසිට මගේ කාමරයට පැමිණ ඇඳෙහි දිගා වී දෑස් පියා ගත්තෙමි.

ඔව්...රහසක් නම් රහසක් ම වී තිබිය යුතු නොවේද?

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි

Comments