වර්තමාන අර්බුදය ජය ගතහැකි මඟ | Page 5 | සිළුමිණ

වර්තමාන අර්බුදය ජය ගතහැකි මඟ

කෘතිය- වර්තමාන අර්බුදය ජය ගතහැකි මඟ

කර්තෘ -ආර්. ඒ. ජයවීර

ප්‍රකාශක- ඇම්.ඩී.ගුණසේන සහ සමාගම

මිල- රුපියල් 300 ⁄ = පිටු ගණන- 158

විමසීම්- 0112 422 596

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැන් බොර දියක් බවට පත්ව ඇතැයි කිසිවකු පැවසුවහොත් එහි සත්‍යතාවක් නැතිවා නොවේ. ඒ බොර දිය පාදා ගැනීමට රජය සහ අදාළ බලධාරීන් පියවර ගනිමින් සිටී. එවැනි පසුබිමක අලුතින්ම ප්‍රකාශයට පත්වූ කෘතියක් ලෙස ‘වර්තමාන අර්බුදය ජය ගතහැකි මඟ’ කෘතිය හඳුන්වා දිය හැකිය. කෘතියට පූර්විකාව සපයා ඇත්තේ “බොර දියෙන් පෑදි දියට” ලෙසිනි.

ඒ අනුව ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ පා සිටින ආර්ථික, දේශපාලන හා සමාජීය අර්බුදයේ නිධාන කතාවත්, අර්බුදයෙන් ගොඩ එන්නට කෙටිකාලීනව හා දිගුකාලීනව ගත යුතු පියවරත්, ඊට පසුබිම් වන දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්ති රාමුවත් මේ කෘතියෙන් විස්තර කර තිබේ. ආණ්ඩු ක්‍රමයේ හා රාජ්‍ය පරිපාලන නිල තන්ත්‍රයේ කළ යුතු ඇතැම් වෙනස්කම් ද මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කෘතියට පසුවදනක් සපයමින් මෙසේ ප්‍රකාශ කර ඇත.

“ ආර්ථික අහස් මාළිගාවකින් මහ පොළොවට බැසීමට ශ්‍රී ලංකා ආර්ථිකයේ පරදු දරන්නන් සැමට සිදු වී ඇත. මවා පෙන්වමින් තිබූ සංවර්ධනයේ සුරංගනා ලෝකය යථාර්ථයක් නොවන බව පසක් කරනු ලැබ තිබේ. තම ආදායම ඉක්මවා දිගින් දිගටම වියදම් දරන්නකුගේ ස්වාභාවික ඉරණම වන ණය බරට වඩාත් අතමාරු ලබාගැනීමට නොහැකි වන විට ඇතිවන පාරිභෝජන අහේනියට මේ වන විට අප රට මුහුණ දෙමින් සිටියි. දේපොළ උගස්වන හා විකිණී යෑම මෙන්ම අනාගත පරපුරේ ස්වෛරීත්ව උරුමය අහිමි වී යෑම, මේ ගමන නොවෙනස්ව ඉදිරියට ගියහොත් අපට හමුවීමට නියමිත සන්ධිස්ථානයයි.

කඩා වැටුණු ආර්ථිකය පිළිබඳව ආර්. ඒ ජයවර්ධනයන් සිය අදහස් කැටි කරන්නේ මේ සන්දර්භය තුළයි. එය ඉතා කාලීන විවරණයකි. මේ වන විට අප මුහුණ පා ඇති දුෂ්කරතා පිළිබඳව පොදුවේ ඇත්තේ එකඟතාවක් වුවද, ඒවා විසඳා ගැනීම උදෙසා කළ යුතු දෑ පිළිබඳව විවිධ න්‍යායික මතිමතාන්තර තිබිය හැකිය. අර්බුදයෙන් ගොඩ ආ යුත්තේ ජාතියේ අනාගත ස්වෛරීතත්වයට හානි නොකෙරෙන මාවතක් ඔස්සේය. ඒ මාවත නිසි පරිදි පාදා ගැනීමට නම් අර්බුදයට පාදක වූ හේතු පිළිබඳව වන යථාර්ථවාදී වටහා ගැනීමක් අත්‍යවශ්‍ය වෙයි. පියදාස සිරිසේනයන්ගෙන් පසුව “අපට වෙච්ච දේ” හඳුනා ගැනීමට තැබෙන මූලික පියවරෙන් ඇරඹෙන මේ කෘතියෙන් පිළිබිඹු වන්නේ එවන් ප්‍රයත්නයකි.”

ඒ අනුව මූලික පරිච්‍ඡේද 05ක්, උප ග්‍රන්ථ 2ක්, සටහන්, සංඛ්‍යා වගු සහ විශේෂ සටහන් මඟින් එකී කරුණු සියල්ල සවිස්තරාත්මකව සඳහන් කිරීමට කතුවරයා කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ ගවේෂණාත්මක හා පර්යේෂණාත්මක කෘතියක් සම්පාදනය කිරීම සඳහා වසර ගණනාවක් මිඩංගු කර ඇති මේ කෘතියේ කතුවරයා, මෙකී කෘතිය මඟින් මූලික පරමාර්ථ 4ක් අපේක්ෂා කර ඇත. පළමුවැන්න, වර්තමානයේ රට මුහුණ පා සිටින ව්‍යසනයේ ඇති තතු දැනගැනීමය. දෙවැන්න, ඊට හේතුවූ කරුණු සහ සිද්ධි තේරුම් ගැනීමය. තෙවැන්න, ව්‍යසනයෙන් ගොඩ එන මාර්ගය සහ ආර්ථික මාදිලිය තෝරාබේරා ගැනීමය. සිවුවැන්න, යළිත් මෙවැනි ව්‍යසනයකට ගොදුරු නොවන දේශයක් ගොඩනැඟීමය.

කෘතිය පිළිපඳ හැඳින්වීමක් කරමින් කතුවර ආර්. ඒ. ජයවීර මෙසේ පවසයි.

“අප මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ තත්කාලීන සතර ආර්ථික සත්‍යයන් අවබෝධ කරගෙන, බොර දියෙන් පෑදි දියට එගොඩ වීමය. බොරවූ දියෙහි හොල්මන් කරන අවතාර බැලු බැල්මට පෙනෙන්නේ නැත. එහෙයින් පෑදී සියට යන ගමන, පහසු එකක් වන්නේ ද නැත. දිය බොර කරමින් සිටින බව මිස, පෑදි දියට යන්නට තැත් කරන බවක් තවම නොපෙනේ.

අප ගත යුතු ක්‍රියාමාර්ග මේ කෘතියේ එක් තැනකට ගොනුකර සඳහන් කර නැත. ඒවා එක් එක් මාතෘකා යටතේ හැම පරිච්ඡේදයකම සාකච්ඡා කර තිබේ. නිදසුනක් ලෙස, අපට වුවමනා කරන ප්‍රශස්ත දුම්රිය සේවයක ගාස්තු, ඉහළ මට්ටමකට නැගීම වැළැක්විය නොහැකිය. දැන් අප කළ යුත්තේ අඩු ගාස්තු යටතේ දුප්පත්තම බෙදාගැනීම නොවේ. ඒ වෙනුවට මගී ජනතාවගේ ආදායම වැඩිකර, එමඟින් මිල වැඩි ප්‍රශස්ත සේවය, සාපේක්ෂ ලෙස මිල අඩු සේවයක් බවට හැරවීමය. මේ මූලධර්ම මේ කෘතියේ 04 වැනි මාතෘකාව යටතේ සඳහන් දේශීය වෙළෙඳපොළ, පැලැස්තර ශුභ සාධනය සහ සියයට එකේ ප්‍රජාතන්ත්‍රවාදය යන අනු මාතෘතා යටතේ සාකච්ඡා කර ඇත.”

එමෙන්ම ආර්ථිකයේ ජීවනාලිය බඳු ඉතා වැදගත් සහ තීරණාත්මක මාතෘකා දෙකක් වන බලශක්තිය සහ භාණ්ඩ හා මගී ප්‍රවාහනය ගැන ද කතුවරයා මේ කෘතියේදී විශේෂ අවධානයක් යොමු කර ඇත. එමෙන්ම ආර්ථික මාදිලිය යටතේ ජාතික ගැටලුව ද මෙහිදී සාකච්ඡාවට ලක්කර තිබේ. යුද්ධයක් නොමැති වීම සහ බිහිසුණු ක්‍රියා නොසිදුවීම, සාමයට හා ජාතික ගැටලුව විසඳීමකට සමාන වන්නේ නැත. සාමය හා ජාතික සංහිඳියාව, ආර්ථික සංවර්ධනයට විශාල ශක්තියක් සපයයි. තිස් අවුරුදු යුද්ධයට දෙපාර්ශ්වයම දැරූ වියදම හා යුද්ධයේ සමස්ත ආර්ථික පිරිවැය අති විශාල බවත් කතුවරයා අනාවරණය කරන්නේ, රජයේ යුද වියදම, රටේ වර්තමාන ණය බර තුළ යම් පමණකට දෝංකාර දෙනවාද යන්නද විමසා බැලිය යුතු බව ද පවසමිනි.

Comments