කවි සිළුමිණ | Page 5 | සිළුමිණ

කවි සිළුමිණ

ලක්ම­වගේ කඳුළු

ඉවසා මෙතෙක් සිටි­යෙමි දුක් කඳුළු පිස
අව­සා­න­යක් නොපෙ­නෙයි හිස් බස් ම මිස
තිබු­ණත් ගැටලු කන්දක් මහ මෙරට උස
ඇයි දරු­වනේ හැසි­රෙන්නේ වියරු ලෙස

රකු­සකු කොවිඩ් නම ඇති ඔර­ව­මින් සිටී
ජීවිත බිලි ගනියි නොත­කයි උස් ද මිටි
ආර්ථි­කය යයි අව­පා­ත­යක වැටී
නොතැ­කුව හොතින් සිදු­වන දේ සිතනු වටී

පොඩි දෙය­ක­ටත් වර්ජන අවි අතට ගෙන
තර්ජන කෙරුම නොහොබි දොස් - පරොස් බැන
හැම දෙය­කින් ම පෑගී පොඩි­වෙ­මින් යන
බිඳු­වක් සිතනු මැන අස­රණ පිරිස ගැන

අග - හිඟ නොමැති සතු­ටින් පිරි රටක් පතා
පොදි බැඳි පැතුම් බොඳ වෙයි එය දුකකි ඉතා
දිගු කොට ඇඟිලි උනු­නට දොස් තබන කතා
පල නැත, නැ‍ඟෙනු මිස - සම­ගියෙ බලය සිතා

සරත් සී. රාම­නා­යක - කුලි­යා­පි­ටිය

---------------------

හැර­ගිය සොඳු­රිය

ඔබේ දෙඅත් අල්ලන් ආ පළමු දිනේ
ඇවි­දින් ගියේ අපි මල් වතු යාය දිගේ
එදි­නයි අපේ ආද­රයේ සිහි වටනේ
පෙම් සුව වින්ද හැටි මත­කද ළබැ­ඳි­ලියේ

ඔබේ දෑත හුරු බුහු­ටිය සොඳුර මගේ
ඔබෙ පෙම් වදන් මත­කයි ප්‍රියා­වියේ
විල­වුන් නොවේ ඔබෙ සුව­ඳයි මට දැනුනේ
අපෙ පෙම් කථා තව­මත් මට මතක තියේ

අපෙ පෙම් සුව විඳි තැන් සිහිවී සතුට දැනේ
ගස් වැල් අතර එබි­කම් කළ හැටි සිහිවේ
ඔබ මා හැර ගියත් මා සොඳුරු ළඳේ
එන­මුදු ඔබේ වත දකි­නෙමි රෑ සිහිනේ

අරුණ අසිත ජය­සිංහ

------------------

විදෙස් කවිය

 

නැළවිලි ගීයක්

 

වන වදුලින් වෙල් යාය උඩින්

පිපුණු නෙළුම් විල් තෙර අසලින්

ඔබට ගෙනාවෙමි පුතණුවනේ

පින්නේ දිදුලන රන් සිහිනේ

ආල වඩන කිරි කැටි සිහිනේ

දෑස පියාගත් රන් පුතුණේ

කණ මැදිරියො නොදැමුණු ලෙසිනේ

රඟ දෙති වට නිඹ තුරු සිරසේ

පොපි මල් පඳුරෙන් හොර රහසේ

ගෙන ආවෙමි කිරි කැටි සිහිනේ

ආදර දෑසට සොඳුරු රැයේ

ඔබ වට කර රන් තරු එළියේ

හාදුවකින් ඔබ සනසන්නම්

කිරි කැටි ආදර රන් සිහිනේ

 

භාරතයේ මහා කිවිඳියක වන

සරෝජනී නායිදු මෙරට බොහෝ ගේය කාව්‍යයන්ට මූලාංකුර සැපයූ එම අග්‍රගණ්‍ය කිවිඳියක ලෙස සැලකේ. “භාරතයේ නයිටිංගේල්” ලෙස ද

විරුදාවලිය ලැබූ ඇය, ඇය ඉන්දීය

නිදහස් අරගලයේ පුරෝගාමී

සාමාජිකාවක ද වූවාය. සමකාලීන ඉන්දීය ජන ජීවිතය හා බැඳුණු සිද්ධීන් පාදක කරගනිමින් ඇය ලියූ බෙහෝ කවි දෙස් විදෙස් පාඨක ආකර්ෂණයට ලක්විය.ගැහැනිය සතු විසල් ආත්ම ශක්තිය අවදි කරමින් සරෝජනී නායිදු ලියූ කවි වඩාත් ජනප්‍රිය විය.

විශේෂයෙන් ගැහැනිය සහ මරණය පිළිබඳ ලෝකයා නොදුටු පැතිකඩක් පිළිබඳ කතිකාවක යෙදෙන්නට

ඇය භාවිත කළේ කවියයි.

1879 පෙබරවාරි 13 වැනිදා හයිද්‍රාබාද්හි උපත ලැබූ ඇය 1949 මාර්තු මස

දෙවැනිදා අලහාබාද්හිදී මිය ගියාය.

 

පරිවර්තනය - සාලිය ගුණවර්ධන

 

--------------------

සැන­සීම

දොළක් ලස්ස­නයි හැඩට හැඩේ වක් වී ගලන කොට
විලක් ලස්ස­නයි සුවඳ දී පස් පියුම් පිපෙන කොට
සඳක් ලස්ස­නයි රැස් විහිදා පන් පැහැ­යෙන් දිලෙන කොට
ලඳක් ලස්ස­නයි යහ­මින් යහ ගුණ දම් වඩන කොට

වලා යටින් වැහි ළිහිණි පෙළ පියා සලන කොට
වැහි අඳුර නෙතු මානෙන් මානෙට පෙනෙන කොට
මිහි­කත සැනසේ මල් මල් වැසි වහින කොට
සිතක් සැනසේ පරි­ස­රයේ ඇති සොඳුරු කොට

සුනේත්‍රා විජේ­රත්න ප්‍රේම­සු­න්දර

------------------

දාරක ප්‍රේමය

පැතුම් පුරා ගෙන අහ­සට සඳ ආ සැටියේ
සිත දුක්බ­රයි අමා­වක පෝය දිනයේ
නෙත් කඳුළු මැදින් විහඟ තටු පිරි­මැද්දේ
ඇති දැඩි වුණත් නුඹ කැකු­ළකි මට පුතුණේ

තුන්කල් බලා සැදුව තුන්පත් රෑනේ
සතුට විය­කුණා උඩු සුළ­ඟට පාවි ගොසිනේ
අත­ඟිල්ලේ එල්ලී නුඹ ගිය වේලේ
ජීවන බර අදිමි මම සංසාරේ

පෙර භවයේ කළ පව් පල දෙන­වාය
අප කළ පින් පව් පසු­පස එන­වාය
කිරි දුන් ළමැද සොම්නස අඩු­වක් නැති­දාය
වැලේ ගෙඩිය වැල­කට බර නැති වෙතිය

ඇල්.ජේ. ආන­න්ද­ශීලී පෙරේරා

----------------

මලක් පරවේ

අස­ර­ණ­ක­මයි තැළුවේ
අක­ලට මලක් පරවේ
ගමම හඬ­මින් ඇහුවේ
ඇයි ද? පොඩි­වුන් වැඩට යැව්වේ,

කොස්සෙ මිට වැදුණා
කොස්ස­ටත් දුක හිතුණා
ජීවිතේ ඉරුණා
මැඩ­ම්ටත් තරු පෙනුණා

මැඩම් හිටි­යත් ගෙදර
අනේ මල පොඩි­කර
පහස ලැබු­වත් නිතර
සුදු­ව­ටම පේනවා

නුඹ සිටිය ගෙදර
වේද­නාවේ කඳුළු
පොළොව සිප ගන්න ඇති
මේ වගේ මල්කැ­කුළු
තවත් පර­වෙ­නව ඇති

තිල­ක­රත්න ඕබ­ඩගේ

----------------

ඇය

කර­දර දුක් කම් කටොලු
ජීවන අර­ග­ලය මැද
මහ මෙරක් තරම් බර
කර තබා සිටින්නී

සොයා ගත් පතොක් මල
නෙතක් ඇති නෙතක් නැති
ගුප්ත හද­ව­තක් ළඟ
ආද­රය සොයන්නී

දුකට පිහි­ටට එන්න
නොමැති මුත් කිසි අයෙක්
අනුන්ගේ දුක අසා
ඉකි ගසා හඬන්නී

උපාලි නන්ද­සිරි

-----------------

ඉරු දින අසි­රිය

හීන් ඉන­වට - සුදෝ සුදු­වට
ළමා සාරිය ඔතා කදි­මට
සුදෝ සුදු මල් නෙළා
මල් අසුන සර­සලා

ළා දලුව බෝ රුකේ
සිලි සිලියෙ පැට­ලිලා
සිනා පොද තව­රලා
හැරී අප දෙස බලා

ගුණ දහම රඳ­වලා
වඳිති පිරි­පුන් වෙලා
හෙළ උරුම ලෙස සොඳින්
සුදු වතින් සැර­සෙ­මින්
දකින අප දූ පුතුන්
හමයි මේ බැති කුසුම්

පිය­සීලි විජේ­නා­යක

------------------

ළමා ලෝකය

පුංචි පුංචි ළමා පැටව් සින්දු කිය­නවා
සුර­තල් මුහුණු වලින් සිනා හැලෙ­නවා
මවු­පිය හද­ව­ත්වල සෙනෙ­හස උතු­ර­නවා
සොඳුරු ළමා සිඟිති මුහුණු එළිය වැටෙ­නවා

ගීත­ය­කට තාලෙ තියා ළමයි නටන්නේ
සිනා සිසී තවත් පැටවු ගීත ගයන්නේ
පෙර පාසල් ගුරු­ති­මීව වැරදි හදන්නේ
වැරදි වුණත් පුංචි වැරදි නිවැ­රදි වන්නේ

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු චරිත මවන්නේ
ඇමති චරිතෙ වුණත් උන්ට බරක් නොවන්නේ
වෙද, හෙද, දොස්ත­ර­වරු ලෙස පෙනී සිටින්නේ
හෙට දවසේ ඒ තන­තුරු නැත හිමි වන්නේ

පුංචි කාලෙ විත­රයි ලොකු තැන් හිමි­වන්නේ
ලොකු වුණාම ලැබෙයි කියා කවු­රුද දන්නේ
නැති බැරි­කම් දුප්ප­ත්කම් හර­හට ඉන්නේ
ලොකු වෙන්නට එපා පුතේ පුංචි වෙයන්නේ

බන්දුල සේනා­නා­යක

------------------

අම්මා

කවිය කුමට නුඹ ගුණ ගී වැල් ගොතමී
සිතැඟි කුමට නුඹ සෙනෙ­හස සිහි කරමී
වදන කුමට නුඹ ළඟ ගොළුවී හිඳිමී
තනිය කුමට නුඹ තුරුලේ සුව විඳිමී

පහස විඳිනු නොහැ­කියි නැත දුක් කම්පා
නිතර රුව පෙනෙයි නෙත් අග මගෙ අම්මා
සිතත් නුඹ ළඟයි හැම­දා­මත් අම්මා
මනු­දම් සුවඳ විහි­දයි නුඹ නැත නිම්මා

සීතල දිය දහර සේ හද ගිනි නිව්වා
මද­හස පිරුණු දෙතො­ලග සිත් සැන­සෙව්වා
ආදර රැක­ව­රණ දරු පෙම පැති­රෙව්වා
හිරු මෙන් අඳුර පරදා ලෝකය මැව්වා

ඩී. ඉමාලි උදේ­ශිකා සිල්වා

----------------

නූතන යසෝ­දරා

සස­රෙන් සසර නුඹ හා මා බැඳී­මට
තෙරු­වන් පුරා ආ ගමනේ නිමා­වට
කිය­මන් තිබේ මා ගැන ගුණ වැයී­මට
හැඟු­මන් කිවි ඇසින් නැඟුවා කවි­ය­කට

හිමි­යනි නුඹ කන්ථක හා නැඟී පිට
ගිය සැටි කියයි රෑ පායන සඳක් මට
රජ සැප, සකල සේනා ඇති මුත් මෙමට
දැනුනා මුළු ලොව ගිලිහී ගිය බවට

නුඹ මා හැර බුදු­බව ලැබ ගන්නට නොවෙද ගියේ
එලෙ­සයි මගෙ සිතු­විලි සැතපී නිදු­කින් සිටියේ
දුටු­වෙමි කතක් මා ලෙස­ටම තනිවි උසා­වියේ
ඇයගේ හිමි සඳත් අද බුදු වෙන්න­ටද ගියේ

සඳ­මිණි රවි­හංසා සර­ණ­සූ­රිය

------------------

සුව­ඳයි ගම්මානේ

ගොවි­තැන් බතින් ජීවත් වන බහු­ත­රය
කුරු­ඳු­කු­ඹුර ගම සොඳු­රුය පරි සරය
ලොකු පොඩි හැම­දෙ­නම මෙහි දහ­මට බරය
පන්සල ඉදිව ඇත්තේ ගම කෙළ වරය

කැත්තට උදැ­ල්ලට ඇති හුරු­කම දෑත
පැවතී ඒමක්ය කාලයෙ සිට ඈත
සුහ­දව සිටින හැම අයෙ­කුම ළඟ පාත
වැඩ­කදි නොස­ල­කති එන අව්වැසි සීත

කොස්වා­ර­යට ගස්වල වැල­ව­රක ඉදී
සුව­ඳයි ගමේ පව­තියි හැම තැනම රැඳී
යව්ව­නි­යන්ගෙ ආරා පුළු­ලු­කුල හැදී
පෙන්වන ලලිත බව දැක ගම සතුට විඳී

කොක්කු රෑන් පිය­ඹන ගම වෙල මැද්දෙන්
සැර­සුන උවැ­සි­යන් වාගෙයි සුදු රෙද්දෙන්
කිචි­බිචි හඬ ඇසෙන වැව අද්දර බැද්දෙන්
සාදු හඬක් මෙනි දෙන එය දැක සද්දෙන්

පිබි­දෙයි බුදු­පු­දට කොඳ­මල් හඳ­පානේ
හස­රැ­ල්ලක් පෙනේ හැම අය­කුගෙ මූනේ
නැති­මුත් කුරුඳු මේ දෙය කීමට ඕනේ
කුරු­ඳු­කු­ඹුර සුව­ඳයි මුළු ගම් මානේ

කුරු­ඳු­කු­ඹුරේ නන්ද­සිරි

-----------------

තාත්තාට ලියූ කව

නුඹ කුස­ගින්නේ ඉඳ­ගෙන
අපෙ කුස­ගිනි නිවා දැම්මෙ
අම්ම කෙනෙක් වගේ අපට
රස කර කර කෑම කැව්වෙ

හැන්දෑ­වට පුංචි අපිට
රසට කතා කියල දුන්නෙ
වන්නම් කවි, ගී කිය­මින්
පුංචි අපට සතුට දුන්නෙ

උගත මනා ශිල්පය මයි
කියල අපට කියල දුන්නෙ
තාත්තෙ, නුඹ හින්දා­මයි
අකුරු කරල අපි දිනන්නෙ

තාත්තෙ නුඹ හින්දා­මයි
දූත්, පුතුත් හිනා­වෙන්නෙ
තාත්තෙ නුඹ හින්දා­මයි
අපෙ පණ නල තව ගැහෙන්නෙ

තාත්තෙ නුඹ ගිය දා සිට
ඉරත් හඳත් නෑ දිලෙන්නෙ
දුවේ! කියා කියන හඬයි
රෑ තුන්යම මට ඇහෙන්නෙ

ජයන්තා පී. මිහි­ඳු­කු­ල­සූ­රිය

------------------

නිමා කළ පිය සෙනේ

සෙනෙ­හසේ බැමි බිඳ දමා
පීතු පාදං නිම කළා
මපිය සම­නොළ කන්දකී
නුඹ මහද විල මැද
පුද ලැබූ....

නෙත් අයා විශ්මිත වුණා
ලොව ඵල නොමැත
දැන් ළත­වෙලා
කැණි­ම­ඬ­ල­ටම ගිනි තියා
නුඹ දුන්නෙ ඇයි
අව­මන් නිගා....

ශ්‍රීමතී කුමාරි ජය­කොඩි

--------------------

පෙර සහ පසු වදන

එදා අප පෙම්ව­තුන් විල­සින් ගෙවූ ඒ සම­නල වියේ
අපේ ආදර පෙර වදන ඔබ ලියා මට පිළි­ගැ­න්වූයේ
අලං­කා­රය සුන්ද­ර­ත්වය හැම වද­න­කම මුසු වුණේ
ආද­රය හා සොම්නස ද දෝරෙ ගල­මින් පැව­තුණේ

ඉවුරෙ සිට මම බලා හිඳි­නෙමි ගඟ ගලන හැටි නිද­හසේ
විටෙක නව­තියි විටෙක පාවෙයි වලා­කුළු හිතු­ම­නාපේ
හමන සුළ­ඟට වැට කඩොලු බැඳ කවුරු කව­දාද සිර කළේ
සොඳුරු නැත මගෙ පසු වදන ඔබේ පෙර වදන මෙන් හිමි­යනේ

මාලතී රූපිකා පුංචි­හේවා

-----------------

දිය­ණියේ

නොදැ­රු­වත් මම
දස මසක් කුස
දරා­ගමි නුඹව මම
මියෙ­න­කන් හිස

නොදු­න්නත් මම
ලේ කිරි විලස
මගේ හුස්ම­කම හැම
හිදී නුඹ පණ විලස

නොපැ­තු­වත් මම
සක්විති රජ වන්නට
නුඹ වැඩි­යෙන් හැම
සවි­බල රැගෙන මට

නොදු­ටු­වත් මම
පාට ගෑ හීන­යක් යසට
දුවේ නුඹ හැම­දාම
සුර කුම­රි­යයි මෙමට

නොපෙ­න්නු­වත් හැම­විට
හද පතුලේ රැඳි පෙම
නුඹයි එ පැතුම මට
මියෙන දින තෙක්ම

නොකි­ව්වත් හැම­විට
නුඹ වටින තරම
මගේ දිවි කුමට
දුවේ නැති­නම් මා ළඟම

සුද­ර්ශනී පෙරේරා

-------------------

කැලණි ගඟට විසි කළ මවු සෙනෙ­හස

දස­මස කුස දරා බිහි කෙරු සිඟිති පුතු
කෙළි­ලොල් වියට පත් වුවා ලෙසම පැතු
කර­ද­ර­යක් වුණේ කෙලෙ­සද එකම පුතු
කැලණි ගඟට බිලි­වුණි කිසි­වෙක් නොපැතු

මව­කට පුළු­වන්ද තම පුතු මර­න්නට
එලෙ­සම පුළු­වන්ද ගඟ­කට දම­න්නට
දරු සෙනෙ­හස විසි කෙරුවේ ගඟ මැදට
මවු පද­වි­යද සේදුණි මහ ජල කඳට

මතු මතු­ව­ටත් මෙලෙ­සින් සිදු නොම­වේවා
වික­සිත මල් කැකුළු දින දින සුරැ­කේවා
මවු පිය­ව­රුන් කරු­ණා­වෙන් ඉති­රේවා
ජීවන වරම දරු පිරි­සට හිමි­වේවා

කන­වැ­රැල්ලේ හේමා­ලෝක හිමි

-------------------

අහිමි විජි­තය

නෙත් කොනින් බලා ඉගි­ක­රනු එපා
නුඹ ආදරේ නැති­නම්
හඬ­ව­න්නෙපා රිද­ව­න්නෙපා
අවි­හිං­ස­කයි පැතු­මන්

සෙනෙ­හස සොයා පෙරු­මන් පුරා
ළත­වෙයි සදා සිත නම්
කඳු­ළැලි පිරි සුසු­මන් නැඟී
සැඟවී ගියා හස­රැල්

ඉගිළී ගියා නුඹ සොය සොයා
දුක් ගී ගයා විහ­ඟුන්
ආයා­ස­යෙන් සමු­ගන්නේ මා
අහිමි වූ විජි­තෙන්

ගයාන් නිරෝ­ෂන්

-----------------------

දැති බිඳුණු පනාව

කතුන් රුව නඟ­න්නට ගොස්
තමන් රුව නසා ගත්
අනුන් හිස්වල ගැට ලිහී­මට ගොස්
තමන් දත් කඩා ගත්

අන් අය සබ­යට නිස්පත් කර­න්නට ගොස්
තමන් කුණු බඳු­නට විසි වූ
අම­ත­කව ගිය
මිතුරා

ප්‍රේම­දාස හේවගේ

ප්‍රවීණ, ආධුනික ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට තැපෑලෙන් පමණක් යොමු කළ යුතු වේ.

කවි සිළුමිණ,

ලේක්හවුස් - කොළඹ 10.

දුරකථනය 011 2429265

*************************************

සතියේ කවිපොත

කෘතිය- මතක සුවඳ

කර්තෘ- විජේ පී. උඩකන්ද

කර්තෘ ප්‍රකාශනයකි

මිල- රුපියල් 200/= පිටු ගණන-72

70 දශකයේ සිට කාව්‍යකරණයේ යෙදෙන විජේ පී. උඩකන්ද විසින් රචිත මෙම කාව්‍ය කෘතිය ඔහුගේ මුල් කාව්‍ය නිර්මාණ 60ක එකතුවකි. කොළඹ යුගයේ නූතන පරපුරට අයත් හෙතෙම දක්ෂ හිටිවන කවියෙකි. ඒ නිසඟ කවිකම හිටිවන කවියට පමණක් සීමා නොකර කවි රචනය කෙරෙහි ද යොමුවී තිබීම සතුටට කරුණකි. මේ මතක සුවඳ කෘතියට ගොනු කර ඇත්තේ ඔහු විසින් ලියූ කාව්‍ය එකතුවකි. පොදු ජනතාවගේ හද ගැස්මට සමීප, ජනවහරින් පෝෂණය වූ පද්‍ය පන්ති රැසක් මෙහිදී දැකගත හැකිය. ඒ නිසාම එදිනෙදා ජීවිතයේදී බොහෝ දෙනකුට සමීප අත්දැකීම් සහෘද හදවතේ ප්‍රකම්පනයක් ඇතිකරන අයුරින් සහ රසවත්ව රචනා කිරීමට කවියා සමත්ව ඇත. සමාජ සේවකයකු ද වන කවියා ලැබූ සහ ලබන අත්දැකීම් ඒ සඳහා ඔහුට උපකාරී වී ඇතැයි සිතිය හැකිය. කාටත් හුරුපුරුදු අත්දැකීම් නවතාවයකින් යුතුව ඉදිරිපත් කරන්නට විජේ පී. උඩකන්ද කවියා දක්වන දක්ෂතාව මේ කාව්‍ය සංග්‍රහය පුරාවටම දැකගත හැකිය.

මුල්ම පද්‍ය පන්තිය වන ‘සීතල’ ඊට කදිම උදාහරණයකි. ගසක් කතාකරයි ගහකොළ ඇතුළු සොබාදහම ගැන පාඨකයා තුළ ආදරයක්,ඇල්මක් ඇතිකරන්නට සමත් පද්‍ය පන්තියකි. කවියා යනු තුන්කල් දකින්නෙකි. රට යන අත නමැති පද්‍ය පන්තිය තුළින් ඔහු අද පවතින රට ගැන දුටු අයුරු පවසා ඇත්තේ මෙලෙසිනි.

ඉස්සර තිබූ රට යස ඉසුරින් පිරිලා

අද ගඳ ගසනු ඇත මඩ වගුරක එරිලා

දුටුවම ළය පැළේ මේවා කලකිරිලා

අවනීතියම රජවේ - නීතිය මැරිලා

 

කෙලෙසා දිනෙන් දින ලක් මෑණියගෙ අගේ

අවමානයට ලක් කරවන අයුරු හැඟේ

තව තව කුණු වුණොත් හිස් මොළ මිනිසු නගේ

හෙට කුමකින් කුමක්වේවිද රටට මගේ

 

විනාශ වන රට ගොඩනැඟිය හැක්කේද රටවැසියන්ටමය. කවියා ඒ පිළිබඳ අප සියලු දෙනාට ඇති වගකීම සහ යුතුකම ගැන මතක් කර දෙන්නේද අලුත් මිනිසෙක් සඳහා කවිය නම් පද්‍ය පන්තියෙනි.

නැහැ, බැහැ යන වදන් බස් වහරට නොගෙන

අබිමන් මාවතේ එන ගතිගුණ ඉගෙන

පුන් සඳ පරිද්දෙන් නිල් ගගනැබ නැඟෙන

ලෝකය දකිනු කවියක ඉමිහිර රැගෙන

 

ජීවිතය ගංගාවක් සේය. එය සුලබ උපමාවට ගංගාවක විදිහ නම් පද්‍ය පන්තිය තුළින් කවියා දෙන්නේ අලුත් ආලෝකයකි.

වයිරය, කොරෝදය සහ උස් මිටි බේද

නොතකා විටින් විට එක එක මතවාද

කරගෙන මිනිස්කම් පිළිබඳ අවබෝධ

ගඟ ආදුරුසයට ගත්තොත් හොඳ නේද

ජීවිතයට සතුට, මිහිර කැන්දන ඇය ගැන

ඔහුගේ පබැඳුම ළෙන්ගතුය;මනහරය.

 

පියකරු බවින් මුළු ජීවිතයටම හුරු

ළය විල් තෙරේ පිපි කුසුමකි සුපියකරු

පිය සෙනෙහස සදාකල්හිම කරණ ගරු

‘ඇය’ මා සතුය සංසාරයෙ සරණ තුරු

 

අපමණ දුක් විඳ උස්මහත් කරන දරුවන් සිය සෙවණින් දුරස් වූ විට වියපත් මවුපියන්ගේ හදවත්වලට දැනෙන වේදනාව වත්මන් සමාජයේ බොහෝ මවුපියන්ට නුහුරු වූවක් නොවේ. සෙනෙහස පද්‍ය පන්තිය තුළින් ඒ අත්දැකීම කවියා වදන්වලට පෙරළන්නේ මෙලෙසිනි.

අපි බලන්න එන්න කරද-රයි හැම දිනයක් පාහේ

දරුවනි ඔබෙ සුවඳ තවත්- තැවරී පවතියි නාහේ

ඉස්සර තිබූ සෙනෙහෙවන්ත - සුසුවඳ තවමත් වෑහේ

උඹලා හොඳින් කල් ගෙව්වොත්-එය අපි දෙන්නට සෑහේ

 

Comments