ඉහළ ඉලක්ක කරා හඹා යන්නන් දැඩි උනන්දුවකින් සහ සතුටකින් එය කළත් සර්ව සම්පූර්ණකම අපේක්ෂා කරන්නන් ඉලක්ක පසුපස හඹා යන්නේ සිත යට බිය හංගාගෙනය. අසාර්ථක වේ යැයි හෝ පරාජය වේ යැයි සිත තුළ පැලපදියම් වූ බියෙන් යුතුවය
“දරුවාගේ වරදක් කියන්නට බැහැ. වැඩ ටික අපූරුවට ලස්සනට කරනවා. ඒත්..." ගුරුතුමිය යම් කල්පනාවකට වැටුණාය. " ඇයි ටීචර් ඒත් කිව්වේ ? වෙන මොනවා හරි ගැටලුවක්ද ? " දරුවාගේ මව ඇසූවේ කලබලයට පත්වය.
" නැහැ නැහැ එහෙම දෙයක් නෙවෙයි. එයා වැඩ ලස්සනට පිළිවෙළට කළාට සෑහෙන වෙලාවක් ගන්නවා. අනෙක් ළමයි එක්ක සංසන්දනය කරන්න හොඳ නැහැ තමයි. ඒත් එයාල ඉවර වෙලා සෑහෙන වෙලාවකට පස්සෙ තමයි පුතා වැඩ ඉවර කරන්නේ."
" ඒක නම් එහෙම තමයි ටීචර්. මොන වැඩේ කරන්න ගියත් ඔහොමයි. ඕනෑවට වඩා පිළිවෙළ බලනවා. එයාට ඒ වැඩේ බැහැ කියලා හිතුනොත් උත්සාහයක්වත් දරන්නෙ නැතුව දමලා ගහලා නිකම් ඉන්නවා."
පාසල් වයසේ පසු වන දරුවන් අතර එබඳු ලක්ෂණ බොහෝ විට දකින්නට ලැබේ. එහෙත් එය පාසැල් වටපිටාවට සීමා වන්නේ ද නොවේ. වැඩිහිටි සමාජයේ එනම්, අප අතරේ ද එබඳු පුද්ගලයන් ඕනෑ තරම් ඔබ අපට මුණ ගැසී ඇතිවාට සැක නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ සියයට සියයක් පරිපූර්ණව කටයුත්තක් ඉටු කිරීමය. සියයට එකක හෝ අඩුපාඩුවක් සිටී යැයි ඔවුහු නිතරම පාහේ සිතින් තැවෙන්නෝය.
එබඳු පුද්ගලයකු අප හඳුන්වන්නේ " සර්වතෝභද්‍රවාදියකු " හෙවත් කිසිවක අඩුවක් තියන්නට හෝ දකින්නට නොකැමැති පුද්ගලයකු (perfectionist) වශයෙනි. තමා ද හැම ද හැම විටම පාහේ සර්ව සම්පූර්ණ විය යුතු යැයි තැවෙන එබඳු තැනැත්තන් අන් අය ද එලෙසම විය යුතු යයි බලාපොරොත්තු වීම ද දැකිය හැකිය.
එබඳු තැනැත්තකු හඳුනාගත හැක්කේ කෙසේද ? එසේත් නැතිනම් බාගවිට අප තුළත් එබඳු ලක්ෂණ සැඟවී තිබෙනවා ද ? එය අප කවුරුත් දැනගත්තාට පාඩු වන කාරණයක් නොවේ.
එබඳු තැනැත්තන්ගේ ඉලක්ක බොහෝ විට මහ ඉහළ ඒවායි. යම් තාක් දුරකට උත්සාහ කරන්නට හෝ මගදී ලැබෙන වඩා ඉහළ හෝ වඩා සාර්ථක ප්‍රතිඵලයක් බාර ගන්නට හෝ ඔවුන් සූදානම් නැත. ඔවුන් බලාපොරොත්තු වන්නේම සියයට සියයක ප්‍රතිඵලයකි. 99% පවා ඔවුන් දකින අන්දමට දැඩි අසාර්ථක බවකි; පරාජයකි.
ඉහළ ඉලක්කයට ළඟා වීමේ උත්සාහයෙන් පෙළෙන ඒවා ළඟා කරගන්නා පුද්ගලයන් අප අතර නැතුවා නොවේ. ඔවුන් තමාගේ උත්සාහය පිළිබඳ සතුටු වී අන් අයට ද එබඳු උත්සාහයක් දරන්නට උපකාර කරයි. අන් අය පොලඹවයි. එහෙත් සියල්ල පරිපූර්ණ විය යුතුයැයි බලාපොරොත්තු වන තැනැත්තන් ඊට හාත්පසින්ම වෙනස්ය. ඔවුන් දකින්නේම අන් අයගේ අඩුපාඩු, වැරදීම් හා දුර්වලතාය.
සැබැවින්ම ඉහළ ඉලක්ක කරා හඹා යන පුද්ගලයන් ඒ කටයුතු සිදු කරන්නේ දැඩි උනන්දුවකින් සතුටකින් සහ උද්යෝගයකින් යුතුවය. එහෙත් සර්ව සම්පූර්ණකම අපේක්ෂා කරන්නන් ඒ ඉලක්කය පසුපස නිතරම හඹා යන්නේ සිත යට බිය හංගාගෙනය. අසාර්ථක වේ යැයි හෝ පරාජය වේ යැයි සිත තුළ පැලපදියම් වූ බියෙන් යුතුවය. අනෙක් අතට ඔවුන්ගේ ඉලක්ක බොහෝ විට යථාර්ථයෙන් ඉතා දුරය; අතාර්කිකය.
බොහෝ දෙනා තමාගේ ජීවිතය ඉහළ තලයකට ගෙන යන්නට උත්සාහ කරන්නේ හැකි උත්සාහයක් දරන්නට ඇති කරගත් අදිටනකින් යුතුවය. ඒ ගමන් මාර්ගයේදී ඔහුට හෝ ඇයට හමු වන හොඳ නරක සියලු අත්දැකීම් සතුටින් විඳ දරා ගනිමින් කටයුතු කිරීම ඔවුන්ගේ ලක්ෂණයයි. එහෙත් සියල්ල 100% ක් හරි ආකාරයට බලාපොරොත්තු වන මිනිසුන් මේ ගමන යන්නේ " පරාජය"පරාජය කිරීමේ ඒකායන අරමුණෙන් යුතුවය. ජීවිත් වෙන්නට ඔවුන්ට කලක් වෙලාවක්, සිතේ සැහැල්ලුවක් හැඟීමක් නැති තරම්ය.
ඔවුන් හැම විටම සිටින්නේ අපේක්ෂිත එහෙත් තවමත් මුණ නොගැසුණු අරමුණු පිළිබඳ මානසික පීඩාවෙනි. ඔවුහු නිතරම පාහේ අසාර්ථකත්වයට පත් වීමේ බියෙන් පසු වන්නෝය. එබැවින්ම බොහෝ කටයුතු කල් දමන්නටම මාන බලන්නෝය. 100% ක සාර්ථකත්වයක් මිස හැකි උපරිම උත්සාහ දැරීමේ අදහසක් ඔවුන් සතුව නැති හෙයින් හැම විටම පරිපූර්ණ ආරම්භයක් සඳහා වැඩ කල් දමන්නට ඔවුන් සූදානම්ය. තමා පිළිබඳ හොඳ අගය කිරීමක් නැති, හැම විටම තමාගේ අඩුපාඩු ඇතැයි තැවෙන ඔවුන් අඩු ආත්ම අභිමානයෙන් යුක්තව ජීවත් වන පුද්ගලයන් යැයි කිව හැකිය.
හැමවිටම සියල්ල පරිපූර්ණ විය යුතු යැයි කල්පනා කිරීමේ අවාසි තිබෙනවාද ? ඊට පැහැදිලිවම “ඔව්” කියන්නට අපට පුළුවන. මොහොතකට පෙර කතා කළා මෙන් එයින් ඇති වන එක්තරා භයානක හානියක් වන්නේ වැඩ කල් දැමීමට හුරු වීමය. එය හුරු වී ගිය කල ඔවුන් හැම විටම කල්පනා කරන්නේ කවර කටයුත්තක් වුව ද ඉතා අසීරු බවය. පුළුවන් හැටියකට පටන් ගන්නවා වෙනුවට ඔවුන් එයින් පසු කරන්නේ ඒ කාරිය කල් දැමීමය. අනෙක් අතට ඔවුන් සතු වන්නේ ප්‍රායෝගික හෝ සැබෑ ලෝකයට කිට්ටු හෝ නොවන ඉලක්ක බැවින් ඉන් පෙර ලද අසාර්ථක වීම් හා පරාජ ඔවුන්ගේ සිත් තුළ හොල්මන් කරන්නට පටන් ගනී. මේ කාරණා නිසා වැඩ කල් දැමීමේ පුරුද්ද ඔවුන්ගේ ජීවිතයේ අංගයක් බවට පත් වෙයි.
සියල්ල සියයට සියයක් බලාපොරොත්තුවන තැනැත්තකු යම් කටයුත්තක් බාර ගත් විට ඔහු හෝ ඇය එය අරඹන්නට පෙර හැම අතම ඕනෑවට වඩා බලන්නට යෑම අමුතුවෙන් මතක් කළ යුත්තක් නොවේ. කොහෙත්ම වැදගත් නොවන කරුණු පසුපස වුව ද එළවා යෑම ඔවුන්ගේ සිරිතයි. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ අනවශ්‍ය කාරණාවලට සෑහෙන කාලයක් මිඩංගු කොට දැමීමත්, බාර දුන් කාර්ය හරි හැටි ඉටු නොවීමත් හැර වෙන කිසිවක් නොවේ. එබඳු තැනැත්තකු හරි හැටි වැඩක් නිම කරන කෙනකු ලෙස හංවඩු ගැසෙන්නට ඇති ඉඩකඩ වැඩිය.
සියල්ල සියයට සියයක් බලාපොරොත්තු වුණ පුද්ගලයකුට මුහුණ දෙන්නට සිදු වන තවත් ප්‍රබලම පාඩුවක් වන්නේ එක තැන පල් වන්නට සිදුවීමය. ඒ කොහොම දැයි ඔබ අසන්නට පුළුවන. හැමවිටම හොඳම විදිහට කරන්නට වෙහෙසෙන බැවින් මෙබඳු පුද්ගලයන් යම් කාර්යකට අනුගත වන එක්තරා පිළිවෙලක් තිබේ. තමා සියල්ල දන්නේ යැයි උපකල්පනය කරගෙන සිටින බැවින් අන් අයකුගෙන් යම් අදහසක් හෝ උපකාරයක් ලබා ගන්නට ද ඔවුන් අකැමැතිය. මෙහි ප්‍රතිඵලය වන්නේ අලුත් අත්දැකීමක් ලබා ගන්නට ලැබෙන ඉඩකඩ හෝ පුද්ගලයන් සමඟ එකතු වී වැඩ කිරීමේ අත්දැකීම ලබාගන්නට ඔවුන්ට ලැබෙන අවස්ථාව අඩු වීමය. කාලයක් තිස්සේ මෙසේ හුරු වීම හේතුවෙන් තමා දන්නා තමා විශ්වාස කරන ඇබිත්ත හැර අමතර යමක්, ලෝකෙන් යමක්, අත්දැකීම්වලින් යමක් එකතු කර ගන්නට ඔහු හෝ ඇය සමත් නොවෙයි.
එය මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍යය කෙරේ ද බලපාන්නේ යැයි පැවසුවහොත් ඔබ විශ්වාස නොකරනු ඇත. මෙබඳු පුද්ගලයන් සාමාන්‍යයෙන් අප කතා කරන භාෂාවෙන් පැවසුවහොත් "බෙල්ල කඩාගෙන හෝ වැඩ කරන්නට සූදානම් "අය ය. හිතේ සැහැල්ලුව, නින්ද, කෑම බීම මේ සියල්ලක්ම බොහොම පහසුවෙන් අමතක කරන්නට ඔවුන්ට පුළුවන. අනෙක් අතට නිබඳවම පාහේ කනස්සල්ලෙන්, බියෙන් සැකෙන් පසු වන බැවින් මානසික සෞඛ්‍යය අතින් ද අගතියට ඇදෙන්නෝය. එබැවින් ක්‍රමක්‍රමයෙන් ශාරීරික හා මානසික සෞඛ්‍යය දෙකම පිරිහෙන්නට පටන්ගෙන අන්තයේදී නිෂ්ප්‍රයෝජන පුද්ගලයකු බවට පත් වන්නට ඇති අවදානම ද ඉහළය.
ලෝකය ඉදිරියට යන්නේ මනා අන්තර් පුද්ගල සබඳතා හරහා බව අමුතුවෙන් කිව යුතු නොවේ. සමබර පුද්ගලයකු බිහි වන්නට නම් හොඳ අන්තර් පුද්ගල සබඳතා තිබිය යුතුය. එබඳු ශාරීරික හා කායික වශයෙන් නිරෝගී පුද්ගලයන් එකතුවකට පමණක් මේ ලෝකය හොඳ අතට පෙරළන්නට පුළුවන. අභාග්‍යයකට මෙන් සියල්ල පරිපූර්ණ වන තෙක් බලා සිටින තැනැත්තන් බාහිර පුද්ගලයන් සමග පවත් වන්නේ හොඳ අන්තර් සබඳතාවක් නොවේ. ඔවුන් අනෙකකුගේ අදහස්වලට හිස යොමන්නට අකැමැති වන අතරම අනෙක් පුද්ගලයන් ද සෑම කාරණාවක්ම තමා දකින ආකාරයෙන්ම දැකිය යුතු යැයි කල්පනා කරන බැවින් වැඩිපුර අඩුපාඩු හොයන්නට යන බැවින් අන්‍යයන් සමඟ හොඳ සම්බන්ධතාවක් ගොඩනඟා ගන්නට ඔවුන්ට නොහැකි වෙයි. එමෙන්ම සෑම කටයුත්තක්ම සියයට සියයක් නිවැරදි හා සාර්ථක විය යුතු යැයි කල්පනා කරන බැවින්, යම් විටෙක තමන්ට එය ඉටු කර ගන්නට නොහැකි වුවහොත් ලජ්ජා විඳින්නට වේ යැයි බියෙන් ද ඔවුහු මෙකී සම්බන්ධතා සීමා කර ගනිති.
යම් හෙයකින් මෙබඳු ගති, අඩු වැඩි වශයෙන් හෝ යන්තමින් හෝ අප තුළ ද ලියලන්නට පටන් ගතහොත් එයින් මිදෙන්නට හැකි ක්‍රමවේද තිබෙනවාදැයි කල්පනා කිරීම වරදක් නොවේ. ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු තිබෙනවායි යැයි අප කල්පනා කරන්නා සේම මීට ද අපේ එදිනෙදා ජීවිතයේදී සොයාගත හැකි පිළියම් ගණනාවක් තිබේ. ඒවා බොහොමයක්ම අප සිතන පතන ආකාරය වෙනස් කර ගැනීම හා සම්බන්ධය.
පළමුවෙන්ම අප කළ යුත්තේ අප ද මෙසේ සියල්ල සියයට සියයකින් ඉටුවේදැයි කල්පනා කරන, වෙහෙසෙන මොහොතක් තිබෙනවාදැයි බැලීමය. නිතරම නැතත් ඉඳහිට හෝ එබඳු හැඟීම් අප තුළ උපදින්නට පුළුවන. මේවා නොසලකා හැරීම හරහා පහසුවෙන් අතහැරිය නොහැකි ඇබ්බැහි වීම් කරා ඇදෙන්නට වුව ඉඩ තිබෙන බව කීම බොරුවක් නොවේ. මේ කාරණාව සම්බන්ධයෙන් පිළියම් හොයන්නට පළමුව සිදු කළ යුතු මුල්ම දේ වන්නේ තමා ගැනම ටිකක් හොඳින්, ගැඹුරින් හා සිහියෙන් කල්පනා කර බැලීමය.
සැම විටම සියල්ල පරිපූර්ණ ලෙස සිදුවේයැයි බලාපොරොත්තු වීමම එක්තරා ආකාරය සෘණාත්මක අත්දැකීම් ගොන්නකට අත වැනීමක් වැනිය.
අප කොපමණ උත්සාහ කළ ද, කොපමණ බලාපොරොත්තු රඳවාගත්ත ද සියල්ල සර්ව සම්පූර්ණ වන්නේ නැත. එහෙත් එය අවබෝධ කර නොගන්නා තාක් අපට ලැබෙන්නේ අමිහිරි අත්දැකීම්ය. එබැවින් ඕනෑම දෙයක ඇති යහපත හඳුනා ගන්නට අප උත්සාහ දැරිය යුතුය. අපේ යම් උත්සාහයක් සියයට සියයක් සාර්ථක නොවූව ද අප ඒ හරහා දිනා ගත්, ලබා ගත් යම් කොටසක් ඇති බව කල්පනා කළ යුතුය. ක්‍රමක්‍රමයෙන් එසේ සිතන්නට පුරුදු වීම අර කී මානසික පීඩාවෙන් මිදෙන්නට හොඳ මඟකි.
අප කා අතිනුත් වැරදි අඩුපාඩු සිදුවන්නට ඉඩ ඇත. එක වරදකින් සියල්ල සියයට සියයකින් අහෝසි වී, විනාශ වී යන්නේ නොවේ. එහෙත් පරිපූර්ණත්වයම කල්පනා කරන තැනැත්තා හැම විටම බලාපොරොත්තු වන්නේ ඔය කී අයුරිනි. එබඳු තත්ත්වයකට නොවැටී ඉන්නට හොඳම මඟ වැරදීම් වඩා නිවැරදි මඟකට අප යොමු කරන පාඩම් බව සිතන්නට පුරුදු වීමය. එය එකවර හුරු වීම පහසු කටයුත්තක් නොවේ. එයට හොඳ උපක්‍රමයක් මට වරෙක මානසික සෞඛ්‍යය හා සම්බන්ධ බ්ලොග් අඩවියක තිබී කියවන්නට ලැබුණි. ඔවුන් යෝජනා කරන්නේ ඊට අප ටිකක් අසීරු, අමාරු ක්‍රීඩාවක්, විනෝදාංශයක් වැනි දෙයක් තෝරා ගත යුතු බවය.
පැහැදිලිවම එක රැයින් මේ අලුත් කාරියේ මුඳුන් පෙත්තට නඟින්නට බැරි බව අපට වැටහෙනු ඇත. එමෙන්ම එහි ඉදිරියට යෑම හෙමින් හෙමින්, වැරදි වැරදී සිදුවන බව ද අපට තේරුම් යනු ඇත. ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් ඒ අවබෝධය සාමාන්‍ය ජීවිතයට ද ගළපා ගන්නට ඒ හරහා අපට හැකි වනු ඇත.
සියල්ල පරිපූර්ණ ලෙස සිදුවිය යුතු යැයි බලාපොරොත්තු වන පුද්ගලයන්ගේ ඉලක්ක ඇතැම් විට ප්‍රායෝගික නොවේ.
අප ද ඉඳහිට හෝ එබඳු , ලේසි පහසු නොවන ඉලක්ක පසුපස හඹා යන්නට ඉඩ තිබේ. එබඳු මොහොතක අපට අත්විඳින්නට සිදුවන පාඩු කීපයකි. එකක්, ඒ ඉලක්කයට සමහර විට අපට ළං වන්නටවත් ඉඩ නොලැබෙන්නට පුළුවන. එවිට අපේ කාලය ද මහන්සිය ද අපතේ යයි.
චිත්ත පීඩාවක් ඇති වන්නා සේම , අප ගැන අප තුළ ඇති විශ්වාසය ද දියවී යන්නට එය හේතුවක් වෙයි. එබැවින් සියල්ල පරිපූර්ණව සිදුවිය යුතු යැයි යුතු යැයි බලාපොරොත්තු වන තැනැත්තන්ට මෙන්ම, එසේ නොවන කෙනෙකුට වුව වඩා ප්‍රායෝගික වන්නේ පියවරෙන් පියවර ඉහළට යා හැකි කෙටි හා ළඟා විය හැකි සැලසුම්වලට හුරු වීමය. එය උදාහරණයකින් පවසතොත් එකවර මහ ඉහළක් නඟිනු වෙනුවට පියවරෙන් පියවර පියගැට පෙළක් දිගේ එහි ළඟා වන්නාක් මෙනි. අප පීඩනය ලෙස බොහෝවිට සලකන්නේ බාහිර තැනැත්තන්ගෙන් හෝ බාහිර ලෝකයෙන් අපට අත්විඳින්නට සිදු වන නොකැමැති හෝ අප්‍රසන්න අත්දැකීම් හේතුවෙන් සිතේ මතු වන තත්ත්වයටය. එහෙත් අප කල්පනා නොකරන කාරණය නම් අපේ සිත වඩාත්ම පීඩාවට පත් කරන්නේ අපම බවය. එබැවින් හැම විටම අප සියයට සියයක් නිවැරදි විය යුතුය, අප සාර්ථක විය යුතුය යන පීඩනය අපේ හිතටම නොදෙන්නට වග බලා ගන්නේ නම් මේ තත්ත්වයෙන් යම්තාක් දුරකට මිදී සැහැල්ලු පුද්ගලයකු වන්නට අපට හැකි වෙයි.
සියල්ල සර්ව සම්පූර්ණ වශයෙන් ඉටු කළ යුතුය, සාර්ථක පුද්ගලයකු වන්නට නම් 100%ක් තිබිය යුතුය යන අදහස් හුදෙක් අප තුළින්ම මතු වන ඒවා නොවේ. ඒවාට බොහෝ සෙයින් දායකත්වය දක්වන්නේ අප ඇසුරු කරන මාධ්‍යයි.
එයින් රූපවාහිනිය ප්‍රධාන ලෙස සැලකුව ද, එය අභිබවා අපේ මනසට මේ බල කිරීම මේ පෙළඹුම සිදු කරන්නේ සමාජ මාධ්‍ය ජාලායි. එහි පෙන්වන පරිපූර්ණ බව සෑම විටකම වාගේ මවාපෑමකි. ඒවායේ අසාර්ථක වන පුද්ගලයන් නැත.
එබැවින් අපට ද සිතෙන්නේ අප වඩා පරිපූර්ණ විය යුතු බවය. අප ලබා ඇති දියුණුව ජයග්‍රහණය කොහෙත්ම ප්‍රමාණවත් නැති බවය. මේ පීඩාවෙන් මිදෙන්නට නම් එක්කෝ අප ඒ මවාපෑම් වටහා ගත යුතුය. නොඑසේ නම් එකී සමාජ මාධ්‍ය ජාලා යනාදිය පරිහරණය සීමා කළ යුතුය. මෙහි දෙවැන්නට වඩා ප්‍රායෝගික වන්නේ පළමු වැනි යෝජනාවයි. සියල්ල පරිපූර්ණ ලෙස සිදු විය යුතු බව කල්පනා කරන්නට හුරු වීම නිසැක වශයෙන්ම මානසික වදයකි. හිතේ සැහැල්ලුව හා මන සුව නසා දමන්නකි.
එහෙත් කෙළවරටම නොදැනීම පාහේ ඇදී ගිය පුද්ගලයන් ආපසු මෙහා කොනට ඇද ගැනීම තරමක් අසීරු කාර්යයක් විය හැකිය. සරලව එදිනෙදා ජීවිතය වටහා ගනිමින් ජීවන රටාව හා සිතන පතන ආකාරය වෙනස් කර ගනිමින් එයින් මිදෙන්නට ඇතැමකුට හැකි එසේ නොහැකි කවරකුට වුව CBT (Cognitive Behavioral Therapy) වැනි මනෝ චිකිත්සක ක්‍රමවේදවලට සුදුසුකම් ලද චිකිත්සකයන් හරහා යොමු වන්නට පුළුවන.