සමාජවාදී රුසියාව දණ ගස්වා සතුටු සිතින් මිය ගිය ගොර්බචොව් | Page 5 | සිළුමිණ

සමාජවාදී රුසියාව දණ ගස්වා සතුටු සිතින් මිය ගිය ගොර්බචොව්

නූව දශකයේදී ලෝක දේශපාලනයේ වැඩියෙන්ම නම කියවුණ දේශපාලනඥයා පසුගිය අගෝස්තු 30වැනිදා අවුරුදු 91ක් ආයු වළඳා පරලෝකප්‍රාප්ත වූයේය. ඔහු කොතරම් ජනප්‍රියද යත් වර්තමානයේදී වුවද මිහායීල් ගොර්බචොව් යන නම කියූ පමණින් ඔහු හඳුනා ගන්නා පිරිස බොහෝය.

ඇතැම් පුද්ගලයන් ලෝක ප්‍රසිද්ධ වන්නේ යහපත වෙනුවෙනි. ඇතැම් දෙනා අයහපත වෙනුවෙනි. එමෙන්ම යම් පුද්ගලයෙක් එක් පිරිසකගේ වීරයා වන විට තවත් පිරිසකගේ දුශ්ඨයා වන්නේය. මිහායීල් ගොර්බචොව් ද එවන් සර්වත්‍ර කුලකයකට අයත් වන්නා වූ පුද්ගලයෙකි.

ඔහු රුසියාවේ රාජ්‍ය පාලකයා බවට පත් වූයේ එරට අතිශය දුෂ්කර කාලවකවානුවක් පසුකරමින් සිටියදීය. සෝවියට් සමූහාණ්ඩුව ඒ වන විට සශ්‍රීකත්ව සමය පසු කරමින් සිටියේ දරා ගත නොහැකි වියදම් සමග ගෝලීයකරණයේ තර්ජනද, සීතල යුද්ධයේ අධිකතර වැය බර ද සමගිනි.

1931 වසරේ මාර්තු දෙවැනිදා සෝවියට් සමූහාණ්ඩුවේ ප්‍රිවොයියොනේ නම් වන ඉතා දුෂ්කර ගම්මානයක උපත ලද ගොර්බචොව් තරුණයා ජීවිතය අරඹන්නේ සමූහ ගොවිපොළක අස්වනු නෙලීමේ කම්බයින් යන්ත්‍ර ක්‍රියාකරුවකු වශයෙනි. පසුව එරට දේශපාලන පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් ඔහු ක්‍රමයෙන් පක්ෂයේ ඉහළ තලයට නැගුනේ මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ උපාධියද සමගිනි.

ගොර්බචොව්ගේ නැගීමට සාපේක්ෂව සෝවියට් සමූහාණ්ඩුව තිබුණේ ඇද වැටෙමිනි. සමූහාණ්ඩුවේ මළගම සිදු කළේ ගොර්බචොව් බවට ඔහුට චෝදනා එල්ල වුවද සැබෑව නම් ‍ගොර්බචොව් සිදු කළේ සමූහාණ්ඩුවේ මරණය ඉක්මන් කිරීම පමණකි.

මාක්ස් - ඒංගල්ස් න්‍යායාත්මකව ඉදිරිපත් කළ වාමාංශික දේශපාලන ක්‍රමවේදය ප්‍රායෝගික බවට පත් කළ සෝවියට් නායකයන් නොසීතු අභියෝගවලට ඒ වන විට සෝවිට් සමූහාණ්ඩුව මුහුණ දෙමින් තිබිණි. ඒ අභියෝග සැබවින්ම සෝවියට් පාලනයට අවශ්‍ය වූ අභියෝගවලට වඩා ඔවුන් මත බලයෙන් පටවන ලද අභියෝග ලෙසින්ද හඳුනා ගත හැකිය. උදාහරණයක් ලෙස සීතල යුද සමයේදී පරමාණු අවි බලගැන්වීම වෙනුවෙන් රුසියාවට වැය කිරීමට සිදුවූ මුදල් කන්දරාව දැක්විය හැකිය. ඇ‍ෙමරිකාව සමග තරග කරමින් අභ්‍යවකාශ තරණය කිරීම සඳහා ද දරා ගැනීමට අපහසු තරම් වැයක් දැරීමට සෝවියට් සමූහාණ්ඩුවට සිදු විය. ඇතැම්විට මේ අනවශ්‍ය ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු නොකළා නම් සෝවියට් සමූහාණ්ඩුව බිඳ නොවැටෙන්නට වුවද ඉඩ ප්‍රස්ථා විය. 80 දශකය වන විට ඇ‍ෙමරිකාව සමග කරටකර තරගයක නිතර වූ සෝවිට් සමූහාණ්ඩුව හුස්ම ගත්තේ ආයාසයෙනි. රටවල් කිහිපයක යුද්ධවලට පැටලී සිටි අතරම පරමාණුක අවි නඩත්තු කිරිම සඳහාද වසරක් පාසා වෙන් කළ යුතු වැය දැරිය නොහැකි තරම් විය. ඒ හේතුවෙන්ම ඔවුන් සතු වූ ඇතැම් අවි සහ යාත්‍රා නඩත්තු කිරීමට මුදල් වෙන් කර ගත නොහැකි විය. ඒ හේතුවෙන් ‘කර්ස්ක් සබ්මැරීන‘ අනතුර වැනි ඛේදවාචක වරින්වර වාර්තා වන්නට විය. චර්නොබිල් බලාගාර අනතුර මේ තත්ත්වය දස ගුණයකින් වැඩි කර දැමීමට සමත් විය. 

මිහායිලී ගොර්බචොව් සෝවියට් සමූහාණ්ඩුවේ නායකයා වන්නේ මෙවැනි තත්ත්වයක් යටතේය. ඔහු මනාව තේරුම් ගන්නේ පවතින තත්ත්වය යනු අති විශාල දිය කඳක් රඳවා සිටින බිඳී ඇති මහා පවුරක් හා සමාන බවයි. තැනින් තැන ඉරි තලා ඇති, බිඳ වැටීමට ඔන්න මෙන්න තත්ත්වයේ ඇති, මහා දියකඳක් දරා සිටින බැම්මකට සක්ක ගසා හෝ මුක්කු තබා පලක් නැත. සිදු කළ යුත්තේ සම්පුර්ණයෙන්ම බැම්ම බිඳ දමා අලුතෙන් බැම්මක් බැඳීමය. බැම්ම බිඳ දැමීම නොකළේ නම් බැම්ම කඩා වැටීමෙන් ජලය ගලා ගොස් මහා විපතක් වනු ඇත. ක්‍රමිකව බැම්ම බිඳ දැමීම අනතුරු අවම කර ගත හැකි එකම මගය. මිහායීල් ගොර්බචොව් සෝවියට් සමූහාණ්ඩුව සම්බන්ධව සිතන්නට ඇත්තේද එලෙස විය යුතුය.

ඒ අනුව ඒ වන විට ගිනි ගෙන දැවෙන ආර්ථීකයකින් යුක්ත වූ සෝවියට් සමූහාණ්ඩුවට ‘ග්ලාස්නොව්ස් - විවෘතභාවය, පෙරෙස්ත්‍රොයිකා - ප්‍රතිසංවිධානය‘ යනුවෙන් වන වැඩ පිළිවෙල හඳුන්වාදීමට ගොර්බචොව් කටයුතු කළේය. එහෙත් අවාසනාවකට මෙන් ඔහු බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයකින් බැම්ම බිඳ වැටුණේය. දරිද්‍රතාවයේ පත්ලේ සිටි රුසියානු ජනතාව එකිනෙකා මංකොල්ල කා ගන්නා තත්ත්වයට පත් වූහ. ලෙනින්ගේ ප්‍රතිමා බිමට ඇද දැමුණේ තමන් මෙතරම් පීඩාවට පත් වූයේ සමාජවාදී දේශපාලන ක්‍රමවේදය හේතුවෙන් බවට ජනතාව තර්ක කළ බැවිනි. රුසියානු තරුණියෝ විරුකියාව දරා ගත නොහැකිව විවිධ රටවල ගණිකා වෘත්තිය සඳහා පැමිණියහ.

මේ සියල්ල බලමින් ඇමරිකාව සතුටු කඳුළු හෙළුවේය. තම ප්‍රධාතම ප්‍රතිවාදියා අවසන් ගමන් ගිය බවට එවකට ඇමරිකානු ජනාධීපති රොනල්ඩ් රේගන් ප්‍රීතියෙන් උදම් වූයේය. ඒ අතරම බටහිර ලෝකයෙන් මිහායිල් ගොර්බචොව්ට අති විශාල පිළිගැනීමක් ලැබිණි. දශක ගණනාවක් පුරා පැවති සීතල යුද්ධය අවසන් කළ වීරයා බවට ඔහුට නම්බුනාම ලබා දෙමින් නොනැවතී ඔහුට නොබෙල් සාම ත්‍යාගයද ලබා දුන්නෝය. රුසියාව සදාකාලිකවම හාන්සි වූ බවට දකුණ සිතන්නට ඇත.

එහෙත් ව්ලැඩිමීර් පුටින් නායකත්වයට පත්වීමත් සමගම තමන්ටම ආවේණික පාලන ක්‍රමවේදයක් සමග රුසියාව යළිත් පෙර පැවති තත්ත්වයට ශක්තිමත්ව නැගී සිටීමට සමත් වී තිබේ. එකී ශක්තිමත් රුසියාවේ මිහායීල් ගොර්බචොව් වයස අවුරුදු 91ක් ආයුෂ වැළදුවේය. ගොර්බචොව්ගේ ක්‍රියාකලාපය පුටින්ගේ විවේචනයට ලක් වුවද සෝවියට් පාලන තන්ත්‍රය යටතේ රුසියාව පාලනය කළ නායකයන් අතරින් වැඩිම කලක් ජීවත් වූ නායකයා බවට පත්වීමට මිහායීල් ගොර්බචොව්ට හැකියාව හිමි විය.

90 දශකයේදී ලොව පුරා ගෞරව බුහුමාන ලබමින් රටින් රට සංචාරය කළ ගොර්බචොව් ඇ‍ෙමරිකාවේ පහසුවෙන් කාලය ගත කළේය. තම අවසන් සුසුම් පොද රුසියානු අහසටම එක් කළ ගොර්බචොව් මොස්කව් මධ්‍යම සායන රෝහලේදී පසුගිය 30වැනිදා තම දෙනෙත් සදහටම පියා ගත්තේය.

ඇතැම්විට ගොර්බචොව් ඇ‍ෙමරිකානු ව්‍යපෘතියක් රුසියාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළා වුවද විය හැකිය. නැතහොත් තවදුරටත් දරා ගත නොහැකි වූ රුසියානු ආර්ථිකයට මඳ ලිහිල් බවක් ලබා දීමට උත්සාහ දරුවා විය හැකිය. මේ කෙසේ වුවද රුසියාව අද පවතින තත්ත්වය පිළිබඳව රුසියානු ජාතිකයකු ලෙස ගොර්බචොව් මිය යන්නට ඇත්තේ සතුටු සිතකින් බවට නම් සැකයක් නැත.

Comments