කොහොම හරි කෝලිගේ විකට් එක ගන්නවා කියලා මං හිතා ගත්තා... | Page 2 | සිළුමිණ

කොහොම හරි කෝලිගේ විකට් එක ගන්නවා කියලා මං හිතා ගත්තා...

ජීවිතයට නැවුම් ජීවයක් එක් කරන්නේ සිහින සහ බලාපොරොත්තුය. සිහිනය සැබෑ කර ගැනීම හැම විටම පහසු නොවූවත් සිහිනය හා බැඳුණු ඉලක්කයක් සහ ඒ හා සමානම කැපවීමක් ඇති විට ඒ සිහිනය සැබෑ කර ගැනීම එතරම්ම අසීරු නොවේ. සිහිනයක් සැබෑ වන විට ඒ සිහිනයෙන් තවත් සුවහසක් හදවත් සතුටින් අමන්දානන්දයට පත්කළ හැකි ඒ සැබෑ වූ සිහිනය වටිනාකමින් වැඩිය. අඳුරු වලා අතරින් මතු වූ රිදී ඉරක් බඳු සතුටක් විඳ ගන්නට ඉකුත් 11 වැනිදා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලැබුණේ ආසියානු කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමත් වීම නිසාය.ඒ ජයග්‍රාහී කණ්ඩායමේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් අතර කෝඩුකාරයන් කිහිප දෙනකු විය.

ඒ අතරින් මෙවර අපේ කථා නායකයා වන්නේ දිල්ශාන් මධුශංඛ නම් දක්ෂ යොවුන් ක්‍රීඩකයාය. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි පළමු තරගාවලියේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ක්‍රිකට් කිරුළ දිනා ගැනීමත්, එකී තරගාවලිය අවසානයේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට එක් වී ලෝකයේම අවධානය දිනා ගැනීමටත් සමත් වීමත් ක්‍රීඩකයකු වශයෙන් ලැබූ සුවිශාල ජයග්‍රහණ බව අමුතුවෙන් පැවැසිය යුතු නැත. රටම ඔහු ගැන ආඩම්බරයෙන් කතා කරද්දී ඒ සතුට වැඩිපුරම විඳින හදවතට දැනෙන සිතිවිලි කෙබඳු විය හැකිද? දිල්ශාන් මධුශංඛගේ ආදරණීය මව නිලන්ති අප සමඟ දොඩමලු වූයේ ඒ සතුට දෝරගලා යන හදවතිනි.

“පුතා ගැන ගොඩක් සතුටුයි. පුංචි කාලේ ඉඳන් පුතාලා තුන් දෙනාම ක්‍රීඩාවට දක්ෂයි. අයියලා මල්ලිලා තුන්දෙනා එකතු වෙලා සෙල්ලම් කරලා ගෙදර ජනෙල් වීදුරු කුඩු කරපු වාර අනන්තයි. දිල්ශාන් පුතා ක්‍රිකට් සෙල්ලම් කළාට අද ඉන්න තත්වෙට එයි කියලා නම් හීනෙකින්වත් හිතුවේ නැහැ. මේ වගේ දුරබැහැර ගමක ඉඳලා ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන එක ඇත්තටම හීනයක්. පුතා අවුරුදු 18න් ආමි එකට බැඳෙන්නයි හිටියේ. එයාගේ අයියා තමයි ඒක වළක්වලා මල්ලිට දිගටම ක්‍රිකට් සෙල්ලම් කරන්න ලොකු සහයෝගයක් දුන්නේ.”

ඒ සහයෝගය සහ ආශිර්වාදය දිල්ශාන් මධුශංඛට නිරන්තරෙන්ම සිය පවුලෙන් හිමි විය. ඔහුගේ පියා සුජිත් ක්‍රිශාන්ත බණ්ඩාර වන අතර ධීවර වෘත්තියේ නියැළී සිටී. දිල්ශාන්ගේ අයියා සුදේශ් නිර්මාල් ය. පවුලේ බඩපිස්සා නිපුන් මධුවන්ත සාමාන්‍ය පෙළ විභාගය අවසන් කර ඇත. කුඩා වියේ සිට මේ සහෝදරයන් ක්‍රීඩාකාමීන්ය. දිල්ශාන්ගේ අයියා සුදේශ්, ඒ අතීතය සිහි කළේ සොම්නසිනි.

“පුංචි කාලේ ඉඳලම මමයි මල්ලියි ක්‍රිකට් විතරක් නෙවෙයි, එල්ලේ, මලල ක්‍රීඩා, ධාවන තරග ඒ හැමදෙයක්ම කළා. පාසල් ක්‍රීඩා උත්සවවලදි මල්ලි කැපී පෙනෙන දක්ෂතා දැක්වුවා. ඒත් ක්‍රිකට් සෙල්ලම් කරනවට තාත්තගේ එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. මොකද මැච්වලට ගිහින් ගෙදර එද්දි රෑ වෙන නිසා. තාත්තා අපිට නීතියක් දාලා තිබුණා, සවස 6 වෙද්දි ගෙදර ඉන්න ඕනේ කියලා. ඉතින් මල්ලි මැච්වලට ගියාම මම තමයි ගෙදර බැලන්ස් කරන්නේ. තාත්තාගෙන් මල්ලිව බේරගන්නේ මම තමයි. ඉස්සර අපි දෙන්නා ක්‍රිකට් ගහද්දි මම බැට් කරනවා, මල්ලි බෝල දානවා. මට හරියට බෝල දාන්න බෑ. ඉතින් එහෙම බෝල දාලම තමයි මල්ලි හොඳ බෝලර් කෙනෙක් වුණේ. අපි දෙන්නා අතර වයස පරතරය අවුරුදු 3ක්. පොඩි කාලේ සෙල්ලම් කරද්දි මල්ලි හරියට හොර කරනවා. ඉතින් දෙන්නා රණ්ඩු කරගන්නවා. එතකොට තාත්තා සෙල්ලම් කරන එක තහනම් කරනවා. ටික දවසකින් ආයෙත් සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ආයෙත් රණ්ඩු වුණාම ආයෙත් සෙල්ලම තහනම් වෙනවා. පොඩි කාලේ ගතවුණේ ඒ විදිහටම තමයි. ඉස්සර අපේ තාත්තා මැච් බලන්නෙම නෑ. දැන් නම් එක මැච් එකක්වත් නොබලා අතහරින්නේ නැහැ. ලංකාව සෙල්ලම් නොකරන මැච් එකක් වුණත් තාත්තා බලනවා.

සීයා(තාත්තාගේ තාත්තා) තමයි අපි පොඩි කාලේ අපිට බැට් හදලා දෙන්නේ. මටයි මල්ලිලා දෙන්නටයි බැට් තුනක් හදලා දෙනවා. ඉස්සර අපි හැමදාම හවසට සෙල්ලම් කරද්දි අම්පයර්ට ඉන්නේ සීයා. සීයා අපි අතරින් වියෝවෙලා දැන් අවුරුදු 6ක් වෙනවා. අද මල්ලි ඉන්න තැන, එයාගේ සාර්ථකත්වය දකින්න සීයා හිටියා නම් ගොඩක් සතුටු වෙනවා. එයාගේ ආශිර්වාදය මල්ලිට ඇති කියලා අපි විශ්වාස කරනවා.”

ඔහු පැවසුවේ සහෝදර බැඳීමේ අපූර්වත්වය ද පසක් කරමිනි. දිල්ශාන්ගේ සාර්ථත්වය පිටුපස තිබෙන දැවැන්ත ශක්තිය සහ ආශිර්වාදය ඔහුගේ පවුලයි. ඒ ගැන ඔහුගේ ආදරණීය මව මෙසේ ද කීවාය.

“පුතාගේ ජයග්‍රහණය අපි හැමෝටම ලොකු සතුටක්. ඉස්සර මමත් ක්‍රිකට් මැච් බැලුවේ නෑ. දැන් නම් අනිවාර්යෙන්ම හැම මැච් එකම බලනවා. එදා පුතා සෙල්ලම් කරන දවසේ මැච් එක බලන්න අපි ජීවත් වෙන ගුරුපොකුණ ගමේ අපේ ගෙදරට කිට්ටුව වෙහෙර 9ක් තියෙන පෞරාණික සිද්ධස්ථානයක් තියෙනවා. දිල්ශාන් පුතාගේ හිතේ ඒ කාලේ ඉඳලම දෙවියන් බුදුන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මැච් එකක් තියෙන දවසට පුතා මල්ලිට කියනවා ඒ වෙහෙර 9ට ගිහින් පඬුරක් දාන්න කියලා. මල්ලිත් කියන පමාවෙන් ගිහින් අයියගේ ඉල්ලීම ඉෂ්ට කරනවා. ඒ වගේම පුතාගේ මැච් එකක් තියෙන හැම දවසකම මම පන්සලට ගිහින් මල්, පහන් පූජා කරලා බුදුන් වැඳලා ගෙදර ඇවිත් මැච් එක බලනවා. පුතාගේ සාර්ථකත්වය තමයි අපි හැමෝගෙම ප්‍රාර්ථනාව. ඉදිරියටත් රට වෙනුවෙන් ඉහළම දක්ෂතා දක්වන්න පුතාට ලැබෙන්න ඕන කියලා පතනවා. පුතා හරිම කීකරු දරුවෙක්. වැඩි කතාබහක් නැති නිහඬ දරුවෙක්. තාමත් පුතාලා තුන්දෙනාම තාත්තා කියන දේකට පිටින් යන්නෙ නැහැ. සතියකට සැරයක් ගෙදර එනවා. ගමේ කෑම කන්න තමයි ගොඩක්ම කැමති”

හැම පුතකුගේම ලෝකයේ කිරුළු පැලඳි රැජන වන්නේ අම්මාය. මේ අම්මාට ද ඒ හැඟීමේ වෙනසක් නැත.

“මොනතරම් අඩුපාඩු තිබුණත් අපි පුතාට පුළුවන් උපරිමයෙන් අවශ්‍ය දේවල් අරගෙන දුන්නා.පුතාගේ තාත්තාත් අද නිහඬවම ලොකු සතුටක් විඳිනවා පුතා නිසා. මට මතකයි පුතාට වයස අවුරුදු 17-18ක් ඉස්කෝලේ ක්‍රිකට් පුහුණුවීම් කරමින් ඉන්නකොට කැච් එකක් ගන්න ගිහින් පුතාගේ සරුයි පුතයි එකට හැප්පිලා පුතාගේ උරහිස පැනලා මාස දෙකතුනක් වෙදකම් කළා.

අවසාන වශයෙන් දිල්ශාන්ගේ මව සියලු දෙනාටම සිය කෘතඥතාව පළ කරමින් කීවාය. දිල්ශාන් දැන් රටේ පමණක් නොව ලෝකයේම අවධානය දිනාගෙන සිටින ජාත්‍යන්තර ක්‍රිකට් අඹරට පෑයූ නවක ක්‍රිකට් තරුවකි. මෙවර ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී දිල්ශාන් සුපිරි හපන්කමක් පෑවේය. ඒ, ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ පැවැති තරගයේදී ඉන්දියානු ක්‍රිකට් ලෝලීන්ගේ සිහින කුමාරයා මෙන්ම ආසියාවේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු වන විරාත් කෝලි ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කරමිනි. විරාත් කෝලි සිය ක්‍රිකට් දිවියේදී එකදු ලකුණක් නොලබා බිංදුවට දැවී ගිය සිවු වැනි අවස්ථාව මෙය වන අතර, ශ්‍රී ලංකාවේදී එවැනි තත්ත්වයකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය විය. ඒ අනුව විරාත් කෝලි බිංදුවටම දවාගත් සිවු වැනි ක්‍රීඩකයා වන්නේ 22 දෙහැවිරිදි වියේ පසුවන දිල්ශාන් ය. දිල්ශාන්ගේ පන්දුවේ ප්‍රහාරය කෙතරම් දරුණුද කිවහොත් කෝලිගේ ඉනි දෙකක්ම ගැලවී බිම පතිත වූයේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් සතුටින් උද්දාමයට පත් කරමිනි. විස්සයි 20 ජාත්‍යන්තර තරග 6කට ක්‍රීඩා කර ඇති දිල්ශාන්, කඩුලු හයක් දවා ගෙන ඇති අතර, ඔහු ජාත්‍යන්තර තරග වරම් හිමිකර ගත්තේ ඇෆ්ගනිස්තානයට එරෙහිව ආසියානු කුසලාන තරගාවලියේ දීය.

“එදා තරගයට යන්න කලින්ම මම හිතාගත්තා කොහොමහරි කෝලිගේ විකට් එක ගන්නවා කියලා.ඒක කරන්න පුළුවන් වුණු එක මට ලොකු සතුටක්”

දිල්ශාන් අප සමඟ පැවසුවේ නිහතමානී ආඩම්බරයකිනි. 2000 වසරේ සැප්තැම්බර් 18 වැනිදා මෙලොව එළිය දුටු ඔහු උපත ලබා ඇත්තේ හම්බන්තොටදී ය. දිල්ශාන් මධුශංඛ ඉගෙනුම ආරම්භ කරන්නේ හුංගම විජයබා මධ්‍ය මහා විද්‍යාලයෙනි. අධ්‍යාපනයට පමණක් නොව දිල්ශාන්ගේ ක්‍රීඩා දිවියේ ඇරඹුම පමණක් නොව එහි සාර්ථකත්වය ද සනිටුහන් කිරීමේ ගෞරවය හිමිවන්නේ හුංගම විජයබා මධ්‍ය මහා විද්‍යාලයටය. එම විද්‍යාලයේ පළමුවරට ලෙදර් ක්‍රිකට් තරග ආරම්භ වී ඇත්තේ 1985-1986 කාලයේදීය. පාසලේ එවක පුහුණුකරු වූ සෑම් මුණවීර පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට විශාල වෙහෙසක් දරා ඇති අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් නියෝජ්‍ය කථා නායක අජිත් රාජපක්ෂ ද එකී ආරම්භක කණ්ඩායමේ සාමාජිකයෙකි. හුංගම විජයබා මධ්‍ය මහා විද්‍යාලයෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වූ පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින් දිල්ශාන් මධුශංඛ සිය විදුහල් මාතාවට කීර්තියක් ගෙන දුන් අතර ඊට කෘතගුණ දක්වමින් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් දිල්ශාන් වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් ද පවත්වනු ලැබිණ.

“මුලින්ම මම සෙල්ලම් කළේ ටෙනිස් බෝල මැච්වලට. ඒ කාලේ අපේ පාසලේ ක්‍රිකට් පුහුණු කළ හෂාන් පරින්ද සර් සහ ඉලංගරත්න සර් මට ගොඩක් උදවු කළා. ඒත් මෙහෙම තැනකට එනවා කියලා හීනයක් තිබුණේ නැහැ. කොළඹින් පිට පාසලක ඉගෙන ගන්න නිසා.එහෙම වුණා කියලා මට මේ පාසල දාලා වෙන පාසලකට යන්න හිතුණෙත් නැහැ, මම ගියෙත් නැහැ. මම දිගටම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කළා. එහෙම තරගයකදි අපේ දිස්ත්‍රික් පුහුණුකරු මංජුල කරුණාරත්න සර් මාව දැකලා එයා එක්ක පුහුණුවීම් කරන්න මාව සූරියවැව ග්‍රවුන්ඩ් එකට එක්කගෙන ගියා. එතකොට මට අවුරුදු 17ක් විතර ඇති. ඉන්දියාව එක්ක 19න් පහළ තරගයක් තිබුණා ඒ ග්‍රවුන්ඩ් එකේ. නෙට් එකේ බෝල් කරන්න මටත් අවස්ථාව ලැබුණා. ඒ තරගයේ පුහුණුකරුවන් විදිහට හිටියේ හෂාන් තිලකරත්න සහ චමින්ද වාස් මහත්වරු. හෂාන් සර් මාව දැකලා මංජුල සර්ගෙන් මා ගැන විස්තර අහලා තිබුණා. වාස් සර් මගේ නම්බර් එක ඉල්ලගෙන තිබුණා. මාස දෙක තුනකට පස්සේ මට වාස් සර් කෝල් කරලා කොළඹ එන්න කිව්වා. මම සර් එක්ක මාස හය හතක් පුහුණුවීම් කළා. මුලින්ම කොළඹ යද්දි මට ක්‍රීඩා උපකරණ තියා සපත්තු දෙකක්වත් තිබුණේ නැහැ. වාස් සර් මට ගොඩක් උදවු කළා. ඒ වගේම ෆර්විස් මහරුෆ් මහත්මයා ක්‍රිකට් බෝඩ් එකට මං ගැන කියලා මුල්‍යමය ආධාරයකුත් අරගෙන දුන්නා. පුහුණුවීම් අතරේ මම පුහුණු තරගවලටත් සෙල්ලම් කළා. එක මැච් එකකදීහොඳටම බෝල් කරලා විකට් පහක් ගත්තා.2020 ජනවාරි මාසයේදී 19න් පහළ ජාතික කණ්ඩායමට මාව තෝර ගන්නේ ඊට පස්සෙයි.”

ඒ අවස්ථාව දිල්ශාන්ගේ සිහිනවලට පියාපත් දුන් පළමු අවස්ථාව විය. මේ අතර ඔහු තවත් ජයග්‍රහණයක් හිමිකරගත්තේය. ඒ, දකුණු අප්‍රිකානු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙ‌නා අතරින් එක් අයකු වීමය. එහිදී ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායම විසින් කුසල් මෙන්ඩිස් ඇමෙරිකානු ඩොලර් 24,000ක (රුපියල් ලක්ෂ 85ක) මුදලකට මිලදී ගනිද්දී, දිල්ෂාන් මධුසංඛ ඇමෙරිකානු ඩොලර් 15,000කට (රු. ලක්ෂ 56කට) මිලදී ගනු ලැබුවේ ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි. දකුණු අප්‍රිකානු විස්සයි 20 ලීග් තරගාවලිය ලබන වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිත අතර මෙකී තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර ළාබාලම ක්‍රීඩකයා වන්නේ ද දිල්ශාන් මධුශංඛ ය.

“මේ හැම දෙයක් ගැනම මම නිහතමානීව සතුටු වෙනවා. හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් වගේම විදේශීය ක්‍රීඩකයන්ගෙනුත් ඇගයීම් ලැබෙනවා. ආසියානු කුසලාන තරගයේදී පකිස්ථානය වෙනුවෙන් විස්තර විචාරයට එක්ව සිටි පකිස්ථාන හිටපු සුපිරි ක්‍රිකට් වසිම් අක්‍රම් මට කිව්වා, මම හොඳට බෝල් කරනවා. දිගටම පුහුණුවීම් කරන්න, වර්ල්ඩ් කප් මැච් එකේ පුහුණුවීම්වලදී මට තව ටිකක් කියලා දෙන්න එන්නම් කියලා. ලෝක ප්‍රකට වමත් පන්දු යවන්නකු වූ ඔහුගේ ඒ ඇගයීම මට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම මේ දක්වා මට උදවු උපකාර කළ හැමදෙනාටම ස්තුති කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා. තවම මම ගමන පටන් ගත්තා විතරයිනේ. රට වෙනුවෙන් මට හැකි උපරිමයෙන් ක්‍රීඩා කරලා රටට ජයග්‍රහණ ගෙන ඒම තමයි මගේ එකම බලාපොරොත්තුව”

 

Comments